සිංහලයාගේ ප්‍රධාන ආහාරය බත් බව අපි හැමෝම දන්නවා. නමුත් අද අපේ ආහාර රටාව එදා අපේ මුතුන් මිත්තන්ගේ පෝෂණීය ආහාර වේලට වඩා හාත්පසින්ම වෙනස්. ඒ නිසාම එදා පැරැන්නන් නිදුක් නීරෝගීව වැඩි කාලයක් ජීවත් වුණත් අද වත්මන් පරපුරේ කුඩා දරුවාගේ සිට මහලුවියේ උදවිය දක්වාම වැඩි වශයෙන් බොහෝ රෝගවලින් පීඩා විදිනවා. අඩු වයසින් මියැදෙනවා. මේ සියල්ලටම හේතුව අපේ වැරදි ආහාර පුරුදු සහ ජීවන රටාව. එදා අපේ මුතුන් මිත්තන්ගේ උදෑසන ආහාරය වුණේ හීල් බත. කුස පුරවන අහරත් අද විලාසිතාවක් ලෙස සැලකීම නිසාම අද වත්මන් පරපුර හීල් බත කිව්ව සැණින් අවඥාවෙන් තමයි බලන්නේ. මොකද ඒ තරමටම හීල් බත අපේ ආහාර වේලෙන් ඈත්වෙලා. ඉතින් මේ ලිපිය කියෙව්වොත් නම් ඔබ කවදාවත් හීල් බත විසි කරන එකක් නැහැ. මොකද ඒ තරම්ම ගුණයන් රාශියක් හීල් බත්වල අන්තර්ගත වෙන නිසා.
- හීලෙට තියෙන බත දීපන් දරුවන්ට
- රාළට ටිකක් දීපන් වැඩකට යන්ට

ඉතින් එදා අපේ මුතුන් මිත්තන් උදෑසන අවදිවෙලා කුඹුරට ගියේ දරුවන් අකුරට ගියේ මේ කියන හීල් බතෙන් සප්පයාම් වෙලා. අනික් කාරණය අද වගේ උදේටයි දවල්ටයි දෙකටම අදාල නැති වෙලාවක ඔවුන් ආහාර ගත්තේ නැහැ. උදේ ආහාරය උදෑසන 6- 7 වෙද්දි ගත්තු ඔවුන් එදා ඉතාම ජවසම්පන්නව නීරෝගීව ජීවත් වුණා. මේ හීල් බත ආහාරයට ගැනීමෙන් ශරීරය නීරෝගි වුණා. ශක්තිමත්ව දවසේ වැඩ කටයුතු ටික කරගන්නට ශක්තිය ලැබුණා. ඒ විතරක් නෙවෙයි එය ගෙදර ගෘහණියටත් ඉතා පහසුවක් වුණා. වේලාව ඉතිරි කරගන්නට ආහාර අපතේ නොයවා පරිභෝජනයට මේ හීල් බත මහත් පිටිවහලක් වුණා. ඉතින් හීල් බත කියන්නේ ලාංකීය අපිටම ආවේණික වූ ඉතාම රසවත් ගුණවත් ආහාරයක්. නමුත් අවාසනාවට වත්මන් පරපුරට හීල් බත අගුණයි. උණු බත ගුණයි.
මේ හීල් බත් කියන්නේ පෙරදින රාත්‍රියේ උයන ලද බත්වලින් ඉතිරි බත් ටික උදේට ආහාරයට ගැනීම. මේ බත් උපස්ථරය මත වාතයේ සහ අවට පරිසරයේ ඇති යීස්ට් ඇතුළු හිතකර ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙනවා. එයින් හීල් බත් පැසීමේ ක්‍රියාවලියකට ලක් වෙනවා.බත් පිළුණු වෙනවා කියන්නේ මේ පැසීමේ ක්‍රියාවලිය අවශ්‍යය ප්‍රමාණය ඉක්මවා සිදුවීමෙන්. මේ හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා විටමින් B කාණ්ඩයේ විටමින්වල සහ C කාණ්ඩයේ විටමින්වල සාන්ද්‍රණය ඉහළ යනවා. ඒ නිසාම හීල් බත් මත B කාණ්ඩයේ සහ C කාණ්ඩයේ විටමින් ප්‍රමාණය ඉහළයි. ඒ වගේම විටමින් B 12 ප්‍රමාණයත් මෙහි ඉතා ඉහළයි.
නමුත් ලංකාවේ අපි රාත්‍රියේ ආහාරයට ගෙන ඉතුරුවන බත් උදෑසන විසි කරදමනවා. එහෙම නැත්නම් එය නැවත රත්කර ගන්නවා. මෙසේ නැවත රත්කිරීමෙන් හෝ ශීතකරණයේ තැබීමෙන් මේ හීල් බත් සතු මේ ගුණයන් නම් ලබා ගන්නට බැහැ. අද බොහෝදෙනා උණු බත් ආහාරයට ගන්නට වැඩි රුචියක් දැක්වීම නිසා දිනකට අපතේ යන බත් ප්‍රමාණය ඉතා ඉහළයි. ඒ වගේම උදේ ආහාරයට විවිධ කෘතීම රසකාරක අඩංගු කෙටි ආහාර ගැනීමෙන් වැඩිහිටියන් වගේම දරුවන් බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. දර , ගෑස් ආදී ඉන්ධන වැඩි වශයෙන් වැය වෙනවා. කාලය වැය වෙනවා. ඉතින් සැබෑවටම හීල් බත් කියන්නෙම ඉතුරුවක්. ප්‍රතිලාභයක්.
හීල් බත් සතු විස්මිත ගුණ

- වා, පිත, කප යන තුන්දොස් සමනය කරයි.
- සප්ත ධාතුව සමතුලිතව පවත්වා ගන්නට හැකියාව ලැබෙන අතර බඩගින්න වැඩි කරයි.
- සත්ත්ව ආහාර කිසිවක් නොගන්නා අයට සැලකිය යුතු විටමින් B 12 ප්‍රමාණයක් ලබාදෙයි.
- විටමින් B 12 ශරීරයට වගේම මස් ආදී සත්ත්ව ආහාර තුලට ලැබෙන්නේ ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය නිසාවෙන්. B 12 හීල් බත්වල සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත නිසා සත්ත්ව ආහාර කිසිවක් නොගන්නා අයට සැලකිය යුතු ප්‍රමාණයකින් මේ විටමින් B 12 ලබාගන්නට පුළුවන්. එමගින් උදාසීන බව අඩු කරගන්නටත් පුළුවන්.
- මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්නට හැකියාව ලැබෙයි.
- විටමින් C කාණ්ඩයේ සහ විටමින් B කාණ්ඩයේ විටමින් වැඩි ප්‍රමාණයක් ශරීරයට ලබාදෙයි.
- ඉතා පහසුවෙන් ජීර්ණය කරයි.බොහෝ අය උණු බත් ආහාරයට වැඩි රුචියක් දැක්වුවත් උණු බත්වලට වඩා හොඳින් ජීර්ණය වීමේ හැකියාව හීල් බත් සතු වෙනවා.විශේෂයෙන්ම ප්‍රෝටීන්වල ජීර්ණ හැකියාව තවදුරටත් ඉහළ නංවන්නට හීල් බත්වලට මේ හැකියාව ලැබී ඇත්තේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් සිදුවන පැසීමේ ක්‍රියාවලිය නිසා.

- ජෛවී ආහාරයක් නිසා ශරීර සෞඛ්‍යට ඉතා හිතකරයි.
- බත් වගේම අනෙකුත් බොහෝ ආහාරය අපි ආහාරයට ගනු ලබන්නේ වැඩි වශයෙන් පිරිසිදු කර තම්බා ගැනීමෙන් පසුවයි. එවිට එය ජෛවී ආහාරයක් වන්නේ නැහැ. ඒ නිසා අපේ ශරීරයට හිතකර විටමින් වර්ග,එන්සයිම හෝර්මෝන සහ ප්‍රතිඔක්සිකාරක ආදී රසායනික සංයෝග බොහොමයක් විනාශ වී යනවා. ඒ නිසා බත් පිස රැයක් තබා ආහාරයට ගත හැකි හීල් බත් ජෛවී ආහාරයක් ලෙසටයි සලකනු ලබන්නේ. එබැවින් උණු බතට වඩා සෞඛ්‍යාරක්ෂිත බවින් සහ පෝෂ්‍යාදායි බව අතින් ඉතා ඉහළයි.
- ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගෙන යන්නට උපකාරී වෙයි. එයින් ක්‍රියාශීලි මානසිකත්වයක් ඇති වෙයි.
- ලෙඩ රෝග ඇතිවීමේ අවදානම අඩු කර දීර්ඝායුෂ ලබාදෙයි.
- මේ හීල් බතින් සකස් කරගත හැකි දියබත අමිල පිත්ත රෝගය සුවකරයි. දීර්ඝායුෂ වර්ධනය කරයි. ඇග සිසිල් කරයි.
ඉතින් හීල් බත් ආහාරයට ගන්නට හැකි නම් උදෑසන නිවසේ තියෙන කලබලකාරී තත්ත්වය සමනය කරගන්නට පුළුවන්. කෙටි කෑම ගැනීම වැළකෙනවා.සෞඛ්‍යාරක්ෂිතයි. ගෘහණියගේ මානසික පීඩනය අවම කරනවා.බත් අපතේයාම වැළකෙනවා. නිවසේ ආර්ථිකයට සවිබලයක්. ඉතින් ඔබත් හීල් බත් මෙතුවක් කල් ආහාරයට නොගත්තත් අද සිට හෝ ඒ රසවත් ගුණවත් හීල්බත් ආහාරයට නොගෙන විසි කරන්නට නම් එපා.