අපේ ශරීරයේ තියෙන ඉතා වැදගත් තවත් අවයවයක් තමයි හදවත කියන්නේ. හදවත ආශ්‍රිත රෝග උපතේ සිටම මිනිසාට ඇති වෙන්නට පුළුවන්. අද වෙද්දි උපතින්ම ඇතිවන (සංජානීය) හෘදයාබාධ තත්ත්වයන්ගෙන් යුක්ත දරුවන් ඉපදීමේ ප්‍රවණතාවය වැඩි වී තියෙනවා. මරණය පවා ළඟා කරවන ආකාරයේ ඉතාම දරුණු ගණයේ හදවත් රෝගවලින් අපේ රටේ ලොකු කුඩා බොහෝ පිරිසක් පීඩා විදිනු ලබනවා. ඉතින් මේ හදවත ආශ්‍රිතව ඇතිවන රෝගයන් අතර හදවත් සිදුරු පිළිබඳවත් අපිට අසන්නට ලැබෙනවා. බොහෝ දෙමාපියන්ට තමන්ගේ දරුවාගේ හදවතේ සිදුරක් හෝ වෙනත් හදවත් රෝගයක් රෝගයක් තිබේද යන්න පිළිබඳව නිශ්චිත අවබෝධයක් නැති නිසා මරණයෙන් බේරා ගන්නට හැකි දරුවෙක් වුණත් මරණයට පත්වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා හදවතේ සිදුරු ඇතිවීම ගැනයි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ.
හදවතේ සිදුරු යනු

අපේ ශරීරයේ රුධිරය පොම්ප කරන හදවත කුටීර 4 කින් සමන්විතයි.ඉහළින් තිබෙන කුටීර කර්ණිකා ලෙසත්,පහළින් තිබෙන කුටීර කෝෂිකා ලෙසත් හඳුන්වනවා. ශරීරයෙන් එන අපිරිසිදු රුධිරය උත්තර මහා ශිරාව සහ අපර මහා ශිරාව හරහා දකුණු කර්ණිකාවට එකතු වෙනවා.මේ රුධිරය ඉන් පසු දකුණු කෝෂිකාවට ගලාවිත් එයින් පුප්පුශීය මහා ධමනියට පොම්ප කරනවා.ඉන්පසු පෙනහළුවලින් පිරිසිදුවෙලා පුප්පුශීය ශිරා හරහා වම් කර්ණිකාවට ගලා එනවා.මේ පිරිසිදු රුධිරය ඉන්පසුව වම් කෝෂිකාවට ගලාවිත් එයින් සංස්ථානික මහා ධමනියට පොම්ප කරනු ලබනවා.මේ පිරිසිදු රුධිරය ශරීරය පුරා ගමන් කර අපර මහා ශිරාව හරහා හෘදය වෙත ගලා එනවා.
හෘදය වස්තුවේ පිරිසිදු රුධිරය සහ අපිරිසිදු රුධිරය මිශ්‍රවීම වළක්වන්නට කර්ණිකා දෙක අතර සහ කෝෂිකා දෙක අතරත් බිත්තියක් පවතිනවා.මේ බිත්තිවල ඇතිවන සිදුරු හදවතේ සිදුරු විදියට හඳුනා ගනු ලබනවා.ඊට අමතරව හෘද වස්තුවේ සිට පිටතට රුධිරය ගෙන යන සංස්ථානික මහා ධමනි සහ පුප්පුශීය මහ ධමනි දෙක අතරත් සිදුරක් ඇති වෙන්නට පුළුවන්.හදවතේ සිදුරු ලෙස මේ තුන ප්‍රධාන වශයෙන් ඇතිවෙනවා. මේ අවස්ථා හැරුණාම කපාට දෙක වෙනුවට එක් කපාටයක් පිහිටා තිබීම ,කපාට ඉහළින් සහ පහළින් සිදුරු තිබීම ආදී තත්ත්වයන් වුණත් ඇති වෙන්නට පුලුවන්.
මේ ඉහළ කුටීර දෙකේ සිදුරු ඇතිවීමෙන් වම් පස කුටීරයේ සිට දකුණු පස කුටීරයට රුධිරය ගමන් කරනවා. මේ සිදුර කුඩා එකක් නම් එයින් ගැටළු ඇති වෙන්නේ නැහැ.මුල් අවධිවලදී දකුණු පැත්තේ ඇති ඔක්සිජන් අඩු අපිරිසිදු රුධිරය වම් පැත්තට ගලන්නේ නැහැ.මොකද වම් පැත්තේ රුධිර පීඩනය වැඩි නිසා. ඒ නිසා රෝගියාගේ ඇඟේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වයස මාස 6 අවුරුද්ද කාලයේදී පවතින කුඩා සිදුර ස්වාභාවිකවම අවුරුදු 3 ,4 ක් යද්දි වැසී යනවා.
නමුත් සිදුර විශාල නම් පැමිණෙන රුධිරය වැඩි නිසා ක්‍රමයෙන් හෘදයේ දකුණු ප්‍රදේශය ඉදිමීමකට ලක්වෙනවා. පසුව කාලයක් සමඟ සාමාන්‍යයෙන් වයස අවුරුදු 20,30 , 40 වගේ වෙද්දී දකුණු ප්‍රදේශයේ පීඩනය වැඩි වෙන්නට පුළුවන්. වම් පසට වඩා දකුණු පස පීඩනය වැඩිවීමෙන් ඇතිවන මේ තත්ත්වය නැවත සකස් කරගන්නට බැහැ. ඒ නිසා මෙවැනි විශාල සිදුරු පවතින විට ඒවා වයස්ගත වන්නට පෙර වසා දමිය යුතු වෙනවා.
හදවතේ සිදුරු ඇති වෙන්නේ ඇයි

ගර්භණී සමයේදී මවට රුබෙල්ලා වැළදුණු විට හෝ පැපොල, සරම්ප ආදී රෝග ගර්භණී සමයේදී වැළදීම නිසා මෙවැනි හදවත් සිදුරු දරුවාට ඇති වෙන්නට පුළුවන්.
දරුවා මව් කුසයේ සිටිද්දිම දරුවාගේ නීරෝගී බව වර්ධනය දිය විනිශ්චය සඳහා ස්කෑන් පරීක්ෂණ සිදු කරනු ලබනවා. එවැනි අවස්ථාවක දරුවාට හෘදයාබාධයක් ඇති ද යන්න සැක සහිත නම් එවනි අවස්ථාවක feedle Echocardiography නම් පරීක්ෂණය සිදුකර ඒ බව සොයා බලනවා. නමුත් ඕනෑම දරුවෙකුගේ හදවතේ හෘදය වස්තුවේ සිදුරු පිහිටන අතර එවැනි සිදුරු දරුවා ඉපදී පැය 24 ක් හෝ පැය 48 ක් පමණ ගත වෙද්දී වැසී යනවා.නමුත් ඇතැම් දරුවන්ගේ හදවත් සිදුරු ඒ ආකාරයට වැසී යන්නේ නැහැ.
හදවතේ සිදුරක් ඇතිවිට දකින්නට ලැබෙන රෝග ලක්ෂණ
දරුවා නිල් පැහැ ගැන්වීම හදවතේ සිදුරු සම්බන්ධයෙන් වැදගත් රෝග ලක්ෂණය වන්නේ දරුවා නිල් පැහැයක් ගැනීම.අධික ශීතල පරිසරයකදී දරුවාගේ ශරීරය නිල් පැහැ වුණත් දිව තොල් ආදිය නිල් පැහැ වන විට වහාම ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.ශරීරය නිල් පැහැ වන්නේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමෙන්. එයට හේතුව හිමොග්ලොබින් සමඟ සම්බන්ධ වන ඔක්සිජන් ප්‍රමාණය පහත වැටීමයි.දරුවාගේ හෘදයට පැමිණෙන අපිරිසිදු රුධිරය පෙනහළුවලට ගමන් කිරීම අඩපණ වීම නිසා මෙසේ ශරීරය නිල් පැහැවීම සිදු වෙනවා.
- දරුවා අසාමාන්‍ය වේගයකින් හුස්ම ගැනීම
- හෘදය වස්තුව ගැහෙන වාර ගණන වැඩිවීම
- දරුවාගේ හිසට සහ උඩුකය ප්‍රදේශයට දහදිය දැමීම
- කිරි උරා බීමේ අපහසුතාවයක් පැවතීම
- කිරි උරාබොද්දී නිතර කිරි බීම නතර කිරීම
- නිතර නිව්මෝනියාව ආදී ස්වසන රෝග වැළදීම
- නිතර රෝගීවීම
- දරුවාගේ වර්ධනය බාල වීම
- හෘදය හා අක්මාව විශාල වීම
හදවතේ පවතින සිදුරු පිළිබඳව කල්තියා හඳුනා ගැනීමත් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත් තුළින් ළදරුවන්ගේ හා දරුවන්ගේ මරණ අනුපාතය කැපී පෙනෙන ලෙස පහත දමන්නට හැකියාව පවතිනවා.