බෝ වන රෝගවලට වඩා වේගයෙන් බෝ නොවන රෝගවලට අපි ගොදුරු වෙනවා. ඒ නිසාම මුළු ලෝකයේම ජනතාව පීඩා විදින බෝ නොවන රෝග විදියට වකුගඩු අමාරු, පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝග මුල් තැනක් ගනු ලබනවා. මේ බෝ නොවන රෝග වැළදෙන්නට වැඩි වශයෙන් බලපානු ලබන්නේ අපේ වැරදි ආහාර රටාව හා වැරදි චර්යා රටාවන්. හෘදයාබාධ ඇතිවීමට සහ එයින් වැළකෙන්නටත් අපිට හැකියාව ලැබෙන්නේ ඒ නිසා.
හෘදයාබාධයක් පිළිබඳව කතා කරද්දි එහි මූලිකම රෝග ලක්ෂණය වෙන්නේ පපුවේ කැක්කුම . නමුත් පපුවේ එන සෑම වේදනාවක්ම හෘදයාබාධයක් වෙන්නේ නැහැ.නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් යැයි සිතා නොසලකා හැරීම නොකළ යුත්තක්. තමන්ට ඇතිවන පපුවේ කැක්කුම හෘදයාබාධයක් ද නැත්නම් හදවත හා සම්බන්ධ නොවන අවයවක් හෝ මාංශ පේශී ආශ්‍රිතව ඇතිවන ගැටළුවක් නිසා ඇතිවන්නක් ද යන්න නිවැරදිව දැන කියා ගන්නට තමයි මේ සූදානම් වෙන්නේ.
සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා පුරුෂයින්ට හදවත් රෝග ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා. විශේෂයෙන්ම දුම්පානය මත්පැන් භාවිතය ආදි වැරදි පුරුදු බොහෝදුරට කාන්තාවන් අතර අඩුවීමත්, කාන්තාවන්ගේ සිරුරේ නිපදවෙන ඊස්ට්‍රජන් හෝර්මෝනය නිසා සහ ආර්තව චක්‍රය නිසාත් හදවත් රෝග ඇතිවීම ස්වාභාවිකවම බොහෝදුරට පාලනය කරනු ලබනවා.
හෘදයාබාධ නොවන පපුවේ කැක්කුම්

- කක්කල් කැස්ස ඇති කිරීමට හේතුවන වෛරස මගින් පපුවේ මාංශ පේශී ආශ්රිත ස්නායු ගැංගේලියම් ඉදිමීමට ලක්වීම නිසා
- Hiatal Hernia රෝග තත්ත්වයේදී
- පිත ප්‍රනාල සහ පිත්තාශය අතර ගල් සිරවීමෙන්
- ලිංගාශ්‍රිතව ඇතිවන සිපිලිස් රෝගය පෙනහළු ආක්‍රමණය කිරීම හේතුවෙන්
- පෙනහළු කරා ගමන් කරන රුධිර කැටියක් සිරවූ විට
- ප්ලූරිසියාව හෙවත් පෙනහළු පටල ප්‍රදාහ අවස්ථාවක දී
- ප්ලීහාව ආශ්රිත ආබාධවලදී
- ඇදුම හෝ උරහිස් කූඩුව ආශ්රිත ආතරයිටීස් තත්ත්වය
- අධික බර ඔසවා ගෙනයාම හෝ අධික ලෙස ව්‍යායාම්වල නිරතවීම නිසා පපු කුහරය ආශ්රිත මාංශ පේශීවලට දැඩි පීඩනයක් එල්ලවීමෙන්
විශේෂයෙන්ම හුස්ම ඉහළ පහළ යවන විට ඇතිවන පපුවේ වේදනාව, අල්පෙනෙති තුඩකින් අනින්නා බඳු වේදනාව,කඩියෙකු කන්නා සේ දැනෙන වේදනාවන් හදවතේ ඇතිවන වේදනාවන් වන්නේ නැහැ. ඒ වගේම ක්ෂණිකව ඇතිවී නැතිවී යන වේදනාවන් ද කිසි අවස්ථාවක හදවතේ ගැටළුවක් නිසා ඇති වන්නක් නොවෙයි. ඇතැම්විට පපුවේ වේදනාව විනාඩි 2,3 ක සිට විනාඩි 15 දක්වා තිබී ඉබේම සමනය වෙන්නටත් පුළුවන්.
ඒ වගේම හෘදයාබාධයක් වුණත් අන්ජයිනා තත්ත්වය සාමාන්‍ය කොට සැලකිය යුතු වේදනාවක් නොවෙයි. එහිදී විනාඩි 15 ක් පමණ පවතින මේ වේදනාව පපුව මිරිකන විට දැවෙන විට ඇතිවන ආකාරයේ පපුවේ වේදනාවක්. එය අත්, හණු හෝ උදරය කරා පැතිරෙන්නට පුළුවන්. මේ ඇන්ජයිනා තත්ත්වය ස්ටේබල් ඇන්ජයිනා සහ අන්ස්ටේබල් එන්ජයිනා විදියට වර්ග කර තියෙනවා. මේ පපුවේ කැක්කුම හෘදයාබාධයක් නොවුණත් හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් සහිත නිසා ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා. කොහොමවුණත් හෘදයාබාධවලට මෙන්ම එන්ජයිනා තත්ත්වයටත් එකසේ හේතු වෙන්නේ යම් අයෙකුගේ රුධිර නාල තුළ එක් රැස්විය හැකි තරමට මේදය තැන්පත්වීම මගින්.
හෘදයාබාධයක රෝග ලක්ෂණ

- පපුවේ මැදින් ඇරඹෙන වේදනාව
- පපුව තෙරපන්නා සේ දැනීම හා එය ඉතා දැඩිවීම
- මේ වේදනාව වම අත හෝ හක්ක දෙසට විහිදී යාම
- පපුවේ වේදනාව පිට පැත්තේ උරපතු ඇට අතරට යාම
- බඩේ දැවිල්ල
- වමනය හෝ ඔක්කාරය
- අධිකව දහදිය දැමීම
- පපුවේ ගැස්ම
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- කරකැවිල්ල
හෘදයාබාධ ඇතිවීමට බලපාන හේතු
- ප්‍රවෙණිගත සාධක
- දුම් පානය
- රුධිරයේ කොලෙස්ටරෝල් අධික වීම
- අධි රුධිර පීඩනය
- දියවැඩියාව
- අධික තරබාරුව
- ව්‍යායාම් නොමැතිවීම
- මානසික ආතතිය
- උපත් පාලන පෙති භාවිතය
- කෝපි අධික ලෙස ගැනීම
- උපත් බර අඩුවීම
හෘදයාබාධවලින් වැළකීමට

- දුම්පානයෙන් වැළකීම හෘදයාබාධ සඳහා මූලිකවම බලපාන සාධකයක් තමයි දුම්පානය. එමගින් හෘද ස්පන්දනය වැඩිවීම, රුධිර පීඩනය ඉහළ යාම, රුධිරයේ හිතකර එල්. ඩී. අංශු අඩුවීම,රුධිර නාල සිහින් කිරීම, රුධිර කැටි ගැසීමේ සාධකය වැඩි වීම, හදවතට රුධිර සැපයුම අඩුවීම ආදී බොහෝ අහිතකර තත්ත්වයන් ඇති කරනවා. ඒ නිසා දුම්පානයෙන් වැළකීම හෘදයාබාධ සෑදීමට ඇති ඉඩකඩ බොහෝදුරට අවම වෙනවා.
- මත්පැන් භාවිතයෙන් වැළකීම මත්පැන් භාවිතය හදවතේ වම් කෝෂිකාව ඉදිමීමට හෘදයේ ක්‍රියාකාරිත්වය අක්‍රමවත් වී ක්ෂණික හෘදයාබාධ පවා ඇති කරනු ලබනවා.
- අධික තෙල් අධික පිටි අධික සීනි සහ ලුණු අඩංගු ක්ෂනික කෘතීම ආහාර භාවිතයෙන් ඈත්වීම ඒ වෙනුවට ස්වභාවික එලවලු පලතුරු නිතර ආහාරයට එකතු කර ගැනීම.
- අලසව දවස ගත නොකර ප්‍රමාණවත් පරිදි ශාරීරික ව්‍යායාම්වල නිරත වීම
- තුන් වේලටම බත් ආහාරයට නොගෙන බත් අඩුවෙන් හා එලවලු වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම
හෘදයාබාධයක් සහිත පපුවේ කැක්කුමක් ඇතිවූ අවස්ථාවක
- හෘදයාබාදයක රෝග ලක්ෂණ සහිතව අපහසුතාවයක් පපුවේ වේදනාවක් ඇති අයෙක් ඒ අපහසුතාවය ඔබට පවසන්නේ නම් එවිට ඇදක් හෝ හාන්සි කිරීමට යමක් නොමැති නම් බිම් හෝ රෝගීයාව තිරස්ව වැතිරීමට සලස්වන්න.
- පුටුවක වාඩි කරන්නේ නම් දෙපා රෝගියාගේ සිරුරට සමාන්තරව ඔසවා තබන්න.
- සිහි මද ගතියක් ඇත්නම් රෝගියාව වහාම එක් ඇලයට හරවන්න.
- තද ඇදුම් ලිහිල් කරන්න.
- මුත්‍ර හෝ මළපහ පිට කිරීමට අවශ්‍ය නම් දිගාවී සිටියදීම එය කිරීමට සලස් වන්න. නැගිටුවා ඇවිද්දවීම නොකළ යුතුයි.
- ඇස්ප්‍රීන් පෙත්තක් ඇල්වතුර කෝප්ප කාලකට දියකර රෝගියාට ලබා දෙන්න.වෙනත් පානයන් ලබා නොදෙන්න.
- රෝගියාට හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට සලස්වන්න.
- අධික ලෙස දහදිය දමන්නේ නම් පවන් සලන්න.
- වහාම වෛද්‍යවරයෙකු කරා යොමු කරන්න.