ඉක්මණින් දරුවෙක් ලබාගන්න දැනගතයුතු කරුණු 14 ක්

health tips

විවාහයෙන් පසුව ඒ යුවලගේ ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ දරුවෙක්. නමුත් ඇතැම් අය විවාහ වී ටික කාලයක් බලාගෙන ඉඳලා  සැලසුම් කරලා දරුවෙක්ව හදනවා. තවත් අය එහෙම කාලයක් නොගෙනම දරුවෙක් බලපොරොත්තු වෙනවා. කොහොමවුණත් තමන් දරුවෙක්ව හදා ගන්නට බලාපොරොත්තුවෙන කාලය අතිශය පෞද්ගලික කාරණයක්. 

නමුත් දරුවෙක් බලාපොරොත්තු වෙද්දි එය ඊළඟ මාසය තුළම සපුරා ගන්නට හැකිවෙනවා යන මතයේ තමයි බොහෝදෙනෙක් ඉන්නේ. එසේ ඉතා ඉක්මනින් ගැබ් ගන්නට හැකියාව තිබුණත් ඇතැම් අවස්ථාවක ඒ සඳහා මාස කිහිපයක් බලා සිටින්නටත් සිද්ධ වෙනවා. මාස 4 -5 ක්  ගත වෙද්දි ඇතැම් අය තමන්ට දරුවෙකු බිහි කරන්නට හැකියාවක් නැතැයි සිතා කනස්සල්ලට පත්වෙනවා වගේම කලබලයටත් පත් වෙනවා. සැබැවින්ම ගැබ් ගැනීමක් කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්.  ඒ නිසා ඒ වෙනුවෙන් අපි අනුගමනය කළ යුතු යම් යම් ක්‍රමවේදත් පවතිනවා. ඒ නිසාවෙන් අද අපි කතා කරමු ඉක්මන් ගැබ් ගැනීමක් සඳහා කාන්තාවක් විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද කියලා.

කාන්තාවක් ඩිම්බයක් පිටකළ පසුව ඒ ඩිම්බය ඇයගේ ශරීරය තුළ  ජීවත්ව පවතින්නේ පැය 24 ක පමණ කාලයක්. ඒ වගේම ඒ කාන්තාවගේ ශරීරය තුළට ඇතුල් වන ශුක්‍රාණු  ස්ත්‍රී  ප්‍රජනක පද්ධතිය තුළ  සජීවීව පවතින්නේ  දින 7 ක වගේ කාලයක්. මේ  තුළදී  ඩිම්බය ශුක්‍රාණුවක් සමඟ සම්බන්ධවීමක් සිදුවුණොත් දරු පිළිසිද ගැනීමක් සිදු වෙනවා. මෙය තරමක අහබු සිදුවීමක්.  නමුත් ගැබ් ගැනීම ඉක්මන් කර ගන්නට කාන්තාවකට අනුගමනය කළ හැකි කරුණු කාරණ කිහිපයක්ම පවතිනවා.

  • කාන්තාවගේ සරු කාලය තුළ වැඩි වාර ගණනක් ලිංගිකව එකතු වීම (නමුත් දවසට කිහිපවරක් ලිංගිකව එකතු වීම එතරම් සුදුසු නැහැ.)කාන්තාවකගේ සරු කාලය තීරණය වෙන්නේ ඔසප් චක්‍රයේ දින ගණන  අනුවයි. දින 28 ක දින 30 ක  ක්‍රමවත් ඔසප් චක්‍රයක්  තියෙන කාන්තාවකගේ  ඩිම්බ පිටවීම සිදු වෙන්නේ  12 දවසේ හෝ 13 වැනි දවසේ. පළමු දවස ලෙස ගන්නේ  ඔසප්වීම සිදුවන පළමුවන දවස. මෙවැනි කාන්තාවකගේ 10 වෙනි දවසත්  16 වැනි දවසත්  අතර කාලය  සරු කාලය  ලෙසයි හඳුන්වන්නේ. මේ කාලය තුළ දිනපතාම හෝ දවසක් හැර දවසක්  ලිංගිකව එකතුවීම මගින් ඉක්මන් දරු පිළිසිද ගැනීමක් කරා යන්නට පුළුවන්. ඒ වගේම තමයි ඩිම්බ් පිටවූ දවසේම ලිංගිකව එකතු වීමක් සිදු වුණොත් එයත් ඉක්මන් ගැබ් ගැනීමට හොඳ අවස්ථාවක් වන්නට ඉඩකඩ පවතිනවා.ඔසප් චක්‍රය දින 28 ට වඩා වැඩි නම් සරු කාලය සොයාගන්නේ මෙහෙමයි. ඔසප් කාලය කොතරම් දීර්ඝ වුණත් ඊළඟ ඔසප් වීමට දින 14 ට පෙර ඩිම්බ පිටවීම සිදු වෙනවා. ඔසප් චක්‍රයේ දිග දින 32 ක් නම්  ඔබේ ඩිම්බ පිටවීම සිදු වෙන්නේ  18 වැනි දිනයේ.ඒ දිනයට දවස් 2 කට පෙර සහ දවස් 2 ට  පසු කාලය එවැනි කාන්තාවකගේ සරු කාලය ලෙස සඳහන් කරන්නට පුළුවන්.ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවකගේ මේ සරු කාලය සොයා ගැනීම එතරම් පහසු දෙයක් නෙවෙයි. එවැනි  කාන්තාවකට ඩිම්බ පිටවන දවස හඳුනා ගන්නට මේ කරුණුත් භාවිතා කරන්නට හැකි නමුත් ඒවා එතරම් සාර්ථක ක්‍රම නම් නෙවෙයි.
  • ශරීර උෂ්ණත්වය ඩිමබයක් පිටවන කාලය වනවිට ශරීරයේ උෂ්ණත්වය  යම් තරමකට ඉහළ යනවා. ඇතැම් කාන්තාවකට මේ තත්ත්වය දැනෙනවා. 
  • යෝනි මාර්ගයෙන් පිටවන ශ්‍රාවන්ගේ වෙනස්වීම 
  • උදරයේ එක් පැත්තක ඇතිවන වේදනාව මේ කරුණු පිළිබඳව අවබෝධයෙන් සිටීම තුළ මේ ඩිම්බ පිටවීමේදී ලිංගිකව එකතුවීමෙන් දරුවෙකු පිළිසිද ගැනීමට වැඩි හැකියාවක් හිමිවෙනවා. නමුත් දරුවෙකු ඕන යන චේතනාවෙන් පමණක් එකතුවීමෙන් වැළකී තමන්ගේ අවශ්‍යතාවයට සතුටින් එකතු වීම තමයි මෙහිදී වඩාත් ඵලදායි වෙන්නේ.
  • නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ලිංගිකව එක්වීමෙන් පසුව කාන්තාවගේ උකුල මද වේලාවක්  (විනාඩි 3-4 ක් )උස්ව තබා ගන්න. (මෙය අත්‍යවශ්‍ය නැහැ. නමුත් එය ඉක්මන් ගැබ් ගැනීමට හොඳයි.)
  • කෘතීම ලිහිසිකාරක භාවිත නොකිරීම 
  • මත්පැන් හා  දුම්වැටි භාවිතයෙන් වැළකීම.
  • සංසර්ගය සිදුවූ විගස ඇඟ සේදීමෙන් වැළකීම .
  • එකතු වීමකට පෙර ශරීරය සේදීම සඳහා කාන්තාවන් උණු ජලය භාවිතා කරන්න.
  • නිවැරදි බර පවත්වා ගැනීම සහ BMI අගය 18-25 අතර ප්‍රමාණයේ පවත්වා ගැනීම 
  • අඩු බර සහ 25 ට වැඩි BMI අගය දරු පිළිසිද ගැනීමකට බාධාවක් ඇති කරනවා. ඒ නිසා දරුඵල පමා කරන්නට හේතුවෙන මේ තත්ත්වයන් ගැන වඩාත් සැලකිලිමත් වන්න.
  • ආහාර ඉක්මන් දරු පිළිසිද ගැනීම සඳහා යැයි විශේෂ වූ ආහාර සඳහන් කළ නොහැකි වුණත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්  ගත කිරීම දරුවෙක්බලාපොරොත්තුවන කාන්තාවක් වැඩි වශයෙන්ම අවධානයට ලක්කළ යුතු කාරණයක්. අපි ආහාරයට ගන්නා දේවල් අනුව ශරීරයේ බර වැඩිවීම හෝ අඩුවීම සිදු වෙන්නට පුළුවන්. අධික තෙල්, සීනි සහ අධික පිටි සහිත ආහර ඒ පුද්ගලයාගේ ශරීර බර වැඩි කරන්නටත් බරපතල රෝග තත්ත්වයන් කරා ඒ පුද්ගලයාව ගෙන යන්නටත් හේතු වෙනවා. ඒ නිසාවෙන් දරු පිළිසිද ගැනීමක් ප්‍රමාද වන්නට පුළුවන්. ඒ නිසා ස්වභාවික ආහාර රටාවකට හුරුවීම මේ සෑම බලාපොරොත්තුවක්ම සඵල කර ගන්නට වැදගත් වෙනවා.

වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා 

  • ඔබ වයස අවුරුදු 35 ට අඩු නම් , වෙනත් කිසිදු රෝග තත්ත්වයකින් පෙළෙන්නේ නැත්නම් සෞඛ්‍ය සම්පන්න අයෙක් නම් දරුවෙක් සඳහා ඔබට වසරක පමණ කාලයක් බලා සිටින්නට පුළුවන්. වසරකට පසුවත් ගැබ් ගැනීමත් සිදු නොවන්නේ නම් වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි.
  • වයස අවුරුදු 35 ට වැඩි නම් මාස 6 ක් පමණ කාලයක් ඔබට දරුවෙකු වෙනුවෙන් උත්සාහ කරන්නට පුළුවන්. නමුත් ඒ කාලය තුළ ගැබ් ගන්නේ නැත්නම් මාස 6 කින් පසුව ඔබ වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි. 
  • ඔසප් චක්‍රය බෙහෙවින්ම අක්‍රමවත් කාන්තාවන් දරුවෙක් බලාපොරොත්තුවීමට පෙරම වෛද්‍යවරයෙකු හමුවී ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගත යුතුයි.
  • ගැබ් ගෙන ගබ්සා වීම ඇතිවන කාන්තාවන් වෛද්‍යවරයෙකු හමුවට ගොස් උපදෙස් ලබා ගත යුතුයි.
  • ලිංගිකව එකතුවීමට බියක් දක්වන සහ ලිංගික එකතුවීමකදී දැඩි වේදනාවක් ඇතිවන කාන්තාවන් වෛද්‍ය  උපදෙස් පැතිය යුතුයි.
  • ඉක්මනින් ගැබ් ගැනීම සඳහා මේ කරුණු කාන්තා ඔබට බෙහෙවින් වැදගත් වන්නට ඇති. ඒ වගේම ගැබ් ගැනීම  අපේක්ෂාවෙන් සිටින ඔබ මානසික ආතතියයකින් තොරව සතුටින් සැහැල්ලුවෙන් සිටීමත් ඉතාම වැදගත්. දරුවෙකු පිළිසිද ගැනීම පමාවීමකදී ඒ පිළිබඳව කනස්සල්ලෙන් පසුවීම ඔබේ සිහිනය තවත් දුරස් කරන්නට හේතුවන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.