හෘද රෝග අවදානම පෙන්නුම් කරන පූර්ව සංඥා12 ක්

health tips

හෘද රෝග යනු ලෝකයේ සිදුවන මරණ වලට බහුලව හේතුවන සෞඛ්‍ය ගැටලු අතරින් එකකි.හෘද රෝග දවසකින් දෙකකින් වර්ධනය වන්නේ නැහැ. දිගු කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් උඩු දුවමින් බරපතල අවධියකට පත්වන තුරුම ඇතැම් හෘද රෝග හඳුනාගැනීමට නොහැකිවෙයි.මීට බොහෝ විට පුද්ගලයාගේ නොසැළකිලිමත් බව ද හේතුවිය හැකියි. බොහෝ රෝග වලදී මෙන්ම හෘද ගැටලු වලදී ද නොයෙකුත් පූර්ව සංඥා හා රෝග ලක්ෂණ සිරුරේ මතුකරයි. ඒවා පිළිබඳ අවධානයක් නොමැතිකම හා ගණන් නොගෙන සිටීම නිසා එම ලක්ෂණ උත්සන්න වී හෘද රෝගය තවත් දරුණු අතට පත්වෙන්නට පුළුවන්.

ඔබේ හෘදය පෙර මෙන් ක්‍රමවත්ව ක්‍රියානොකරන බව ඔබේ සිරුර ඇතැම් ආකාරවලින් සංඥා පෙන්නුම් කළ හැකියි.පහත දැක්වෙන්නේ එවැනි පූර්ව සංඥා කිහිපයකි. ඔබත් කලක පටන් මෙවැනි තත්වයන් අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැළකිලිමත්වන්න. හෘද රෝග අවදානම් කල් තියා හඳුනාගැනීමෙන් ඒවාට හොඳින් ප්‍රතිකාර කිරීමේ හැකියාව වැඩි බව වෛද්‍යවරු පෙන්වාදෙති.

උදරයේ අපහසුතා හෘද ගැටලු අවදානමකදී උදරයේ ගැටලු  මතුවිය හැකිද කියා ඔබට සිතේවි. නමුත් මෙය සත්‍යයක්. බොහෝ විට උදරයේ කැක්කුම,වමනය හෝ ආම්ලිකතාව වැනි ස්වරූපයකින් එය මතුකළ හැකියි.යම් ආහාර විෂවීමක් ,උණ නිසා හෝ ආසාදනයක් යැයි සැක කළ නොහැකි තත්වයකදී මෙවැනි රෝග ලක්ෂණ අත්දකින්නේ නම්, වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න.කාන්තාවන් හට හෘද රෝග හේතුවෙන් උදරයේ අපහසුතා මතුවීමේ ඉඩකඩ වැඩි බව පෙන්වාදෙයි.

නොනවතින කැස්ස කැස්ස තත්වය සැම විටම හෘද ගැටලු වලට සම්බන්ධ නැහැ. ඇතැම් විට එක දිගට කැස්ස තත්වය පැවතීමට උණ සෙම්ප්‍රතිශ්‍යාව,බ්‍රොන්කයිටිස්,සෙම අපහසුතා වැනි ගැටලු ද හේතුවෙයි.නොනවතින කැස්සට හේතුව පෙනහළු වල  තරල පිරීම නිසා විය හැකියි.මෙය congestive heart failure නම් හෘද අකරණිය (අක්‍රීයවීමේ) තත්වයේ සංඥාවක් විය හැකියි.හෘදයට පෙර මෙන් කාර්යක්ෂමව රුධිරය පොම්ප කිරීමට නොහැකි වීම නිසා,පෙනහළු හරහා රුධිරය ගෙන යන නහර තුළ රුධිරය එකතුවීමට පටන්ගනියි.මෙහිදී නහර වල පීඩනය ඉහළ යාමෙන් පෙනහළු තුළට තරල තෙරපී යයි.තරල පිරීම නිසා ඇතිවන අපහසුතාවෙන් (irritation) කැස්ස මතුකරයි. කැස්ස ඇතිවන්නේ හුස්ම හිරවීමකට සමාන අපහසුවක් දැනෙන නිසයි.

හදිසියේම සීතල දහඩිය පිටවීම (cold sweats) සිරුරට දහඩිය දමන්නේ හෘදයාබාධයක් ඇතිවීමට යන නිසාම නොවෙයි.සිරුර සිසිල් කිරීම සඳහා සිරුරේම ඇතිවන ස්වභාවික ක්‍රියාවලියක් තමයි දහඩිය දැමීම කියන්නේ.දහඩිය පිටවීම,විශේෂයෙන්ම කිසිඳු ක්‍රියාකාරකමක නොයෙදුණත් පපුවේ වේදනාව සමඟම සීතල දහඩිය පිටවීම බොහෝ විට ඔබේ හෘදය ආශ්‍රිත ගැටලුවක් පෙන්නුම් කරන සංඥාවක් විය හැකියි.හෘදය අවට ප්‍රදාහය තත්වය සිසිල් කරවීමට සිරුර උත්සහ කිරීම නිසා මේ ආකාරයෙන් දහඩිය පිටවිය හැකියි.

කාංසාව (anxiety) කාංසාව යනු අහේතුවක ඇතිවන බිය හා මනසේ නොසන්සුන්තාවයි.හෘද රෝග වලින් පෙළෙන පුද්ගලයෝ බොහෝ අවස්ථා වල මෙම තත්වය අත්දකිති.කාංසාව සමඟ හෘද ස්පන්දනය අඩු වැඩි වීම ද අත්දකිති.තදබල කාංසා තත්වයකින් පෙළෙන පුද්ගලයින් අඩු වයසින්ම හෘද රෝග වලට ගොදුරුවීමේ ඉහළ අවදානමක් ඇතිබව අධ්‍යයන මඟින් පවා පෙන්වාදෙයි. අසාමාන්‍ය ලෙස හෘද ස්පන්දන වේගය වැඩිවීම (හෘද අභිස්පන්දනය හෙවත් heart palpitations තත්වය) කාංසා ලක්ෂණ මතුකිරීමට හේතුවිය හැකියි.

කකුල් වේදනාව කකුල් වල මාංශ පේශී පෙරළීම හෝ කැක්කුම් තත්වයන් නිතර අත්දැකීම පර්යන්ත ධමනි රෝගය හෙවත් Peripheral artery disease හි සංඥාවක් විය හැකියි.අත් හා කකුල් වැනි හෘදයෙන් ඈත පිහිටන අවයව වෙත ඇති රුධිර ප්‍රවාහය සීමාවීම/හැකිළීම මඟින් සංලක්ෂිත රෝගයකි.බොහෝ විට ශරීරය වෙහෙසන විට වේදනාව මතුවී විවේක ගැනීමත් සමඟ ඉබේ පහව යන ස්වභාවයක් අත්දැකිය හැකියි.මෙම රෝගය දුම්පානය කරන්නන් හා දියවැඩියා රෝගීන් අතර බහුලව හඳුනාගත හැකියි.

වළලුකර ඉදිමීම ගැබිණි කාලයේදී කකුල් වල ඉදිමීම සාමාන්‍යයෙන් ඇතිවෙයි.කෙසේවෙතත් දිගින් දිගටම ඔබේ වළලුකර ප්‍රදේශ හා යටිපතුල් ඉදිමීම හෘද අකරණිය (heart failure) තත්වයේ රෝග ලක්ෂණ විය හැකියි.

පැහැදිලි හේතුවක් නොමැතිව දැනෙන අධික තෙහෙට්‍ටුව කාර්යබහුල දවස අවසානයේ මහන්සියක් දැනීම සාමාන්‍යයයි.කෙසේවෙතත් ඇඳුම් ඇදීම, පියවර කිහිපයක් ඇවිදීම වැනි සරල ක්‍රියාකාරකමක යෙදුණු අවසානයේ සෑම විටම අධික මහන්සියක් දැනීම නම් සාමාන්‍ය තත්වයක් නොවෙයි. පටක වෙත ප්‍රමාණවත් ලෙස රුධිර සැපයුමක් නොලැබීම තෙහෙට්‍ටුවට හේතුසාධක වෙයි. ක්‍රියාශීලීබව පවත්වාගැනීමට සිරුරට ප්‍රමාණවත් ලෙස ඔක්සිජන් නොලැබීම මීට ප්‍රධාන වශයෙන් හේතුවෙයි.මෙය කන්තුකවාහිනි රෝගයේ (cardiovascular disease) සංඥාවක් ද විය හැකියි.හෘදයාබාධයකට පෙර හ අතරතුරදී බොහෝ කාන්තාවන් තෙහෙට්‍ටුව වැනි ලක්ෂණ අත්දකියි.පැහැදිලි හේතුවක් නොමැතිව සිරුරට තෙහෙට්‍ටුව දැනෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැළකිලිමත්වන්න.

ඉස කරකැවිල්ල හා ක්ලාන්ත ගතිය විජලනය,ආහාර පාන නොගැනීම ,එකවරක නැගිටීම වැනි හේතු නිසා ද මෙවැනි තත්වයන් සිරුරට දැනිය හැකියි.මේ තත්වය නිතිපතාම වගේ ඇතිවේ නම් බොහෝ විට ඊට හේතුව ඇතැම් ඖෂධ වල අතුරුබලපෑමක් ,කන අභ්‍යන්තරයේ ගැටලුවක්,නිරක්තිය හෝ හෘද ගැටලු තත්වයක් විය හැකියි.ධමනියක රුධිරය ගමනාගමනය අවහිර වීම හෝ කපාට වල දෝෂ නිසා රුධිර පීඩනය නිසි ලෙස නියාමනය කිරීමට නොහැකිවීම ඉස කරකැවිල්ල ඇතිවීමට හේතුවිය හැකියි.

මානසික අවපීඩනය විශාදයීය ලක්ෂණ අත්දකින පුද්ගලයින් තුළ හෘද ගැටලු වර්ධනය වීමේ ඉහළ අවදානමක් පැවතිය හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.හෘද රෝගයකින් පෙළෙන හෝ හෘද ගැටලුවකට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ඇති පුද්ගලයින් තුළ මානසික අවපීඩනය මතුවීමේ අවදානම වැඩිය.

පපුවේ පීඩාකාරීබව පපුවේ තදබල වේදනාව ඇන්ජයිනා (angina) තත්වයයි.හෘදය නීරෝගී නොමැතිබව පෙන්නුම් කරන ප්‍රධාන ලක්ෂණයක් ලෙසත් මෙය හඳුන්වන්නට හැකියි.ඔබේ පපුව ප්‍රදේශයේ වේදනාවක්,පීඩනයක්,අනින සුලු බවක් හෝ දැවිල්ලක් දැනෙයි නම් ඔබේ හෘදය යම් අවදානමක පවතිනවා විය හැකියි.තදබල වේදනාවක් නොවුණත් කලක පටන් ඔබ එවැනි තත්වයකින් පෙළෙනවා නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැළකිලිමත්වන්න.ඇතැම් විට මෙය හෘදයාබාධයක පූර්ව සංඥාවක් වීමට ද ඉඩ තිබෙයි.

  1. කොලෙස්ටරෝල් වැඩිවීම

කොලෙස්ටරෝල් යනු ආහාර පාන වල අඩංගු වන, ඒවගේම අක්මාව මඟින් නිපදවනු ලබන මේදමය ද්‍රව්‍යකි.කොලෙස්ටරෝල් මට්ටම් අධික වීම රුධිරය ගෙන යන ධමනි වල මේදමය ද්‍රව්‍ය බැඳී රුධිරය ගමන් කිරීමේ මාර්ග අවහිර වීමට හේතුවිය හැකියි.නීරෝගි සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන පරිභෝජනය කිරීම කොලෙස්ටරෝල් මට්ටම් අඩුකරගැනීමට තිබෙන හොඳම ක්‍රමයකි.මේද බහුල ආහාර පාන වලින් වළකින්න.අධි කොලෙස්ටරෝල් තත්වයට ලබාදෙන ඖෂධ එම මාත්‍රා වලින්ම ලබාගන්න.එමඟින් හෘදයාබාධ අවදානම් හොඳින් පාලනය කරගත හැකියි.

  1. හුස්ම හිරවීම

බරපතල හෘද ගැටලු වලදී මෙම ලක්ෂණය පොදුවේ දක්නට ලැබෙයි.මෙය ක්‍රම ක්‍රමයෙන් වැඩි විය හැකි තත්වයකි. මෙම ලක්ෂණය මහාධමනි රෝගය (aortic disease), ආතරයිමියා ( arrhythmia හෙවත් හෘද ස්පන්දන වේගයේ හෝ රිද්මය ආශ්‍රිත ගැටලු තත්වයකි ),හෘද අකරණිය තත්වයේ සංඥාවක් විය හැකියි. හුස්ම හිරවෙන බවක් දැනීම නොසළකා හැර සිටීමට සුදුසු තත්වයක් නම් නොවෙයි.

  1. වම් උරහිසේ වේදනාව

හෘදයේ ගැටලු තත්වයකදී වම් බාහුවේ හා හෘදයේ පිහිටි ස්නායු මොළයේ වේදනා ග්‍රාහක කේන්ද්‍ර වෙතම සංඥා නිකුත් කරවයි.මෙහිදි මොළය හෘදයේ ගැටලුව වම් බාහුවේ හෝ උරහිසේ වේදනා තත්වයක් ලෙස මොළය වටහාගනියි.ඒ අනුව ක්‍රියාකරයි.මෙය විතැන් වූ වේදනාව හෙවත් reffered pain ලෙස හඳුන්වයි. එනම් සැබෑවටම වේදනාව ඇති තැනින් බාහිර තැනක වේදනාව දැනෙන්නට පටන්ගැනීමයි.පපුව ආශ්‍රිතව ඇතිවන වේදනා තත්වයක් නොවන නිසා උරහිස වේදනාව හෘදයට සම්බන්ධ සංඥා පෙන්නුම් කිරීමක් ලෙස බොහෝ අය තේරුම් නොගනිවී.බොහෝ විට මෙය උරහිසේ යම් ගැටලුවක් නිසා යැයි කෙනෙකුට සිතිය හැකියි.වම් උරහිසේ අත්දකින  වේදනාව හෝ පීඩනය ඔබේ හෘදය නීරෝගිව ක්‍රියා නොකරන බව පෙන්නුම් කරන පැහැදිලි සංඥාවක් බව අමතක නොකළ යුතුයි.හෘදය ආශ්‍රිත පීඩාකාරි බව,හුස්ම හිරවීම,අප්‍රාණිකබව වැනි ලක්ෂණ ද සමඟ මේ තත්වය දිගින් දිගටම පවතියි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.