හදවත් රෝග පාලනය කරන ඇඹරැල්ලා සතු රෝග සුව කිරීමේ ගුණ 22 ක්

health tips

රසවත් එළවළුවක් විදියට පලතුරක් විදියට අපි නිතර ආහාරයට ගන්නා ඇඹරැල්ලා අපිට නුහුරු නුපුරුදු ශාකයක් නෙවෙයි. ඉතා ඉක්මනින් වර්ධනය වන ආර්ථිකමය වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ලබා ගන්නට හැකි ඇඹරැල්ලා ගසේ ගෙඩිය පමණක් නොවෙයි කොළ පවා ආහාරයට ගන්නට හැකි නමුත් අද බොහෝදෙනා ඇඹරැල්ලා ගෙඩිය පමණයි ආහාරයට ගනු ලබන්නේ.ව්‍යංජන ලෙසට විතරක් නෙවෙයි විවිධ රෝග සඳහා පිළියෙළ කරගත හැකි අත් බෙහෙත් සඳහා ද මේ ඇඹරැල්ලා ශාකය ඉතා වැදගත් වෙනවා. නිතර ආහාරයට ගත්තත් ඇඹරැල්ලා සතු අපූරු ගුණයන් පිළිබඳව නම් බොහෝ අය දන්නේ නැතුව ඇති. ඒ නිසාම හැමෝම දන්නා ඇඹරැල්ලා සතු නොදන්නා ගුණ ගැනයි අද මේ කියන්නට යන්නේ.

Spondias dulcis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ඇඹරැල්ලා ශාකය අද බොහෝ නිවෙස්වල දකින්නට තියෙනවා. ගෙවතු වගා බෝගයක් වන ඇඹරැල්ලා කිසිම සාත්තුවක් නොමැතිව ඉතා සරුවට වැඩෙන ශාකයක්. රසායන පොහොර කිසිවක් නොයොදා සාදා ගන්නට හැකි ඇඹරැල්ලා වස විසෙන් තොර ගුණයෙන් ඉහළ ආහාරයක් ලෙසට තහවුරු කරන්නට පුළුවන්.

මේ ඇඹරැල්ලා විටමින් C හා තන්තු බහුල ආහාරයක්. ඒ හැරුණාම කැල්සියම්, යකඩ, ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, පොස්පරස් වගේම විටමින් A  ,කැරොටීන් , විටමින් B සංකීර්ණයන් වන තයමින් සහ රයිබොෆ්ලේවින් ද අන්තර්ගත වෙනවා. රෝග බොහොමයට ගුණ දෙන ඇඹුල් රසයෙන් යුක්ත ඇඹරැල්ලා අමුවෙන් වගේම ඉදුණු පසුවත් ආහාරයට ගන්නට පුළුවන්. ඇඹරැල්ලා ගෙඩි අච්චාරු සහ චට්නි සාදා ආහාරයට ගන්නා අතර ඇඹරැල්ලා ජෑම් නිෂ්පාදනය සඳහාත් යොදාගනු ලබනවා. ඇඹරැල්ලා ගසේ ගෙඩි පමණක් නොවෙයි ඇඹරැල්ලා දළු සම්බෝල සාදා ආහාරයට ගන්නටත් පුළුවන්. තරමක් පැසුණු ඇඹරැල්ලා කොළ මැල්ලුමක් ලෙසටත් පිළියෙල කර ආහාරයට ගන්නට හැකියි. ඒ හැරුණාම ඇඹරැල්ලා ගසේ පොතු විවිධ අත් බෙහෙත් සකස් කිරීමටත් කෂාය සඳහාත් භාවිතා කරනු ලබනවා. උෂ්ණ ගුණයෙන් යුක්ත අමු ඇඹරැල්ලා වාත සමනය කර පිත් දෝෂ වර්ධනය කරනු ලබනවා. සීත ගුණයෙක් යුක්ත ඉදුණු ඇඹරැල්ලා වාතය සහ පිත්ත දෝෂ සමනය කරනු ලබනවා. ඒ නිසා කුෂ්ඨ ආදී සමේ රෝග වළදුණු විට අමු ඇඹරැල්ලා ගැනීම සුදුසු නැහැ.ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ ඉදුණු ඇඹරැල්ලා.

ඇඹරැල්ලා සතු ගුණ 

  • විෂබීජ නාශක ගුණයෙන් සමන්විතයි.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි.
  • සෙම්ප්‍රතිශ්‍යාව සමඟ ඇතිවන උණ සමඟ ප්‍රතික්‍රියා කරයි.
  • දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. 
  • මේ රෝගීන් උදෑසනම ඉදුණු ඇඹරැල්ලා ගෙඩියක් ආහාරයට ගැනීම, සතියකට දෙවරක්වත් ඇඹරැල්ලා ව්‍යංජනය හෝ දළු සම්බෝලය ආහාරයට එකතු කර ගන්නට මතක තබා ගන්න.
  • දත් හා අස්ථි නීරෝගීව පවත්වා ගන්නට උපකාරී වෙයි.
  • සන්ධි අමාරු, ඉදිමීම් සහ තැලීම් ආදී වේදනා සමනය කරයි.
  • රුධිර වහනය නතර කිරීමේ හැකියාවෙන් යුක්තයි.
  • ඉදුණු ඇඹරැල්ලා දුර්වල ශරීර ශක්තියක් ඇති අයට ඉතාම ගුණදායකයි.
  • විටමින් ඌණතාවය හේතුවෙන් ඇතිවන ඇතැම් රෝග සඳහා ඉතා පෝෂ්‍යදායි ආහාරයක්.
  • ආහාර රුචිය වර්ධනය කරයි.
  • ඉදුණු ඇඹරැල්ලා  කාම ශක්තිය වර්ධනය කරයි.
  • අධි රුධිර පීඩනය අඩු කරයි.
  • කොලෙස්ටරෝල් පාලනය කරයි.
  • හදවත් රෝග ඇතිවීමේ අවදානම දුරු කරයි.හදවතේ ක්‍රියාකාරිත්වයට ඉතා හිතකරයි.
  • ගර්භාෂයේ ශ්ලේෂ්මල ප්‍රදාහය දුරලයි.
  • ශරීරයේ ස්නායු ශක්තිමත් කරයි.
  • ගර්භනී කාන්තාවකට සුදුසු ආහාරයක්.
  • ශරීර ශක්තිය වර්ධනය කරයි.
  • උගුරේ සහ ස්වසන මාර්ගයේ ආසාදන සුව කරයි.
  • මුත්‍රා  මාර්ගයේ පවතින ඉදිමුම් ආදී ආසාදන දුරු කරයි.
  • අජීර්ණය සුව කරයි.
  • අර්ශස් රෝගීන්ට ඉතා ගුණදායකයි. 
  • ආහාර ජීර්ණය පහසු කර මල බද්ධය ඇතිවීම වළක්වයි.
  • ඇඹරැල්ලා වල අඩංගු යකඩ සහ විටමින් B සංකීර්ණය සිරුරේ රතු රුධිර නිෂ්පාදනයට දායක වෙයි.එමගින් ශරීරයේ ඔක්සිජන් සංසරණය වේගවත් කරයි.
  • ඇඹරැල්ලාවල අඩංගු ප්‍රතිඔක්සිකාරක නිසා රුධිර වාහිනීවල සිදුවන ලේ කැටි ගැසීම අඩුකරයි.
  • රුධිර සංසරණ ක්‍රියාවලිය හොඳින් සිදු කිරීමට උපකාරී වෙයි.
  • අමු ඇඹරැල්ලාවල සීනී සංයුතිය ඉතා අවම නිසා ස්ථුලතාවයෙන් පෙලෙන අයට ඉතා ගුණදායකයි.
  • පටක අලුත්වැඩියා කරයි.
  • සම පෝෂණය කරයි.සමේ කොලැජන් තන්තු නිෂ්පාදනය වැඩිකර සම පැහැපත් කරයි. 

අත් බෙහෙත් දියවැඩියා රෝගය සඳහා ඇඹරැල්ලා ගසේ මැලියම්වලින් දුම් ඇල්ලීම සුදුසුයි. 

සෙම්ගෙඩි  සඳහා ඇඹරැල්ලා ගස්සේ පොතු කොටා දෙහි ඇඹුලෙන් අඹරා කකාරා බෙල්ලේ ආලේප කිරීමෙන් ඉදිමුම අඩු වී සෙම් ගෙඩි සුවපත් වෙනවා.

තැලුම් සඳහා ඇඹරැල්ලා ගසේ පොතු අමු ඉඟුරු සහ අරළු සමඟ සමව ගෙන දෙහි ඇඹුලෙන් කකාරා ගෙන තැලුම් ඇති ස්ථානයේ ආලේප කළ යුතුයි.

අතීසාර රෝගය සඳහා ඇඹරැල්ලා පොතු කෂාය වශයෙන් සකස් කර භාවිතා කිරීමෙන් සුවයක් ලබාගන්නට පුළුවන්.

සන්ධි අමාරු හා තැලීම් ඉදිමුම් සඳහා  ඇඹරැල්ලා ගසේ පොතු ස්වල්පයක් ලුණු දියෙන් සියුම්ව අඹරා ඒ හන්දිපත් වේදනා ඇති ස්ථානවල ආලේප කිරීමෙන් ඒ වේදනාවන් සමනය වෙයි.

අමිල පිත්ත රෝගය සඳහා ඇඹරැල්ලා පොතු යොදා සකස් කරගත් කෂාය සුදුසුයි.

කක්කල් කැස්ස හා දිගුකාලීන කුෂ්ඨ රෝග සඳහා පැසුනු ඇඹරැල්ලා ගෙඩියක පොතු ඉවත් කර ගෑරුප්පුවකින් සිදුරු කර මී පැණිවල බහා දවසකට එක බැගින් අනුභව කරන්නට හැකියි.

කන් කැක්කුම ඇඹරැල්ලා කොළ යුෂ ගෙන කනේ බාහිරින් ආලේප කිරීම සුදුසුයි.

ඇඹරැල්ලා ව්‍යංජනයක් මැල්ලුමක් වශයෙන් ආහාරයට ගැනීම රෝග බොහොමයකින් අපව ආරක්ෂා කරන අතර එහි පොතු මැලියම් ආදියත් විවිධ ප්‍රතිකාර සඳහා භාවිතා කළ හැකියි. සෞඛ්‍ය සම්පන්න නීරෝගී දිවියකට එකතු කරගත යුතුම වස විසෙන් තොර ආහාරයක් තමයි ඇඹරැල්ලා.