ලාංකීය අපේ පැරැන්නන්ගේ අවුරුදු මේසෙට නැතුවම බැරි රසවත් ගුණවත් එළවළුවක් තමයි මේ හත් මාළුව. අද වර්තමාන පරපුර මේ ඖෂධීය ගුණයෙන් යුක්ත හත්මාළුව ගැන දන්නේ නැති තරම්. එදා තරම් නැතිවුණත් අදටත් බොහෝ පළාත්වල මේ හත්මාළුව පිළියෙල කරනු දකින්නට පුළුවන්. නමුත් හත් මාළුව සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය පළාතෙන් පළාතට වෙනස් වෙනවා. ඉතින් රෝග බොහොමයකට ගුණ දෙන ප්‍රතිශක්තිය ඉහළ නංවන විශේෂ ආහාරය ගැන තමයි අද කතාව.
අපේ රටේ විතරක් නෙවෙයි මේ හත් මාළුව වෙනත් රටවලත් සකස් කරනවා. ඉන්දියාවේ මේ සඳහා ආහාර වර්ග 9 ක් එකතු කරනවා. ඒ නිසා ඉන්දියාවේ මේ හත් මාළුව නවරත්න නමින් හඳුන්වනවා. ඉතින් අපේ රටේ හත්මාළුව සඳහා භාවිතා කරන ද්‍රව්‍යවල යම් යම් වෙනස්වීම් පලාතෙන් පලාතට තිබුණත් භාවිතා කරන ආහාරවල යම් පොදු බවක් දකින්නට පුළුවන්. එළවලු වර්ග, (ගෙඩි කරල්), ඇට වර්ග, අල වර්ග,පලා වර්ග හා ධාන්‍ය වර්ග සෑම පළාතකම මේ හත් මාළුව සඳහා භාවිතා කරනවා. නමින් හත් මාළුව වන නිසා කුමන පළාතක වුණත් මේ සඳහා එළවලු වර්ග 7 ක් එකතු කරනු ලබනවා. ඒ නිසාම මේ එළවලුවේ රස 7 ක්ම අපිට රසවිදින්නට අවස්ථාව ලැබෙනවා. පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස ආදී රසයන් බොහොමයකින් හත් මාළුව ආහාරයට ගන්නා අපේ දිව පිනවනවා. ඒ නිසාම මේ ආහාරය ඉතා ශක්ති සම්පන්න සමබල ආහාරයක් .එදා පැරැන්නන් මේ හත්මාළුව යක්ඛයන්ගේ ආහාරයක් විදියට සලකනු ලැබුවේ මේ ආහාරයෙන් ලැබෙන ප්‍රබල ශක්තිය නිසාම වෙන්න ඇති.

හත්මාළුව පිසීමට භාවිතයට ගන්නා එළවලු -සාමාන්‍යයෙන් වට්ටක්කා දළු,කොස් ඇට, තිබ්බටු, ඇඹුල් කෙසෙල්, කිරි අල, රතු තම්පලා ආදී එළවලු හත් මාළුව සඳහා යොදා ගන්නවා. ඒ හැරුණාම රජරට පිසින හත් මාලුව කියන්නේ හොද්ද, තැම්බුම, මැල්ලුම, ආනම, බැදුම, පැලහුම සහ නියබලාවයි.
මල් වර්ග කතුරු මුරුංගා මල්,මුරුංගා මල්, මයිල මල්, සියඹලා මල් ,බිම් මල් .
කොළ වර්ග කංකුං , තම්පලා, සාරණ, කතුරු මුරුංගා කොළ,දඹල දළු, වැල් කොහිල, කොහිල දළු ,වට්ටක්කා දළු, මෑ දළු ,ආදී කොළ වර්ග
කරල් වර්ග ආලංගා, මෑ , මුරුංගා, පතෝල, දඹල ආදී කරල් වර්ග
ගෙඩි වර්ග වම්බටු , තිබ්බටු, කර බටු, වට්ටක්කා,කැකිරි, පුහුල්, අළු කෙසෙල්,
මද වර්ග කජු මද හා කුරුම්බා මද
ඇට වර්ග මුං ට, කඩල කව්පි, රතු කව්පි , සුදු කව්පි, කොස් ඇට
අල වර්ග කිරි අල, මවු අල, නෙළුම් අල, ඕළු , කෙකටිය මේ වර්වලින් එක් වර්ගය බැගින් වර්ග 7 ක් එකතු කොට හත් මාළුව පිසිනු ලබනවා. ඒ සඳහා නිශ්චිත වශයෙන් මේ එළවලු ගත යුතුයි යන්න නැහැ.
හත්මාලුව පිසීමට අවශ්‍ය කුළු බඩු හා අනෙකුත් ද්‍රව්‍ය සුදු ළූණු ,කරාබු නැටි, කරපිංචා,උළුහාල්,කොත්තමල්ලි ,ඉඟුරු,මිරිස් කුඩු ,ගම්මිරිස් ,කුරුඳු පොත්තක් ,අමු මිරිස්, රතු ළූණු, සියඹලා,සූදුරු ,මාදුරු ,මිටි කිරි සහ දියකිරි ,පොල් තෙල් ස්වල්පයක්
හත් මාළුව පිළියෙල කිරීමේදී සැලකිලිමත් විය යුතු කාරණා

- එළවලු වර්ග 7 ක් ඇතුළත් විය යුතුයි.
- හත් මාළුව සාදාගත් පසුව ඒ සඳහා ගත් එළවලු වර්ග කොළ වර්ග ආදිය වෙන් වෙන්ව හඳුනා ගන්නට හැකිවිය යුතුයි.
- ඒ නිසාම හත් මාළුව සඳහා බීට් අල භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම අවශ්‍ය රසකාරක දැමීම හෝ අධික ලෙස තැම්බීම නිසා හත් මාළුවේ එළවලු ආදිය මොනවද කියලා හොයාගන්නට නොහැකි නම් එය හත් මාළුවක් වෙන්නේ නැහැ.
- කුමන පළාතක සකස් කරන හත් මාළුව සඳහා වුණත් කජු විශේෂයෙන් භාවිතා කළ යුතු වෙනවා.ඒ සඳහා නාඹර වයසේ කජු මද යොදා ගන්නවා.
- එළවලු සඳහා කොළ එළවලුවක් හා රතු එළවලුවක් (රතු නිවිති )පවා ඇතුළත් විය යුතුයි.
- හත්මාළුව සඳහා ගන්නා එළවලු, අල වර්ග සියල්ල එක සමාන ප්‍රමාණයට කපාගත යුතුයි.
හත් මාළුවෙන් අපට ලැබෙන ගුණ

හත්මාළුව එකල අවුරුදු කෑම මේසයට වැරදුනේම නැහැ. අවුරුදු කාලයට තෙල් අධික, පිටි අධික, සීනි අධික ආහාර වැඩි වශයෙන් ගැනීම නිසා කොලෙස්ටරෝල්, රුධිරයේ සීනි මට්ටම වැඩීවීම, බඩ පිපුම ආදී ශාරීරික අපහසුතා බොහොමයක් ඇතිවෙනවා.ඉතින් මේ අපහසුතා මගහැර ශරීරයට පහසුවක් ලබාදෙන්නට එදා මේ හත් මාළුව අවුරුදු කෑම මේසයේ අනිවාර්ය අංගයක් වුණා.
- මේ හත් මාළුව තුළ කාබොහයිඩ්රේට්, ප්‍රෝටීන්, විටමින්, මේදය ,ඛනිජ ලවණ, තන්තු ආදී සියලුම පෝෂක අඩංගු නිසා සියලු පෝෂණයන් කිසිදු ඌණතාවයකින් තොරව අපේ සිරුරට ලබා ගන්නට පුළුවන්.
- සිරුරේ ප්‍රතිශක්තිය වඩවයි.
- ගර්භනී මව්වරුන්ට, වැඩෙන වයසේ දරුවන්ට, ලෙඩ රෝගවලින් සුවය ලබමින් සිටින රෝගීන්ට ආදී සියලුම වයස්වල අයට ඉතාම ගුණදායකයි.
- ශක්තිය ලබාදෙයි.
- අක්මාවට හිතකරයි.
- වකුගඩුවලට හිතකරයි.
- පිළිකා සෛල විනාශ කරයි.
- කෙඳි සහිත ආහාර අඩංගු නිසා ආහාර හොඳින් ජීර්ණය කර මලබද්ධය වළක්වයි.
- උදරයේ බර ගතිය හා බඩ පුරවා දැමීම දුරලයි.
ඉතින් අද අපෙන් ඈත්ව යන අපේ සාම්ප්‍රදායික හත් මාළුව ඉතා මිහිරි රසයකින් වගේම ඉතා ඉහළ පෝෂණයෙන් සමන්විතයි. එළවලු කිහිපයක් ආහාරයට වෙන වෙනම එකතු ක්ර ගන්නවාට වඩා සියළුම එලවලු කුළු බඩු සංයෝගයෙන් සකස් කෙරෙන හත් මාළුවේ පෝෂණය ඉතා ඉහළයි. රසයටම ලොල් වී වස කනවාට වඩා පවුලේ සියලු දෙනාගේම නීරෝගී පැවැත්මට මේ හත් මාළුව අවශ්‍යයෙන්ම එකතු කර ගත යුතුයි.