අපේ රටේ මේ වෙද්දි පවතින දේශගුණික තත්ත්වයත් එක්ක ලොකු කුඩා හැමෝටම හිසේ කැක්කුම හිසේ බර ගතිය වගේ අපහසුතා ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් මේ කොයි ලෙඩත් අපේ එදිනෙදා වැඩකටයුතුවලට බාධා ඇති කරන වේදනාකාරී සහ පීඩාකාරී තත්ත්වයක් නිසා ඉතා ඉක්මනින් සහනයක් සලසා ගන්නට තමයි අපි උනන්දු වෙන්නේ.
හිසරදය විවිධ අවස්ථාවලදී විවිධ හේතු නිසා ඇතිවෙනවා. සාමාන්‍යයෙන් වාත දෝෂ වීම නිසා ඇතිවන හිසරදය සමඟ අධික තාපය, අධික උණුසුම් ගතිය උණ ආදී ලක්ෂණ දකින්නට පුළුවන්. ඒ වගේම රාත්‍රී කාලයේදී මේ ලක්ෂණ අඩුවෙලා යාමක් දකින්නත් පුළුවන්. ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ මේ රෝග ලක්ෂණ කුසගින්නේ සිටීම, වකුගඩු සහ පිත්තාශ රෝග ආදිය නිසාවෙන් පවා ඇති වෙන්නට හැකි බවයි.
ඒ හැරුණාම බහුතරයක් දෙනාට ඇතිවෙන තත්ත්වයක් තමයි සෙම කෝප වීම නිසා ඇතිවන හිසරදය. මේ හිසරදයත් එක්කම හිසේ බර ගතිය, තද ගතිය, සීතල වගේම ඇස් ඉදිමීම වගේ ලක්ෂණත් දැක ගන්නට පුළුවන්. මේ රෝග ලක්ෂණ බොහෝ වෙලාවට ප්‍රතිශ්‍යා තත්ත්වයත් එක්ක ඇති වෙන දේවල්.

ඒ හැරුණාම වා,පිත්, සෙම කියන ත්‍රිදෝෂ කෝපවෙලා ඇතිවෙන හිසරදය සන්නිපාත හිසරදය කියලත් හදුන්වනවා. ඒ විතරක් නෙවෙයි ක්‍රිමීන් එහෙම නැත්නම් පණු රෝග, ඉරුවාරදය, මානසික ආතතිය, කාන්සාව, අධික රුධිර පීඩනය, සයනසයිටීස් රෝගය, අධික කොලෙස්ටරෝල් වගේම ස්නායු ආශ්‍රිත රෝග තත්ත්වයන් නිසාත් හිසරදය විවිධ අවස්ථාවලදී විවිධ ස්වරූපවලින් අපට ඇති වෙනවා.
ඉතින් ඇත්තටම හිසරදය කියලා කියන්නේ ඇතැම් බරපතළ රෝග තත්ත්වයන් වගේම සුළු කායික සහ මානසික අපහසුතා පවා පෙන්නුම් කරන එක්තරා රෝග ලක්ෂණයක්. ඉතින් ඒ නිසා හිසරදය හැමවිටම සුළුවට ගත යුතු තත්ත්වයකුත් නොවන වග සිහියේ තබා ගත යුතුයි. ඉතින් අපි අද කතා කරන්නේ සාමාන්‍යයෙන් ඇතිවන හිසේ බර ගතිය සහ හිසේ කැක්කුම සඳහා නිවසේදීම සිදු කළ හැකි පහසු සහ සරල අත් බෙහෙතක් පිළිබඳව .
ආයුර්වේදය ඕනෑම ලෙඩ දුකක් සඳහා ප්‍රතිකාර කරන්නට තරම් සුවිශේෂී දැනුම් සම්භාරයක් තියෙන වෛද්‍ය ක්‍රමයක්. ආයුෂ වර්ධනය කරන විද්‍යාව තුළ සඳහන් වෙන මේ ප්‍රතිකර්මය ඔබටත් සුවයක්ම ගෙන දේවි.
අවශ්‍ය ද්‍රව්‍ය

කුරුඳු පොතු මුළුතැන්ගෙට නැතුවම බැරි සුවිශේෂී රසයක් ගුණයක් සුවඳක් ආහාරයට එකතු කරන අපූරු කුළුබඩුවක් තමයි කුරුඳු. ඒ වගේම විවිධ අත් බෙහෙත් සැකසීමේදීත් ඖෂධයක් විදියට බොහෝවෙලාවට කුරුඳු එකතු කරන්නට සිද්ධ වෙනවා. කුරුඳු සතුව වේදනාවන් නැසීමේ විශේෂ ගුණයක් පවතිනවා .
කුරුඳුවල අඩංගු වාෂ්පශීලී තෙල් ස්වභාවය නාස් කුටීර පුළුල් කරමින් නාසයේ ඇති අවරෝධතා මග හැරීමට උපකාරී වෙනවා. වා පිත් සෙම් යන තුන්දොස් සමනයටම මේ කුරුඳු භාවිතා කරන්නට හැකියාව තිබුණත් ප්‍රධාන වශයෙන්ම කැස්ස, හතිය සහ ස්වසන පද්ධතියේ පවතින අවහිරතා සහ දුර්වලතා නැතිකර හිසේ බර ගතිය නැති කරන්නට කුරුඳු භාවිතා කරන්නට පුළුවන්. ඒ හැරුණාම පිළිකා නැසීමේ ගුණය, වමනය සහ ඔක්කාරය නැති කිරීම, රුධිර සංසරණ ක්‍රියාවලිය පහසු කිරීම, රුධිරය පිරිසිදු කිරීම ආදී ගුණ රාශියක්ම කුරුඳුවල අන්තර්ගත වෙනවා.
සූදුරු වා පිත් සෙම් යන තුන්දොස් නැසීමට උදව්වෙන සූදුරු මුළුතැන්ගෙට ඉතාම අවශ්‍ය කුළුබඩුවක්. විශේෂයෙන්ම පීනස් රෝගවලින් පෙලෙන අයට ඉතාම හිතකර ඔසුවක්. ඒ හැරුණාම පිළිකා නාශක ගුණ, ක්ෂුද්‍ර ජීවී නාශක ගුණ, මව් කිරි වැඩීමේ ගුණ, කුරුලෑ ආදී ආසාදන නැති කිරීමේ ගුණය වගේම සෙම් රෝග නිසා ඇතිවන හිසේ කැක්කුම් නාසයේ අවහිරතා ආදිය නැති කරන්නත් විශේෂයෙන්ම දායක වෙනවා.
ගම්මිරිස් මුළුතැන්ගෙයි භාවිතයට ගැනෙන තවත් මහඟු ගුණ සහිත කුළුබඩුවක් තමයි ගම්මිරිස්. වාතය සෙම නසන සුවිශේෂී ගුණයක් සහිත ගම්මිරිස් උගුරේ සෙම්ගෙඩි, උගුරේ වේදනා ආදිය සුවපත් කරන්නට උදව් වෙනවා. විශේෂයෙන්ම නාසයේ ඇති වෙන බර ගතිය අවරෝධනය මග හැරෙන්නටත් මෙහි අඩංගු වෙන විශේෂ එන්සයිම උපකාරී වෙනවා. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන නාසයෙන් සොටු දියර ගැලීම, වියලි කැස්ස, නාසික අවහිරතාවය ආදී සියලුම රෝග අපහසුතා දුරුකරගන්නට මේ ගම්මිරිස් අපිට භාවිතා කරන්නට හැකියාව තියෙනවා.

දිය ලුණු ආහාරවලට නැතුවම බැරි ලුණු බොහෝ වටිනා කියන ඖෂධයක්. වාතය සහ සෙම නැසීමේ වටිනා කියන ගුණයක් සහිත ලුණු මාංශ පේශි සහ ස්නායු සම්බන්ධ කිරීමේ ගුණයකින් ද සමන්විතයි. ඒ විතරක් නෙමෙයි ශරීරයේ ඇතිවන වේදනාවන් සමනය කරන්නටත් මේ දියලුණු අපිට අතිශයින්ම වැදගත්.
සාදාගන්නා ආකාරය මුලින්ම මැටි මුට්ටියක් ගෙන එයට හුමාලය ඇල්ලීමට තරම් ප්‍රමාණවත් වන පරිදි ජලය පුරවා ගන්න. එයට ඉහත සඳහන් කළ අමුද්‍රව්‍යයන්වලින් මිට බැගින් එකතු කර විනාඩි 30 ක පමණ කාලයක් වසා හොඳින් වාෂ්ප නැගෙන තුරු තම්බා ගන්න.
හොඳින් තම්බා ගත් පසුව වාශ්පය පිටතට යන්න නොදී එය ආඝ්‍රාණය කිරීම සිදු කරන්න. විනාඩි 15 ක පමණ කාලයක් මෙය ආඝ්‍රාණය කිරීම වගේම මේ වරක් තම්බා ගත් මේ ඔසු නැවත වරක් තම්බා භාවිතයට ගැනීමේ හැකියාවත් පවතිනවා.
සෙම් රෝග ඇතිවෙන්නට පෙර මෙය සිදු කිරීම ඉතාම වැදගත්. ඒ වගේම නිතර වායුසමීකරණය කරන ලද පරිසරවල ගැවසෙන පුද්ගලයන්ටත් දිගුකාලීනව සිදුකළ හැකි පිළියමක් මේ.