හදවත් රෝග ඇතිබව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 6 ක්

health tips

හදවත් රෝග නොහොත් හෘදයාබාධ වර්තමානයේ වයස් භේදයකින් තොරව ඇතිවන රෝගී තත්ත්වයකි. මුල් කාලීනව හෘදයාබාධ ඇතිවන්නේ වයසින් වැඩි අයට යැයි මතයක් පැවතුණ නමුත් නූතනය වන විට වයස අවුරුදු 45 ට වත් ලගා නොවූ පුද්ගලයින්ට පවා හෘදයාබාධ වැලඳෙන බවට වාර්තා පවතී. 

හෘදයෙහි මූලිකම කාර්යය වන්නේ සිරුර තුළ රුධිරය පොම්ප කිරීම වේ. මෙහිදී සිරුරට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම මෙන්ම සිරුරෙන් ඉවත් විය යුතු දෑ ඉවත් කිරීම ආදී වශයෙන් හෘදයේ ක්‍රියාකාරිත්වය සිදුවේ. 

විශේෂයෙන් රුධිරය පොම්ප කිරීමට දායක වන මාංශ පේශීන් වලට සිදුවන හානිය මත හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වේ. මෙම මාංශ පේශීන් හානි වූ විට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වන අතර මෙමගින් හදවතේ පටකවලට අහිතකර බලපෑම් ද සිදුවේ. 

හෘදයාබාධයක් ඇතිවීමේ දී ඒ සඳහා මූලික වශයෙන් බලපානු ලබන්නේ හදවතට රුධිරය ගමන් කිරීමේ අඩුවීමක් ඇතිවීම හෝ රුධිරය ගමන් නොකිරීම වේ. මෙම තත්වය ඇති වන්නේ හදවතට රුධිර සංසරණය සිදු කරන ධමනි එකක් හෝ කීපයක් අවහිර වීම නිසාවෙනි. විශේෂයෙන්ම කිරීටක ධමනි තුළ කාලාන්තරයක් තිස්සේ ලිපිඩ තැන්පත් වීම මගින් රුධිර සංසරණය සිදු වන විට ලිපිඩ ස්තර කැබලි කැඩී රුධිරයත් සමග ගමන් කරනු ඇත. ඇතැම්විට එම කැබලි කුඩා නාල තුළ ගමන් කිරීමේදී අවහිරතා ඇතිවේ. එහිදී හදවත වෙත නිසි පරිදි රුධිර සංසරණය නොවේ. 

සමස්ත ජීවිත කාලය තුළ ම ක්‍රියාත්මක වන ඉන්ද්‍රියක් ලෙස හදවත හඳුනා ගත හැකි අතර වර්තමානයේ සිදුවන බොහෝ  මරණ වලට හේතුව හෘදයාබාධ තත්ත්වයන් වේ. මෙම රෝගය ඇතිවීම සඳහා බලපාන ලබන ප්‍රධාන කරුණු කාරණා කිහිපයක් පවතී. 

  • ජානමය හේතු සාධක 
  • අධි රුධිර පීඩනය 
  • දියවැඩියා රෝගයෙන් පීඩා විදීම 
  • රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වීම 
  • දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය යනාදී අහිතකර ජීවන පුරුදු 
  • ව්‍යායාමවලින් තොර වීම යනාදී කරුණු කාරණා හෘදයාබාධ ඇතිවීම සඳහා දැඩි බලපෑමක් ඇති කරයි. 

හෘදයාබාධයක් ඇතිවූ විට පෙන්නුම් කරන පුර්ව රෝග ලක්ෂණ පවතී. මේ පිළිබඳ නිසි අවබෝධයකින් හා දැනුවත් භාවයකින් සිටීමෙන් රෝගී අවදානමෙන් මිදීමට හැකියාව පවතී. 

හෘදයාබාධ ඇතිවූ විට හඳුනා ගත හැකි රෝග ලක්ෂණ. 

පපු ප්‍රදේශයේ ඇතිවන අධික වේදනාව. මෙහිදී පපු ප්‍රදේශයේ හරි මැදින් ඇතිවන අධික වේදනාව හෝ හිරිවැටීම හෘදයාබාධක පූර්ව ලක්ෂණයකි. මෙම වේදනාව හනු වලට, උරහිස් වලට, බෙල්ලට පවා දැනෙනු ඇත. මෙම වේදනාවත් සමඟම අදික ලෙස දහඩිය දැමීම, වමනය හෝ ඔක්කාර ගතිය, කලන්තය ඇති වීම සහ හෘද ස්පන්දනය දැනෙන්නට පටන් ගැනීම ආදී වශයෙන් රෝග ලක්ෂණ මතුවේ. 

අසාමාන්‍ය ලෙස මහන්සියක් හා තෙහෙට්ටුවක් දැනීම. විශේෂයෙන් මෙහිදී කිසිදු මහන්සියක් තෙහෙට්ටුවක් නොදැනෙන අවස්ථාවකදී වුවද ශරීරයට එවැනි අපහසුතා ඇතිවේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇඳෙන් බැසීමේදී, සුළු දුරක් එළියට ඇවිදීමේදී ආදී වශයෙන් වෙහෙස මහන්සිය දැනීම හෘදයාබාධයක පූර්ව ලක්ෂණයක් විය හැකිය. 

සුව පහසු නින්දකට බාධා ඇතිවීම. විශේෂයෙන් මෙහිදී සාමාන්‍ය පරිදි නින්දකට යොමු වීමට නොහැකි අවස්ථාවලදී ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. නිදා ගැනීමේ රටාවේ වෙනස්කම් ඇතිවීම, කඩින් කඩ නින්ද ඇතිවීම මෙන්ම නින්දට යාමේදී ඇතිවන අපහසුතා ආදිය හෘදයාබාධයකට මගපෙන්වන පූර්ව ලක්ෂණ වේ. එබැවින් සුව පහසු නින්දකට බාධා ඇතිවේ නම් හෘදයාබාධ පිළිබඳ අවදානමෙන් සිටීම ඉතා වැදගත් වේ. 

හුස්ම ගැනීමේ අපහසුතා. සාමාන්‍ය දෛනික ජීවිතයේ දී සිදු කරන වැඩ කටයුතු වලින් පසුව යම් පුද්ගලයකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වන්නේ නම් එම පුද්ගලයා හෘදයාබාධ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මෙම තත්ත්වය උණ හෝ නින්ද නොයාම යන තත්ත්වයන් වලදී ද ඇතිවිය හැකි අතර එම තත්වයන්ගෙන් තොරව හුස්ම ගැනීමේ අපහසුතා සහ හුස්ම හිරවීම වැනි තත්ත්වයන් ඇති වේ නම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. 

ආහාර ජීර්ණය නිසි පරිදි සිදු නොවීම. මෙහිදී බඩෙහි ඇතිවන ආම්ලික තාවය නිසාවෙන් ඇතිවන දැවිල්ල සහ ගෑස් මෙන්ම ලබාගන්නා ආහාර නිසි පරිදි ජීර්ණය නොවීම යනාදී කරුණු කාරණා වලදී ද හෘදයාබාධ අවදානම පවතී. 

කාංසාව. මෙහිදී කිසිදු හේතුවකින් තොරව කනස්සල්ලෙන් සිටීම, කලබලකාරී ගති පෙන්නුම් කිරීම ආදී වශයෙන් පෙන්නුම් කරන ලක්ෂණ ඇත්නම් ඒවා කාංසාව නිසා ඇති වන ලක්ෂණ වේ. සිංහල කාංසාව ඇති වීම හෘදයාබාධ වෙත පුද්ගලයින් යොමු කරනු ලබයි. ඒ පිළිබඳ පිළිබඳ සැලකිල්ලෙන් සිටීම ද හෘදයාබාධ අවදානමෙන් මිදීම සඳහා අවශ්‍ය වේ. 

ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතී නම් හෘදයාබාධ පිළිබඳ සැලකිලිමත් වීම ඉතා යෝග්‍යවේ. මෙම අවදානමෙන් මිදීම සඳහා පුද්ගලයින්ට කලහැකි දේවල් ද පවතී. ඒ අනුව 

  • අධික තෙල්, පිටි, ලුණු හා සීනි භාවිතයෙන් තොර සෞඛ්යමත් ආහාර පුරුදු පවත්වාගෙන යාම 
  • මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයෙන් තොර වීම 
  • නිසි ව්‍යායාම වල යෙදීම 
  • අයහපත් ජීවන පුරුදු වලින් බැහැරවීම 
  • දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් හා අධි රුධිර පීඩනය වැනි හෘදයාබාධ සඳහා හේතුවන අවදානම් සහගත සාධක පාලනය කිරීම 

ආදී කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සහ හෘදයාබාධ වල පූර්ව ලක්ෂණ කෙරෙහි අවධානයෙන් සිටීමෙන් හෘදයාබාධ ඇතිවීම පාලනය කරගත හැකිය.