රෝග දහයකට වඩා පාලනය කරන උලුහාල් තේ පානය සතු ගුණ 18 ක්

health tips

අපි මොන තරම් සැපයන් කෙරෙහි ඇලුණත් අපි හැමෝම කැමති පරම සුවය තමයි නිරෝගී බව කියන්නේ. ඉතින් නිරෝගීව ඉන්නට  නම් අපිට වැලඳෙන ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න ඕන. එදාට වඩා අපි හැමෝම වගේ නිරන්තරයෙන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඒ  සඳහා ප්‍රධාන වශයෙන්  අපේ අහිතකර ජීවන පුරුදු සහ ආහාර රටාවේ වැරදි පුරුදු හේතු වෙන බව අපි හැමෝම දන්න කාරණයක්.

 දේශීය ආහාර වෙනුවට  කෘතීම ආහාරවලට  දවසින් දවස යොමුවීමත් එක්ක අපිට අපේ නිරෝගි බව ගැන වෙනදාට වැඩිය සැලකිලිමත් වෙන්නට සිදුවෙලා තියෙනවා. ඒ සඳහා විවිධ වූ ඔසු වර්ග අපේ වටපිටාවේ තියෙනවා.  අද අපි ඔබට කියන්නේ මුළුතැන්ගෙයි අනිවාර්යෙන්ම තියෙන කුළුබඩුවක් භාවිතා කරලා ලෙඩ රෝග බොහොමයකින්ම ආරක්ෂා වෙලා ඉන්නට හැකි ක්‍රමයක් ගැන. 

අපි හැමෝම තේ පානය කරනවා. නමුත් මේ තේ එක ඔබ වෙනදාට බොන තේකට වඩා විශේෂ තේ පානයක්. මොකද එයින් ලබා ගන්නට හැකි  ප්‍රතිලාභ අතිවිශිෂ්ට නිසා. බලන්නකෝ ඔයාලත් මෙන්න පානයෙන් ලැබෙන ප්‍රතිලාභ කොතරම් ද කියලා.  අපි අද කතා කරන්නේ ගුණයෙන් ඉහළ උලුහාල් පානය පිළිබඳව.

අපේ මුළුතැන්ගෙට නැතුවම බැරි සුවඳ කාරකයක් රසකාරක විදිහට  අත්‍යවශ්‍යම දෙයක් තමයි උලුහාල්. ඒ නිසාම එදිනෙදා ආහාර වේලට අනිවාර්යෙන්ම එකතු කරගත යුතු කුළුබඩුවක් ලෙස තමයි උලුහාල් සැලකෙන්නේ. උලුහාල්වල ප්‍රෝටීන්, මේදය, කැල්සියම්,පොස්පරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, තයමීන් ,රයිබොප්ලෙවින්, නියැසීන්  සහ විටමින් සී ආදී පෝෂක බොහොමයක්ම අන්තර්ගත වෙනවා. ඒ නිසා මේ පානය ඔබේ නිරෝගී බවට ඉතාම වටිනා පානයක් වෙනවා නිසැකයෙන්ම.

 උලුහාල් තේ පානයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ

  • හදවත නිරෝගී කරනවා.
  • රුධිරයේ සීනි මට්ටම අඩු කරන නිසා දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
  • බර අඩු කරගැනීමට උදව් වෙනවා.
  • දැවිල්ලට එරෙහිව සටන් කරනවා.
  • මොලයේ  ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරනවා.
  • ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන සෙම් රෝග සුව කරනවා. 
  • බඩ පිපුම ඇතුළු උදරය ආශ්‍රිත අපහසුතා දුරු කරනවා.
  • කිරිදෙන මව්වරුන්ගේ කිරි උත්තේජනය කිරීමේ හැකියාවෙන් යුක්තයි.
  • අධි රුධිර පීඩනය අඩු කරනවා.
  • ආමාශයේ දැවිල්ල සමනය කරනවා. 
  • රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර රුධිර සංසරණය පහසු කරනවා.
  • ශරීරයේ ප්‍රදාහ තත්ත්වයන් සුවපත් කරනවා.
  • සුවදායි නින්දක් ලබා ගැනීම සඳහා උදව් කරනවා.
  • ආහාර ජීරණය පහසු කරනවා.
  • පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.
  • නිතර ඇතිවන හිසරදයට සහනයක් ලබා දෙනවා. 
  • පුරුෂයන්ගේ  ලිංගික සෞඛ්‍යය වැඩිදියුණු කරනවා.

 තේ පානය සකසා ගන්නා ආකාරය 

මේ සඳහා සෝදා පිරිසිදු කරගත් උලුහාල් ඇට මේස හැඳි 5ක් පමණ අවශ්‍ය වෙනවා. 

මුලින්ම මේ උලුහාල් ඉතාම අඩු ගින්දරේ බැදගන්න. 

නිවුණු පසු උළුහාල් ඇට බ්ලෙන්ඩර් කරගෙන කුඩු වශයෙන් සකසා ගන්න. මෙය  අවශ්‍ය වේලාවට ගැනීම සඳහා ගබඩා කර තබා ගන්නට පුළුවන්.

ඔබ තේ සකසා ගන්නා අවස්ථාවේදී උළුහාල් කුඩු තේ හැඳි එක හමාරක් පමණ  ගෙනඑයට නටන උණු වතුර එකතු කර මද වේලාවක් තබා පානයට ගන්න.

මේ පානය පෙරාගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මේ මේ පානය සකසා ගැනීමේදී තලාගත් ඉඟුරු කැබැල්ලක් එක්තු කරන්නටත් පුළුවන්. 

මේ උළුහාල් තේ පානය ඔබට සතියකට දින තුනක් පමණ පානයට ගන්නට පුළුවන්. ඕනෑම වෙලාවක මෙය ඔබට භාවිතා කරන්නත් පුළුවන්. නමුත් ඔබ ගර්භණී කාන්තාවක් හෝ කිරි දෙන මවක් නම් මේ පානය ගැනීමට පෙර  වෛද්‍ය උපදෙස් ලබාගන්න.

එදිනෙදා ආහාර වේලට නිතර භාවිතා වෙන උළුහාල්වලින් ඔබට විස්මිත ගුණ බොහොමයක් ලබා ගන්නට මේ පානයෙන් හැකියාව ලැබෙනවා.