අක්මාවේ නීරෝගී කරන ඕලු

health tips

ජලජ ශාකයක් වන ඕලු අලංකාර මල් පිපෙන ශාක විශේෂයකි. මේවා නොගැඹුරු වැව් ජලයේ පහසුවෙන් වැවේ. සුවඳවත් මල් හටගන්නා ඕලු වර්තමානය වන විට වාණිජමය වටිනාකම අතින් ද ඉතා ඉහළ ය. 

මෙහි ඖෂධීය වටිනාකමක් ද පවතින අතර ඖෂධ ලෙස ඕලු මල්, අල, දඬු, ඇට, මල් රේණු ආදි සෑම කොටසක්ම  පාහේ භාවිතා කරනු ලබයි. බොහෝ මිනිසුන් මෙහි ඖෂධීය වටිනාකම පිළිබඳව තැකීමක් නොකරන අතර එහි අලංකාරවත් හා සුවඳවත් මල් නිසාවෙන් ආකර්ෂණය වේ. ඕලු ශාකයේ හට ගන්නා මල් වර්ණ කිහිපයකින් දැකගත හැකිය. එනම්, 

  • රතු ඕලු මල් 
  • සුදු ඕලු මල් 
  • කහ ඕලු මල් 
  • ආදී වශයෙනි. 

ඕලු මල් වල ඖෂධීය භාවිතයන් කාන්තා රෝග රෝග වලට ගුණදායක වේ. විශේෂයෙන් කාන්තාවන්ගේ ඇඟ නිවාලීම සඳහා ඕලු ප්‍රත්‍යක්ෂ ඔසුවකි. එමෙන්ම ඇඟ උණුකරවා යාම පාලනයට මෙන්ම ඔසප් සමයේදී අධික ලෙස රුධිරය පිටවීම පාලනය කර ගැනීමට ඕලු භාවිතා කළ හැකිය. 

දියවැඩියාව නසයි. ප්‍රමේහ රෝග අතුරින් දියවැඩියාව එක් රෝග අවස්ථාවකි. බටහිර ඖෂධ ප්‍රතිකාර වලට නොගොස් දේශීය වශයෙන් දියවැඩියාව පාලනය කරගත හැකි ප්‍රධාන ඔසුවක් වන්නේ ඕලු බත් වේ. ඕලු ඇට භාවිතා කරමින් මෙම බත් සකසා ගන්නා අතර ඒවා ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කරගත හැකිය. 

ගර්භණී කාන්තාවන්ට සුදුසු වේ. ගර්භස්ථාපන ගුණයෙන් යුක්ත ඕලු ගර්භණී සමයේ කාන්තාවන්ට ගර්භ ස්‍රාවයන් නිසාවෙන් ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් සමනය කරනු ඇත. 

තුන් දෝෂ සමනය කරයි. ත්‍රිදෝෂ සමනය කිරීමෙහිලා ඕලු අතිශයින්ම වැදගත් වේ. මන්දයත් සෙම කිපීමෙන් ඇතිවන රෝග , පිත කිපීමෙන් ඇතිවන රෝග මෙන්ම වාතය කිපීමෙන් ඇතිවන රෝග යනාදී වශයෙන් තුන් දොස් සමනය කිරීමෙහිලා ඕලු භාවිතා කරයි. 

ශරීර දාහය සමනය කරයි. ශරීරයේ ඇතිවන අසීමිත දාහය නැති කිරීම සඳහා ඕලු මල් ද උපයෝගී කරගනිමින් සකසන මල් කසාය භාවිතා කිරීම යෝග්‍ය වේ. එය සකස් කරනු ලබන්නේ  ඕලූ මල්, නෙළුම් මල්, නා මල්,සමන්පිච්චමල්,මී මල්, රෝස මල් යනාදිය කලං 12 බැගින් සමව ගෙන ඊට ජලය එක්කොට සිදුවා සකස් කර ගැනීමෙනි. මෙම කසාය පානය කිරීම මගින් ශරීර දාහය පමණක් නොව රත් පිත්, රකතශ්‍රාව වැනි තත්ත්වයන්වලට ද යෝග්‍ය වේ. මේ සඳහා ඕලු මල් භාවිතා කරමින් සකස් කරන සරුවත් පානය කිරීම ද යෝග්‍ය වේ. 

අක්මාව නිරෝගිමත් කරයි. මේ සදහා ඕලු හාල් වඩාත් යෝග්‍ය වන අතර ඒවායෙන් පිසින ලද බත් හෝ කැඳ අක්මාවෙ නිරෝගිමත් භාවය ඇති කරයි. විශේෂයෙන් අක්මාවේ මේද තැන්පත් වීම හා සිරෝසීස් වැනි රෝගවලට එරෙහිව ක්‍රියා කරයි. ඕලු හාල් සකසා ගනු ලබන්නේ හොඳින් මෝරන ලද ඕලු මල් වලින් වෙන් කර ගන්නා ඇට වලිනි. මෙම ඇට හොඳින් සෝදා ගරා බත් හෝ කැද පිසිනු ලබයි. 

ඕලු සහල් වලින් රසවත් කැඳ පානයක්  පිසගත හැකිය.ඕලු සහල් පෙඟෙන්නට තබා සෝදා ජලය එක්කර හොඳින් පිස ගත යුතුය. අනතුරුව එයට උකු පොල් කිරි හා රස අනුව ලුණු එක්කර පානය කළ හැකිය. 

එමෙන්ම ඕලු සහල් හා සව් මිශ්‍රකර තවත් කැඳ පානයක් සකස් කරගත හැකිය. ඕලු සහල් සෝදා ජලය එක් කර හොඳින් තම්බා ගත යුතු අතර අනතුරුව එයට පොඟවා ගත් සව්, කජු හා වියලි මිදි එක්කර ඊට උකු පොල් කිරි දමා හොඳින් පිස ගත යුතුය. අනතුරුව ලිපෙන් ඉවතට ගෙන රස අනුව ලුණු සහ සීනි යොදා පානය කළ හැකිය. වද පොඟවාගත් ඕලු සහල් සාමාන්‍ය සහල් සමඟ මිශ්‍ර කර බත් පිසින ආකාරයට පිස ආහාරයට එක්කර ගත හැකිය. මෙසේ විවිධාකාරයට ආහාරයට ගත හැකි ඕලු වල ඉහත දැක්වූ දැක්වූ ඖෂධීය භාවිතයන් වලට අමතරව පහත දක්වා තිබෙන ඖෂධීය භාවිතයන් ද තිබේ. 

  • ආහාර ජීර්ණය පහසු කරයි. 
  • අර්ශස් රෝගය සුව කරයි. 
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. 
  • වකුගඩු නිරෝගිමත් කරයි. 
  • උණ රෝගය සුවපත් කරයි. 
  • වමනය නවතාලයි. 
  • පිපාසය සංසිඳුවයි. 
  • මුත්‍රා රෝග සුව කරයි. 
  • අතීසාරය සුව කරයි. 
  • හෘද රෝග සුව කරයි. 
  • ආදී වශයෙන් ඕලු වල ඖෂධීය භාවිතයන් රැසක් පවතී. එනම් අලංකාර සුවඳවත් මල් පිපෙන ඕලු ශාකය ඖෂධීය ගුණයෙන් ද ඉතා ඉහලවේ. නමුත් රෝග සමනය කිරීමට වෛද්‍ය උපදෙස් මත අත් බෙහෙත් භාවිතා කිරීමට කටයුතු කරන්න.