මලපහ ආදී බහිශ්‍රාවීය ද්‍රව්‍ය පිළිබඳව කතා කරන්නට අපි කැමති නැහැ. නමුත් මලපහ කියන්නේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය සහ ආහාර ජීර්ණ ක්‍රියාවලි රැසකට සම්බන්ධ අවසන් ඵලය. ඒ වගේම සෑම ජීවියෙක්ම මේ කාර්ය සිදු කරනවා. ශරීරයෙන් පිටවන මේ වගේ අතුරු නිෂ්පාදනවලින් අපේ ශරීර සෞඛ්‍ය පිළිබඳව බොහෝ කරුණු කාරණා දැන කියා ගන්නට පුළුවන්.අපේ ශරීරය නීරෝගීව පවතිනවා ද නැද්ද යන්න ඉතා පහසුවෙන්ම දැන හඳුනා ගන්නට හැකි ආකාරයක් තමයි අපේ ශරීරයෙන් පිට කරන මලපහවල ස්වභාවය නිරීක්ෂනය කිරීම. විශේෂයෙන්ම මලපහවල පැහැයේ වගේම හැඩයේ යම් වෙනස්වීමක් ඇත්නම් අපේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇති ලෙඩ රෝග මොනවාද යන්න ඉතා පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ මලපහ ආශ්‍රයෙන් අපේ සෞඛ්‍ය සම්පන්න බව දැන ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි.

වර්ණය අනුව මලපහවල වර්ණය ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් එමගින් ඔබටත් ඔබ නීරෝගී ද නැද්ද යන්න දැන කියා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් නිරෝගි අයෙකුගේ මලපහ දුඹුරු පැහැයක් ගන්නා අතර ඊට වෙනස් පැහැයක් ගන්නේ ශරීරය අභ්‍යන්තරයේ පවතින යම් සෞඛ්‍ය ගැටළුවක් නිසාවෙන්. ඒ නිසා මලපහවල වර්ණය පිළිබඳව සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්.
සුදු පැහැයෙන් යුත් මලපහ සුදු හෝ අළු පැහැයට හුරු වර්ණයකින් මලපහ පිට වෙන්නට හේතු වෙන්නේ පිත මදිකම නිසාවෙන්. ඒ හැරුණාම යම් විටෙක අක්මාවේ හෝ පිත්තාශයේ යම් යම් ගැටළු පවා මේ සඳහා හේතු වන්නට පුළුවන්. පිත්තාශයේ ගැටළු පවතින විට උදරයේ වේදනාවක් වුණත් ඇතිවෙන්නට පුළුවන්. නමුත් ඒ හැර වෙනත් රෝග ලක්ෂණයක් නම් පෙන්වන්නේ නැහැ. අක්මාව ආශ්‍රිත සිරෝසීස් රෝග තත්ත්වයේදී කලින් රෝගය හඳුනා නොගැනීම අක්මාව යළි සුව නොවන තත්ත්වයට පත් කරනවා. ඒ වගේම ජීවිත හානියක් පවා එයින් ඇති කරන්නට පුළුවන්.
කහ පැහැයෙන් යුත් මලපහ කහ පැහැ මලපහවලින් හඟවනු ලබන්නේ නිසිපරිදි මේදය අවශෝෂණය නොවීමක් හෝ පිත්තාශ නාල සිරවීමක් හෝ අග්න්‍යාශය ආශ්‍රිත එන්සයිම නිෂ්පාදන ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීමක්. නැත්නම් අග්න්‍යාශ ප්‍රදාහයක් හෝ කෝෂ්ට ප්‍රදාහයක් හේතුවෙන් වුණත් මේ වර්ණය ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා.ඒ හැරුණාම යම් විටෙක ඔබ වැඩි වශයෙන් කැරට් හෝ කහ පැහැ එළවලු වගේම කහ පැහැ බීම වර්ග පානය කළ විටත් මලපහ කහ පැහැයක් ගන්නට පුළුවන්.
කළු පැහැ වර්ණයෙන් යුත් මලපහ බොහෝවිට අපි ලබා ගන්නා යකඩ පෙති, ඇස්ප්‍රීන් හා අයිබියුප්රෝෆේන් ආදී ඖෂධ නිසා වගේම කළු පැහැයට හුරු ආහාර අනුභවය නිසාත් මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. එවැනි හේතුවක් නොමැතිව කළු පැහැයෙන් මලපහ පිටවන්නේ නම් එය අන්ත්‍රයේ සිදුවන රුධිර වහනයක් නිසා වන්නට පුළුවන්. ඒ නිසා එවැනි අවස්ථාවක වහාම වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි.
කොළ පැහැයෙන් යුත් මලපහ මලපහ කොළ පැහැයක් ගන්නට හේතුවෙන නිවිති ආදී ආහාර අනුභවයකින් තොරව මලපහ කොළ පැහැයක් ගැනීම මගින් පෙන්නුම් කරන්නේ ආහාර ජීර්ණය නිසි පරිදි ජීර්ණයට ලක් නොවී බඩවැල් හරහා ගමන් කර ඇති බවයි.ඒ වගේම බිලිරුබීන් වගේම පිත අවශ්‍ය ප්‍රමාණයට නොලැබී ඇති බවත් එයින් හඟවනු ලබනවා.
රතු පැහැයෙන් යුත් මලපහ බීට්රූට් හෝ රතු බීම ආදී ආහාර අනුභවයකින් තොරව මලපහ රතු පැහැයකින් පිට වන්නේ නම් එය පමානොවී වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්ත්වයක්. විශේෂයෙන්ම ගුද මාර්ගයේ තුවාල, අර්ශස් ආදී රෝගයන් හේතුවෙන් මෙවැනි පැහැයෙන් මලපහ පිටවෙන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
මලපහවල හැඩය අනුව පුද්ගලයෙකුගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව කියවෙන ආකාරය

සාමාන්‍යයෙන් නීරෝගි අයෙකුගේ මලපහවල හැඩය වන්නේ වියළි ඉරි තැළුන හෝ මෘදු ස්වභාවයක් සහිත සොසේජස් ආකාරයේ මලපහ. ඒ හැඩයට වඩා වෙනස් ආකාරයෙන් මලපහ පිටවීම ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍ය ගැටළුවක් නිසා වන්නට පුළුවන්.
කුඩා කැට වැනි ආකාරයෙන් මලපහ පිටවීම ඔබ මල බද්ධයෙන් පෙළෙන බව පෙන්නුම් කරන්නක්. තන්තු අඩු ආහාර ලබා ගැනීම නිසා වගේම වෙනත් ලෙඩ රෝග නිසා මලබද්ධය ඇතිවෙන්නට පුළුවන්.
විශාල ගැටිති සහිත දිගැටි ආකාරයේ මලපහ තන්තු මදිකම වගේම ශරීරයේ ක්‍රියාශීලි බව අඩුවීමත් නිසා ඇතිවන මල බද්ධය නිසා ඇතිවන තත්ත්වයක්.
අතීසාර තත්ත්වයකදී මෘදු ගැටිති සහිත ස්වභාවයකින් මලපහ පිටවීමක් දකින්නට පුළුවන්. නමුත් දරුණු අතීසාර තත්ත්වයකදී බඩ බුරුල්වී යාමට සමාන එතරම් මෘදු නොවන ආකාරයෙන් මලපහ පිට වෙන්නට පුළුවන්.
දියරමය ස්වභාවයෙන් මලපහ පිටවන්නේ නම් එයත් ඉතා දරුණුම ආකාරයේ අතීසාර තත්ත්වයක් නිසා වන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයකදී ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසු වෙනවා.
ඉතින් නැවත හැරී බලන්නට අකමැති මලපහ මගින් අපේ සිරුරේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉතා අපූරුවට දැන කියා ගන්නට පුළුවන්. මෙසේ මලපහවල වෙනස්වීම් පිළිබඳව ඔබ සැලකිල්ලෙන් පසු වන්නේ නම් බොහෝ රෝග දරුණු තත්ත්වයට පත්වන්නට පෙර සුවකර ගන්නටත් හැකියාව ලැබෙන බව සිහියේ තබා ගන්න.