හදවත් රෝගවලින් ඔබව ආරක්ෂා කරන ආහාර වර්ග 12 ක්

health tips

හදවත අපේ ශරීරයේ අවයවයන් අතරින් ඉතා වැදගත්ම අවයවයක්. රුධිරය මගින් ඔක්සිජන් ඇතුළු පෝෂක කොටස් ශරීරය පුරා ගෙනයමින් මුළු ශරීරයටම රුධිරය බෙදා හරිනු ලබන්නේ හදවත මගින්. ඒ නිසා හදවත ආශ්‍රිතව යම් ආබාධයක් ඇතිවුණොත් එය ඍජුවම අපේ සමස්ත ශරීරයේ පැවත්මට හානිදායක විදියට බලපානවා.ඉතින්  මේ අවයවය නිතරම විවිධ ලෙඩරෝගවලට ගොදුරුවීමේ අවදානමත් ඉහළයි. ඉතින් හදවත් රෝග බොහොමයක් ඇති වෙන්නේ අපේ වැරදි ආහාර රටාව නිසා. හෘදයාබාධයක් හටගන්නේ හදවතට රුධිරය සපයන රුධිර වාහිනී තුළ කොලෙස්ටරෝල් තැන්පත්වීම නිසා. නමුත් මේ හදවත් රෝග දවසකින් දෙකකින් හැදෙන රෝගයක් නම් නෙවෙයි .බෝහෝ කාලයක් අපි ගන්නා ලද ආහාරවලින් අපේ ශරීරයට අහිතකර  කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීමෙන් ඒවා රුධිර වාහිනී තුළ තැන්පත්වීම නිසා රුධිර නාල පටුවීමෙන් සහ අවහිරවීමෙන් ඇතිවෙනවා. මේ හදවත් රෝග කිරීටක ධමනියේ ඇතිවන රෝග හා හෘද ස්පන්දනය සම්බන්ධ රෝග ප්‍රධාන ස්ථානයක් ගනු ලබනවා. 

ඉතින් කුඩා කාලයේ සිටම සංතෘප්ත මේදය සහිත ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම මේ සඳහා බලපාන ප්‍රධානම හේතුවක්. විශේෂයෙන්ම ක්ෂණික ආහාර, තෙලෙන් බැද සකස් කරන ලද ආහාර ගැනීම, ව්‍යායාම්වලින් තොරව ගත කරන අලස ජීවිතය, මත්ද්‍රව්‍ය භාවිතය,පෝෂ්‍යදායි ආහාරවේලක් නොගැනීම මේ හදවත් රෝග ඇතිවීමට මග සලසනවා. ඒ හැරුණාම අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ,දියවැඩියාව මානසික පීඩනය හා  ස්ථුලතාවය ආදී තත්ත්වයන් පවා මේ හදවත් රෝග සඳහා මග පාදනවා. හදවත් රෝගීන් වැඩිම රටවල් අතරින් ශ්‍රී ලංකාව 75 වැනි ස්ථානයේ පසු වෙන්නේ. ඒ නිසා හදවතේ නීරෝගි බව කෙරෙහි ටිකක් වැඩිපුර අවධානය යොමු කළ යුතු වෙනවා.මේ හදවත් රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වෙන්නේ අපේ වැරදි ආහාර පුරුදු. ඉතින් ක්ෂණික ආහාරවලින් වැළකී මේ ආහාර ගන්නට ඔබට හැකි නම් ඔබේ හදවත රෝගවලින් ආරක්ෂා කරගන්නට හැකි වෙනවා.

මාළු ඔමේගා ත්‍රී අඩංගු මාළු වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් හදවත නීරෝගීව තබා ගන්නට අපිට පුළුවන්. ඔමේගා ත්‍රී සහිත මාළු වර්ග ලෙස ටූනා, සැමන්, සහ කුම්බලාව යන මාළු වර්ග  හඳුන්වන්න පුළුවන්.මේ මාළු අපේ ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරලා LDL කියන අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා. සතියකට තුන් වතාවක් එක දිගට සති 8 ක් පමණ සැමන් මාළු ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය සැලකිය යුතු මට්ටමින් අඩුවී ඇති බව 324 දෙනෙක් යොදාගෙන සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි කර තියෙනවා. මේ මාළු වලින් එක් වර්ගයකින් හෝ ග්‍රෑම් සියයක් සතියකට ආහාරයට නොගන්නා අයගේ හදවත් රෝග ඇතිවීමේ අවදානම ඉහළ බව අනාවරණය වී තියෙනවා.මේ මාළු ලබාගත නොහැකි නම් ඔමේගා ත්‍රී මේද අම්ල අඩංගු මෝර ගුලි වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ලබාගත යුතු වෙනවා.

කළු බෝංචි කිඩ්නි බීංච් යන නමින් හඳුන්වන කළු බෝංචි විටමින් B, තන්තු සහ ඛනිජ ලවණවලින් පොහොසත්.

ඕඩ්ස් කැඳ ඕට්ස්වල අඩංගු ඔමේගා ත්‍රී සහ තන්තු හදවතේ ක්‍රියාකාරිත්වයට ඉතාම වැදගත්. ඕට්ස් ඇට අඹරා සකස් කරගත හැකි ඕට්ස් කැඳ හදවතට වගේම ශරීරයට ශක්තිජනකම ආහාරයක්. 

පලතුරු පලතුරු අතුරිනුත් කහ සහ තැඹිලි පැහැයකින් සමන්විත පලතුරු හදවතට ඉතාම ගුණදායක පලතුරු විදියට සලකනු ලබනවා. අඹ, දෙළුම්, ගස්ලබු, දොඩම් ආදි කහ පැහැ තැඹිලි පැහැ පලතුරු බීටා කැරොටීන්, පොටෑසියම්, මැග්නීසීයම් හා තන්තු යන පෝෂ්‍ය පදාර්ථත් අඩංගු වෙනවා. එමගින් අපේ හදවත රෝගවලින් ආරක්ෂා කරගන්නට පුළුවන්.

කොට්ටන් හෙවත් කොට්ටම්බා කොට්ටම්බාවලට හදවත රෝගවලින් වළක්වා ගැනීමේ විශේෂ හැකියාවක් පවතිනවා. කොට්ටන් සතු තන්තුමය ගුණය හදවත් රෝගවලින් වැළකෙන්නට බෙහෙවින් උපකාරී වෙනවා. ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් කොට්ටම්බා සතුව අපූරු හැකියාවක් පවතිනවා.

එළවලු කහ සහ තැඹිලි පැහැ එළවලු ගැනීම අපේ හදවත නීරෝගී කරන්නට හේතු වෙනවා.  කැරට්, බතල, වට්ටක්කා යන එළවලුවල ඇති කැරොටීන් හා තන්තු අපේ හදවත ආරක්ෂා කරගන්නට හේතු වෙනවා. ඒ හැරුණාම නිවිති පතෝල, වැටකොළු ආදී කොළ පැහැ එළවලු වර්ගවල අඩංගු විටමින්, ඛනිජ ලවණ, ආදී ප්‍රති ඔක්සිකාරක මගින් හෘද රෝග ඇතිවීම පාලනය කරනු ලබනවා.

ධාන්‍ය වර්ග හදවත් රෝගවලින් ආරක්ෂා කරන ධාන්‍ය වර්ග ලෙස ඕට්ස්, තිරිගු, රතු සහල්, රයි  සහ බාර්ලි විශේෂ ස්ථානයක් ගනු ලබනවා. ඒවායේ අඩංගු තන්තු සහ පෝෂක මගින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනු ලබනවා.

හණ ඇට හදවත් සෞඛ්‍යයට ඉතාම ගුණදායක දෙයක් තමයි හණ ඇට කියන්නේ.මෙහි අංඩංගු ඔමේගා ත්‍රී සහ  තන්තු සහිත බව හදවත නීරෝගීව තබා ගන්නට හේතුවෙනවා. ඒ වගේම හෘද රෝග වැළදීමේ අවදානම් සාධක විදියට සැලකෙන අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ තත්ත්වයන්  මගහරවා  පාලනය කර ගන්නටත් හණ ඇට බෙහෙවින් උපකාරී වෙනවා.

අලිගැට පේර ඒක අසංතෘප්ත මේදවලින් සමන්විත අලි ගැට පේර හෘදයේ ක්‍රියාකාරිත්වය ඉතා හොඳින්ම  පවත්වාගෙන යන්නට  සහ රුධිරගත කොලෙස්ටරෝල්  මට්ටම අඩු  ගන්නට උපකාරී වන පෝෂ්‍යදායි ආහාරයක්. එක් අලි ගැට පේර ගෙඩියක පොටෑසියම් ලවණ මිලිග්‍රෑම් 975 ක් අන්තර්ගත වෙනවා.මේ පොටෑසියම් බහුල අලි ගැටපේර ආහාරයට ගැනීම හදවත් රෝගවලින් හදවත ආරක්ෂා කරන්නට එහි ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන්නට විශාල දායකත්වයක් සපයනු ලබනවා.

කළු චොක්ලට් මෙය ෆ්ලෙවනොයිඩ්වලින් බහුල ආහාරයක් නිසා මේ ප්‍රති ඔක්සිකාරක හදවතේ ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වා ගන්නවා. අඩුම සතියකට දෙවතාවක්වත් කළු චොක්ලට් ආහාරයට ගැනීම හදවත රැක ගන්නට උපකාරී වෙනවා. එමගින් ධමනිවල කැල්සියම් තැන්පත්වීම අවම වන බව පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා. 

තක්කාලි මෙහි ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයක් වන ලයිසොෆීන් කියන ස්වාභාවික වර්ණකය තක්කාලිවල බහුල වශයෙන් අඩංගු වෙලා තියෙනවා.රුධිරයේ ලයිසොෆීන් මට්ටම අඩුවීම හෘදයාබාධ අංශභාග තත්ත්වයන් වැඩි කරන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා.

සුදු ළූණු සුදු ලූණුවල අඩංගු ඇලිසීන් කියන සංයෝග මගින් හෘදයේ ක්‍රියාකාරිත්වය ඉතා හොඳ මට්ටමක පවත්වා ගන්නට උපකාරී වෙනවා. අහිතකර කොලෙස්ටරෝල් ඇතිවීම පාලනය කරන්නට හැකියාව ඇති සුදුළූණු රුධිර කැටි ඇතිවීම වළක්වනවා. සුදු ළූණු අමුවෙන් හෝ මද රස්නයෙන් තම්බා ආහාරයට ගැනීමෙන් ඇලිසීන් වැඩි ප්‍රමාණයක් සිරුරට ලබා ගන්නට හැකියාව පවතිනවා.  

  • කහ 
  • තේ පානය 
  • කුරුඳු 

හදවත් රෝග ඇතිවීම වළකා ගන්නට මේ ආහාර ගැනීම පමණක්ම නොවෙයි අලස ජීවන රටාවෙන් මිදී ශාරීරික ව්‍යායාම්වල යෙදීම, කෘතීම ආහාරපානවලින් වැළකීම, සමබල ආහාරවේලක් ගැනීම ආදිය මගින් හදවත් රෝග ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්.