තරුණයන්ගේ අකලට සුදුවෙන කෝණඩය කළු කරන සත්කාර 6ක්

health tips

අකලට හිසකෙස් සුදුවීම අද බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙන බරපතල ගැටළුවක්. ආසියාතික රටක් වන අපේ හිසකෙස් තද කළු පැහැයක් ගන්නවා. නමුත් වෙනත් කලාපවල ජීවත් වෙන ජනතාවගේ හිසකෙස් සුදු පැහැයට, දුඹුරු පැහැයට වගේම රන්වන් පැහැයටත් දකින්නට පුළුවන්. ඒ ආකාරයට අපේ හිසකෙස්වල වර්ණය සඳහා අපේ දේහයේ මෙලනින් නිෂ්පාදනය බලපානවා. කෙසේවෙතත් ලාංකීය අපේ  කලු පැහැ හිසකෙස්  අකලට සුදුවීම අද බොහෝදෙනෙක්ට බරපතල ලෙස මානසිකවත් බලපෑම් කරන තත්ත්වයක් බවට  පත්වෙලා. ඒ නිසාම මේ ගැටළුව පිළිබඳව කතාබහ කිරීම  ඔබට බෙහෙවින් වැදගත් වේවි. 

සාමාන්‍යයෙන් වයසට යද්දි මේ මෙලනින් නිෂ්පාදනයේ ගැටළු නිසා අපේ හිසකෙස් සුදු වෙනවා. ඒ නිසා මේ හිසකෙස් සුදු වෙන කාලයක් අපිට නිශ්චිතව සඳහන් කරන්නට බැහැ. ජානමය බලපෑම් වගේම  පාරිසරික  බලපෑම් මත ඒ කාලය වෙනස් වෙන්නට පුළුවන්.  සාමාන්‍යයෙන් වයස අවුරුදු 35-40 අතර කාලයේදී හිසකෙස් සුදුවීම ආරම්භ වෙන්නට පුළුවන්. ඒ හැරුණාම  අඩු වයසේදී විවිධ හේතු සාධක මත හිසකෙස් සුදු වෙන්නත් පුළුවන්.

අකලට හිසකෙස් සුදුවීමට  බලපාන හේතු 

  • ජානමය බලපෑම් විශේෂයෙන්ම දෙමාපියන්ගේ හිසකෙස් වයස අවුරුදු 35 වන්නට පෙර සුදු වීම ආරම්භ වෙලා තිබේ නම් එය දරුවාටත් බලපානවා. දෙමාපියන්ගෙන් වගේම ආච්චී සියාගේ වුණත් මෙවැනි තත්ත්වයක් ඇත්නම් එය ජානමය වශයෙන් මුණුබුරු මිනිබිරියන්ටත් බලපාන්නට පුළුවන්.
  • මානසික ආතතිය 
  • නින්ද අඩුකම 
  • කැල්සියම්, කොපර්, යකඩ, සින්ක් හා  බයොටීන් ආදී ඌණතාවයන් 
  • විටමින් D ඌණතාවය 
  • විටමින් B5, B6, B9, B12 ඌණතාවය 
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ  ගැටළු 
  • භාවිතා කරන ඖෂධ වර්ග 
  • දුම්පානය 
  • බොහෝ  පිරිමි අයගේ ඉතා අඩු වයසින් කොණ්ඩය සුදු වෙන්නට දුම්පානය විශාල හේතුවක් වෙනවා.
  • සැර රසායනික හිසකෙස්වලට භාවිතා කිරීම විශේෂයෙන්ම කොණ්ඩා මෝස්තර සඳහා වගේම කොණ්ඩය ස්ට්රේයිට් හෝ කර්ල් කිරීම ආදිය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් වගේම හිසකෙස්වලට භාවිතා කරන ඇතැම් ෂැම්පු කන්ඩිෂන්ර් පවා හිසකෙස් සුදු වීමට හේතු වෙනවා.
  • හිස සෝදන ජලයේ අඩංගු ක්ලෝරීන් ආදී පිරිසිදුකාරකඅකාලයේ හිසකෙස් සුදුවීම නිට්ටාවටම සුවපත් කර ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ තත්ත්වය තවදුරටත්   පැතිරීම වළක්වා ගන්නට යම් යම්  ක්‍රමවේද අපිට  අනුගමනය කරන්නට පුළුවන්. 

හිසකෙස් අකලට සුදුවීම පමා කරගත  හැකි ස්වභාවික ක්‍රම   

  • නෙල්ලි සහ පොල්තෙල් සත්කාරය අමු නෙල්ලි ගෙඩි කැබලිවලට කපා වියළා ගන්න. පසුව ඒවා කුඩුකර පොල්තෙල්  සමඟ රත්කර  හිසේ ගල්වා  සම්බාහනය කරන්න. නෙල්ලි හිසකෙස් අකලට පැසීම පමා කරමින් හිසකෙස් වැටීමත් අඩුකර හිසකෙස් ශක්තිමත් කරනවා. මෙය සතියකට දින 2- 3 ක් පැක් එකක් ලෙස භාවිතා  කරන්නට පුළුවන්.
  • නෙල්ලි සහ මී පැණි නෙල්ලි කියන්නේ හිසකෙස් සම්බන්ධ ගැටළු බොහොමයකටම ඉතාම හොඳ විසඳුමක්. හිසකෙස් සුදුවීම පමා  කරගන්නට පාලනය  කර ගන්නට නෙල්ලි මේ ආකාරයටත් ඔබට භාවිතා කරන්නට පුළුවන්. නෙල්ලි කුඩු හිසේ ගැලවීමට අවශ්‍ය  ප්‍රමාණයට ගෙන එයට මී පැණි සහ දෙහි යුෂ බින්දු  කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න. මෙය හිසකෙස්වලට වඩා ආලේප කළ යුත්තේ හිස් කබලේ. ඒ ආකාරයට හිස්කබලේ මේ ආලේපය විනාඩි 45 ට වැඩි කාලයක් තබා සාමාන්‍ය  ජලයෙන් සෝදා හරින්න. ඒ සඳහා ෂැම්පු කන්ඩිෂනර් භාවිතා කරන්නට එපා.  මේ සත්කාරය සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත්.
  • පොකුරු වදමල් සත්කාරය පොකුරු වදමල් දෙකක් සහ පිරිසිදු ඔලිව් තෙල් අවුන්ස භාගයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. මේ පොකුරු වදමල් 2  කොටාගෙන එය පිරිසිදු ඔලිව් තෙල් සමඟ මිශ්‍රකර විනාඩි 30 ක කාලයක් අව්වේ තබන්න. ඉන්පසුව එය හිසකෙස්වල දිනපතාම ආලේප කරන්න.
  • ලූණු සත්කාරය ලූණු හිසකෙස් පැසීමටත්, හිසකෙස් අකලට ගැලවී යාමටත් කදිම විසඳුමක්. මේ සඳහා ලොකු ලූණු ගෙඩියක් පොතු ඉවත් කරගෙන කුඩා කැබලිවලට කපා බ්ලෙන්ඩර් කර ගන්න. පසුව රෙදි කැබැල්ලක් ආධාරයෙන් යුෂ ලබාගෙන හිස් කබලේ හොඳින් ආලේප කර සම්බාහනය කර විනාඩි 30 කාලයක් තබා මෘදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන් සෝදා හරින්න. මෙය සතියකට දින 3ක් පමණ සිදු කිරීම ප්‍රමාණවත් .
  • පොල්තෙල් සහ ලෙමන් යුෂ සත්කාරය ලෙමන් හෝ දෙහි යුෂ තේ හැදි 3 ක් ගෙන එයට ප්‍රමාණවත් තරම් පොල්තෙල් මිශ්‍රකර හිස් කබලේ ගල්වා හොඳින් සම්බාහනය කර විනාඩි 30 ක් පමණ තබා මෘදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන් සෝදා හරින්න. මෙය සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත්.
  • කරපිංචා සත්කාරය කරපිංචා කොළවලින් ලබා ගන්නා යුෂ පානය කිරීම හෝ කොළ කැඳ ලෙස සකසා  ආහාරයට ගැනීමත් හිසකෙස් සම්බන්ධ ගැටළු බොහොමයකට ඉතාමත් ගුණදායකයි. ඒ හැරුණාම කරපිංචා කිනිති 5 ක පමණ  කරපිංචා කොළ සහ උළුහාල් මේස හැදි 1 ක් භාවිතයෙන් පහත ආලේපනය සකස් කරගන්නත් පුළුවන්. මේ සඳහා උළුහාල් සහ කරපිංචා කොළ කබලේ බැද ගැනීම අවශ්‍ය වෙනවා. පසුව කරපිංචා සහ උළුහාල් බ්ලෙන්ඩර් කරගෙන කුඩු වශයෙන් සකස් කරගන්න. මේ කුඩු දෙවර්ගය පොල්තෙල් සමඟ විනාඩි 5 ක කාලයක් මදගින්නේ රත්කර ගන්න. පසුව විනාඩි 10 ක පමණ කාලයක් නිවෙන්නට හැර  හිස් කබලේ හොඳින් ආලේප කර විනාඩි 5 ක් පමණ සම්බාහනය කර විනාඩි 30 කින් පමණ සෝදා හරින්න. මෙය දිනපතාම භාවිතා කරන්නත් පුළුවන්.

ඉතින් හිසකෙස් අකලට සුදුවීම නිසා පීඩාවට පත් ඔබට මේ ස්වාභාවික සත්කාර භාවිතයෙන් එය යම්තාක් දුරකට පාලනය කරගන්නටත් පමා කරගන්නටත් හැකියාව ලැබෙනවා. කෘතීම ආලේපන ගල්වනවාට වඩා මේ ස්වාභාවික සත්කාරයන් හිසකෙස් ශක්තිමත් කර ගන්නටත් විශාල දායකත්වයක් ලබාදෙනවා.