හෙයාර් අයන් එකක් භාවිතයේදී අපි නිතර හිතන් නැති සැලකිලිමත් විය යුතු කරුණු

health tips

 ලස්සනට ඉන්න අපි හැමෝම කැමතියි නේ.  විශේෂයෙන්ම කාන්තා  පාර්ශවය තමන්ගේ කෙස් කළඹ ගැන වැඩි උනන්දුවක් දක්වනවා.

අද වෙද්දි හිසකෙස් සෘජු කිරීමේ විලාසිතාව එහෙමත් නැත්නම් ස්ට්‍රේට් කිරීමේ ක්‍රමය මිලියන ගණනක් කාන්තාවන්ගේ හදවත් ආකර්ෂණය කරගෙන තියෙන විලාසිතාවක්. රැලි සහිත කොණ්ඩයක් තියෙන් අය පවා  හික්මුණු කඩාහැලෙන කෙස් කලඹක් ලබාගන්න උනන්දුව වෙනවා. ඉක්මනින් අවුල් නොවෙන කොණ්ඩයක් සකසා ගන්නට බොහෝ දෙනෙක් භාවිතා කරන උපකරණයක් තමයි හෙයාර් අයන් එක කියන්නේ. ඔබත්  නිතරම හිසකෙස් සදහා hair iron එකක් භාවිතා කරන කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ විශේෂ අවස්ථාවලදී පමණක් හෙයාර් අයන් එකක් භාවිතා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. 

ඔබ මේ කුමන කොටසට අයට කෙනෙක් වුණත් අයන් එකක් භාවිතයේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු කාරණා තියෙනවා. වැරදි හෙයාර් අයන් එකක් භාවිතා කිරීම වගේම හෙයාර් අයන් එක වැරදි ආකාරයට භාවිතා කිරීමත් යන දෙකින්ම ඔබේ හිසකෙස්වලට හානි සිද්ධ වෙනවා. මේ වැරදි භාවිතය නිසා බොහෝවිට හිසකෙස් පිලිස්සී යාම, හිසකෙස් දිරායාම, හිසකෙස් මැදින් කැඩී යාම, හිසකෙස් අග පැලීම, හිසකෙස් වියළීයාම, හිසකෙස්වලට මලානික පෙනුමක් ලැබීම සහ හිසකෙස් ගැලවී යාම ආදී ගැටලු ඇති වෙනවා. 

ඉතින් ඒ නිසා හෙයාර් අයන් එකක්  මිලට ගැනීමේ සිට භාවිතා කිරීම දක්වා කාරණා බොහොමයක් ගැන ඔබ දැනුවත් විය යුතුමයි. අද අපි ඔබත් එක්ක මේ පිළිබඳව කතා කරන්න සිතුවේ ඒ නිසාමයි. 

හෙයා අයන් එකක් මිලට ගැනීමේදී  මිල ගැන සැලකිලිමත් වෙනවාට වඩා  එහි ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න.

සෙරමික්, ටර්මලින්  සහ ටයිටේනියම් ලෙස හෙයාර් අයන් වර්ග තුනක් දකින්නට තිබුණත් තමන්ගේ හිසකෙස් අයන් කරන අයකුට වඩාත් සුදුසු වෙන්නේ සහ ආරක්ෂාකාරී වෙන්නේ සෙරමික් වර්ගයේ හෙයා අයන් එකක් මිලදී ගැනීමයි.

විදුලිය කාන්දු නොවෙන ප්‍රමිතියකින් යුතු උෂ්ණත්වය පාලනය වන අයන්  එකක් තෝරා ගන්නට කටයුතු කරන්න.  

සාමාන්‍ය හිස කෙස් ද පලුදු වූ හිස්කෙස් ද යන්න ඔබ හෙයාර් අයන් එකක් භාවිතා කිරීමට පෙර සැලකිලිමත් විය යුතුයි. 

ඔබේ හිසකෙස් පලුදු වී ඇත්නම් හෙයා අයන් එකක් භාවිතා කළ යුත්තේ ඉතාමත්  පරීක්ෂා සහගතවයි.  පලුදු වූ හිසකෙස් යනුවෙන් අදහස් කළේ වර්ණ ගැන්වූ හෝ කර්ල් හෝ ස්ටේට් කළ හෝ ෆර්ම් කළ රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගැන්වූ හිසකෙස් .

හෙයා අයන් එකේ උෂ්ණත්වය නිතරම සෙල්සියස් අංශක 185 අඩුවෙන් තබා ගන්න. හෙයාර් අයන් එකේ උෂ්ණත්වය වැඩිවන තරමට හිසකෙස්වලට වන හානිය වැඩි නිසා මේ ගැන ඔබ සැලකිලිමත් වෙන්න.

තෙත  හිසකෙස් අයන් කිරීමෙන් වලකින්න. 

හෙයා අයන් එක භාවිතා කිරීමේදී හිසකෙස් වියළා ගැනීමට භාවිතා කරන hair dryer භාවිතා කරන්න එපා. 

අපිරිසිදු හිසකෙස් අයන් කිරීමෙන් වළකින්න. 

ඔබ හිසකෙස් අයන් කළ යුත්තේ  හිසකෙස් සෝදා වියළා ගැනීමෙන් පසුවයි. හොද ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් භාවිතා කර ඔබේ හිසකෙස් හොඳින් සෝදා ගෙන තුවායක් ආධාරයෙන් හිසකෙස් හොඳින් වියළා ගන්න.

හිස කෙස් අයන් කිරීමේ දී  හිසකෙස්වලට වන හානිය අවම කර ගැනීමට කෙස් කුඩා කොටස්වලට වෙන්කර අයන් කරන්න. 

හිසකෙස් අයන් කිරීමට පෙර හිසකෙස් උෂ්ණත්වයෙන්  ආරක්ෂා කරගන්නට ආලේපනයක් හිසකෙස්වල ගැල්විය යුතුයි. 

මේ සඳහා  ස්ට්‍රේට්නින්   බාම් හෙයා මොයිස්චරයිස් හෝ හෙයා සීරම් ඔබට භාවිතා කරන්නට පුළුවන්. මේ  නිෂ්පාදන හිසකෙස්  මූලයේ  ගැල්වීමෙන් වළකින්න.

හිසකෙස් හොඳින් බ්‍රෂ් කරන්න. එය හිසකෙස් ආරක්ෂණ ආලේපය හිසකෙස් අතර ඒකාකාරීව පැතිරීමට උදව් වෙනවා.

හිසකෙස් අධික තාපයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හිසකෙස් සදහා වන උණුසුම් ආරක්ෂණ ස්ප්‍රේ එකක් භාවිතා  කිරීමේදී එය කොණඩයේ  එක් එක් කොටස මත අඟලක පමණ දුරින් සිට ස්ප්‍රේ කරන්න. 

කොණ්ඩය අයන්  කර අවසන් වූ විට  ස්මූතිනින් නිෂ්පාදනයක් භාවිතා කරන්න .

තාවකාලිකව හිසකෙස්වලට කඩාහැලෙන බවක් ලබාදෙන ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි මේ උපකරණය නිවැරදි අවබෝධයකින් සහ දැනුවත් බවකින් යුක්තව ඔබ භාවිතා කළොත් එයින් ඔබේ හිසකෙස්වලට හානියක් වෙන්නේ නෑ.  හදිසි අවස්ථාවලදී විශේෂ අවස්ථාවකදී ලස්සනට  හිසකෙස් සකසා ගන්නට මේ උපකරණ නිවැරදිව භාවිතා කිරීමෙන්  හැකියාව ලැබෙනවා.