වර්තමානයේ තයිරොයිඩ් ගැටලු වඩාත් බහුල වී තිබෙයි.පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන් එවැනි තයිරොයිඩ් ගැටලු වලට ගොදුරුවීමේ අවදානම අට ගුණයකින් පමණ වැඩි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.තයිරොයිඩ් රෝග හඳුනාගැනීම සඳහා ඒවායේ පූර්ව රෝග ලක්ෂණ හා සංඥා පිළිබඳ දැනුවත් වීම සහ ඒවා ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් වෙයි.
තයිරොයිඩ් හොර්මෝන මට්ටම් අඩුකම හෙවත් මන්දතයිරොයිඩතාව යනු නිසි මට්ටම් වලින් තයිරොයිඩ් හෝර්මෝන නිපදනොවීමෙන් ඇතිවන ගැටලු තත්වයකි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීමෙන් මෙය හටගනියි. අද අප කතා කරන්නේ තයිරොයිඩ් මට්ටම් අඩුවීම හේතුවෙන් සිරුරේ මතුකළ හැකි රෝග ලක්ෂණ ගැනයි.
ඔබත් කලක සිට පහත දැක්වෙන රෝග ලක්ෂණ අත්දකින්නේ නම්, වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න!

බර වැඩිවීම තයිරොයිඩ් මට්ටම් අඩු පුද්ගලයින්ගේ බර ඉක්මනින් වැඩිවෙයි.තයිරොයිඩ් අඩු මට්ටමක පවතින විට සිරුරේ අනෙකුත් කොටස් වල කැලරි දහනය නොකරන ලෙස සංඥා කිරීමට පටන්ගනියි.පරිවෘත්තිය වේගය ද පහත බසියි.පරිවෘත්තියේ ඇතිවන වෙනස්කම් නිසා සිරුරේ මේද අධිකව තැන්පත්වීමට පටන්ගනියි.දිනකට ලබාගන්නා කැලරි ප්‍රමාණය සීමා කිරීමට උත්සහ කළත් මේ තත්වය නතර නොවිය හැකියි.මන්දතයිරොඩතාවෙන් පෙළෙන රෝගීන්ගේ බර මුල් වසරක කාලය තුළදී රාත්තල් 15-30කින් පමණ වැඩිවීමට හැකි බව ඇතැම් අධ්‍යයන දත්ත ඇසුරෙන් පෙන්වාදෙයි.
හිසකෙස් හැලීයාම තයිරොයිඩ් මට්ටම් අඩුවීම අකලට හිසකෙස් හැලීයාමට හේතුවකි.සමේ සෛල මෙන්ම හිසේ කේෂකූප (follicles) ද නියාමනය වන්නේ තයිරොයිඩ් හෝර්මෝන මඟිනි.මන්දතයිරොයිඩතාවෙන් පෙළෙන විට කේෂකූප යළි වර්ධනය නොවෙයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස අධික හිසකෙස් ගැලවීයාමට පටන්ගත හැකියි.තයිරොයිඩ් ගැටලුවට ප්‍රතිකාර ගැනීම හරහා මේ තත්වය පාලනය කරගැනීමට ඔබට හැකියි.
තෙහෙට්‍ටුව හොඳ නින්දක් ලබා අවදි වු පසුව ද ඔබට නිතර තෙහෙට්‍ටුවක් ,අප්‍රාණික බවක් දැනෙනවාද?ඇතැම් අය මේ තත්වය නොසලකා හැරිය ද ඇතැම් විට එය යටින් පවතින යම් සෞඛ්‍ය ගැටලුවක සංඥාවක් වීමට පුළුවන්.සිරුරේ ශක්තිය සමතුලිතව පවත්වාගැනීමට ක්‍රියාකරන්නේ තයිරොයිඩ් හෝර්මෝනයි.එනම් ක්‍රියාශීලීබව වගේම නින්ද කෙරෙහි ආශාව ද නියාමනය වෙයි.තයිරොයිඩ් හෝර්මෝන අඩුවීම සිරුරේ ක්‍රියාශීලීබව අඩුකරයි. එහි ප්‍රතිඵලයක් ලෙස මානසිකව ද තදබල විඩාවක් දැනෙයි.කිසිවක් කිරීමට සිත් නොදෙන තරම් අප්‍රාණිකබවක් ඇතිවෙයි. එදිනෙදා වැඩකටයුතු කිරීම පවා අපහසු බවක් දැනිය හැකියි. මේ තත්වය දිගින් දිගටම පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත්.
මානසික අවපීඩනය මන්දතයිරොයිඩතාව මානසික අවපීඩනය හෙවත් විශාදයීය ලක්ෂණ මතුවීම හා සම්බන්ධතා පෙන්නුම් කරන බව සඳහන් වේ.දුක්ඛිත ස්වභාවය, කාංසාව වැනි තත්වයන් අත්දකියි.ශරීර ශක්තිය මෙන්ම ශරීර සෞඛ්‍ය ද පිරිහෙයි.මේ තත්වය මනසට බලපෑම් කරන ආකාරය පිළිබඳ තවමත් පර්යේෂණ සිදුවෙමින් පවතියි.
සීතල දැනීම ව්‍යායාම කරන විට සිරුර උණුසුම් වෙයි. වාඩි වී සිටින විට, සිටගෙන සිටින විට පවා ඔබේ සිරුරේ කැලරි දහනය වෙයි.නමුත් සිරුරේ තයිරොයිඩ් මට්ටම් අඩු වූ විට සිරුරේ පරිවෘත්තිය වේගය පහළ බසියි.එනම් විවේකීව සිටින විට පෙර මෙන් කැලරි දහනය නොවෙයි.එම නිසා වෙනදා මෙන් නොව තදබල සීතලක් ඇඟට දැනෙයි. පැහැදිලි හේතුවක් නැතිව සිරුරට අධික සීතලක් දැනෙයි නම් ,එම ලක්ෂණය නොසලකා හැර ඉන්න එපා.
මාංශ පේශී හා සන්ධි වල වේදනාව තයිරොයිඩ් මට්ටම් අඩු වූ විට පරිවෘත්තිය අපරිවෘත්තිය ක්‍රියාවලියට මාරුවෙයි.එනම් ශක්තිය ලබාගැනීම උදෙසා සිරුර එහි පටක බිඳ දැමීමට පටන්ගැනීමයි.මීට ඔබේ පේශී පටක ද ඇතුළත් විය හැකියි.එහි ප්‍රතිඵලයක් ලෙස මාංශ පේශී ශක්තිය අඩුවෙයි. සිරුරට අප්‍රාණික බවක් දැනෙයි.ඉන් පේශී ආශ්‍රිත කැක්කුම් මතුවිය හැකියි.
සමේ වියළිබව සහ කැසිල්ල සමේ සෛල ද සිරුරේ තයිරොයිඩ් මට්ටම් වලට සංවේදීය.සමේ සෛල යළි වර්ධනය වීමේ ක්‍රියාවලිය බිඳ වැටී එය ප්‍රකෘතිමත් වීමට දිගු කාලයක් ගත විය හැකියි.එම නිසා සම අධිකව වියළීම හා කැසිල්ල මතුවීම වැනි ගැටලු ඇතිවෙයි.මීට හේතුව වන්නේ ඔබේ සමේ බාහිර ස්තරය දිගු කාලයක් ඉවත්ව ගොස් තිබීමයි.මින් සම හානිවීමේ අවදානම ද වැඩිවෙයි.

ව්‍යාකූලබව මන්දතයිරොයිඩතාව මනසේ ව්‍යාකූල බව ඇතිවීමට බලපායි. පුද්ගලයාගේ මානසික ඒකාග්‍රතාව හා අවධානය ගිලිහිය හැකියි.මනසේ අවුල් අපැහැදිලි ස්වභාවය නිසා මානසික සෞඛ්‍යයට බලපෑම් ඇතිවෙයි.මතක ශක්තිය දුර්වල විය හැකියි.
මලබද්ධය තයිරොයිඩ් මට්ටම් අඩුවීම මලබද්ධය වැනි අපහසුතා වර්ධනය වීමට හා උත්සන්න වීමට බලපෑ හැකියි.විරේචක භාවිතයෙන් පසුවත් ගුණයක් නොමැති නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
අධික ලෙස ඔසප් රුධිරය වහනය වීම මන්දතයිරොයිඩතාව කාන්තාවන් තුළ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හා අධික ලෙස ඔසප් රුධිරය ගැලීම වැනි ගැටලු මතුකළ හැකියි. මීට හේතුව ඔසප් චක්‍රය නියාමනය කරන වෙනත් ශරීර හෝර්මෝන ක්‍රියාකාරීත්වයන් සමඟ තයිරොයිඩ් හෝර්මෝන බලපෑම් ඇතිකිරීමයි. තයිරොයිඩ් හෝර්මෝන ගර්භාෂය හා ඩිම්බ කෝෂ වල ක්‍රියාකාරීත්වය හා සෘජුව සම්බන්ධයි.