කල්තියා හාට් ඇටැක් එකක් හැදීගෙන එන බව දැනගන්න ක්‍රම 10 ක්

health tips

හෘදය කියන්නේ අපේ ශරීරයේ සෑම කොටසකටම රුධිරය ඇතුළු පෝෂක සපයන ශරීරයේ පැවැත්මට ඍජු ලෙස බලපෑම් කළ හැකි වැදගත්ම ඉන්ද්‍රියක්. මිනිසාගේ ශරීරයේ උරස් කුහරයේ වම් පසට වන්නට පිහිටා තියෙන මේ හදවත ලෙඩවීම ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන් අකර්මණ්‍ය කිරීමට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි උපන්දා පටන් මියෙන තුරාම නොනවතින යන්ත්‍රයක් ලෙස ක්‍රියා කරන මේ හදවතේ ක්‍රියාකාරිත්වයට ගැටළු ඇතිවීම හෝ එහි ක්‍රියාකාරිත්වය නතර වීම මරණයට  අත වැනීමක්. 

ඉතින් අද වෙද්දි හෘදයාබාධ නිසාවෙන් මිය යන ප්‍රමාණය  ඉහළ ගොස් ඇති බව සෑම දෙනෙක්ම දන්නා කාරණයක්. හදවත ලෙඩ කරවන්නට බොහෝ හේතු බලපාන නමුත් නිසි සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කරන අයෙකුට බොහෝදුරට මේ හදවත් රෝගවලින් වැළකී සිටින්නට පුළුවන්. නමුත් අවාසනාවට එසේ නොවන නිසාම තරුණ ජීවිත වගේම වැඩිහිටියන්ගේ ජීවිත බොහොමයක් වසරකට අහිමි වෙන්නේ හෘදයාබාධ නිසාවෙන් සිදුවන මරණයන් නිසා.ඒ නිසා හෘදයාබාධයක් ඇතිවෙන්නට මසකට පෙර පෙන්නුම් කරන ලක්ෂණ පිළිබඳව සැලකිලිමත්වීම හෘදායාබාධවලින් ආරක්ෂා වීම සඳහා යම් ආකාරයකින් උපකාරී වෙන බව නිසැකයි. හෘදයාබාධ නිසා මිය යන 6 දෙනෙකුගෙන් එක් අයෙකුම මිය යන්නේ මේ හෘදයාබාධයක පූර්ව ලක්ෂණ නිසි ලෙස හඳුනා නොගැනීමෙන් බව බ්‍රිතාන්‍ය පර්යේෂණයකින් පවා හෙළි කරගෙන තියෙනවා. ඉතින් මේ ලිපියෙන් ඔබට කියන්නට යන්නේ හෘදයාබාධයක් ඇතිවීමට පෙරාතුව පහළ වන පූර්ව ලක්ෂණ පිළිබඳවයි.

පපුවේ අමාරුව පපුවේ අමාරුව හදවතේ ඇතිවන රෝග බොහොමයක් නිසා මුලින්ම ඇතිවන රෝග ලක්ෂණයක්. හෘදයාබාධයකදී පපුවේ මැද තෙරපීමක් වගේ දැනීම හා එය ඉතා දැඩිවීම තමයි ඇති වෙන්නේ. ප්‍රධාන ධමනියක් අවහිරවීමකින් හෝ හෘදයාබාධයකදී පපුවේ හිර කරනවා වගේ වේදනාවක් ඇතිවෙනවා. පපුවේ මැදින් ඇරඹෙන මේ පපුවේ වේදනාව පිට පැත්තේ උරපතු ඇට අතරට යාමක් වන්නටත් පුළුවන්.හුස්ම ඉහළ පහළ යවන විට ඇතිවන පපුවේ වේදනාව, අල්පෙනෙති තුඩකින් අනින්නා බඳු වේදනාව,කඩියෙකු කන්නා සේ දැනෙන වේදනාවන් හදවතේ ඇතිවන වේදනාවන් වන්නේ නැහැ. ඒ වගේම ක්ෂණිකව ඇතිවී නැතිවී යන වේදනාවන් ද කිසි අවස්ථාවක හදවතේ ගැටළුවක් නිසා ඇති වන්නක් නොවෙයි. 

පපුවේ සිට සිරුරේ වම් දිශාවට පැතිරෙන වේදනාව මේ ලක්ෂණය පිළිබඳව බොහෝදෙනෙක් අසා තිබුණත් එය හඳුනා ගැනීමේදී බොහෝ අය අපොහොසත් වෙනවා. මෙහිදී පපුවේ වම් පැත්තෙන් ආරම්භ වන වේදනාව වම් අතේ වැලමිට දක්වා පැතිර යනවා.රුධිරය ගලායාමේ දුර්වලතා නිසා මේ තත්ත්වය ඇතිවෙනවා. ඇතැම්විට පපුවේ වේදනාව නොමැතිව වම් අතේ වැලමිටේ වේදනාවක් ලෙස පමණක් වුණත් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා එක්වර අහේතුකව වම් අතේ වේදනාවක් හෝ නැවීමට අපහසු ගතියක් තිබේ නම් විමසිලිමත්වීම වැදගත්.

උගුරේ සහ හනුවල ඇති වේදනාව සෙම්ප්‍රතිශ්‍යාව ඇති විටක හෝ දැඩි යමක් හැපූ විට මේ ලක්ෂණ ඇතිවෙන්නට හැකි නමුත් එවැනි හේතුවක් රහිතව ක්ෂණිකව මේ ආකාරයේ වේදනාවන් ඇති වන්නේ නම් එය නිසැකයෙන්ම හෘදයාබාධයක් ඇතිවීමේ පූර්ව ලක්ෂණයක් වෙනවා.හදවතේ හදිසි අඩපණ වීමක් නිසා හිසට ගමන් කරන රුධිරය නැවත හදවතට ගලා ගෙන නොගොස් ශිරාවල සිරවෙන තත්ත්වයක් ඇතිවීම නිසා මෙවැනි වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා එය සුළුවට ගත යුතු නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවෙයි. 

හදිසි අප්පිරියාව හෝ වමනය හදිසියේ ඇතිවන ඔක්කාර ගතිය හෝ පාලනය කරගත නොහැකි ලෙස වමනය ඇතිවීමත් හෘදයාබාධයක් සමීපයේ ඇති බව හඟවන ලක්ෂණයක්. මේ තත්ත්වය වැඩි වශයෙන් කාන්තාවන් අතර දකින්නට පුළුවන්. වමනයෙන් පසුව පපුවේ වේදනාව, දැවිල්ල හා බඩ පුරවා දැමීමක් එකවරම දැනීම මෙහිදී ඇතිවෙන්නට පුළුවන්.

ක්ලාන්ත ගතිය හදිසියේම හිසේ ඇතිවන ක්ලාන්තය සහ කරකැවීමේ ස්වභාවය හෘදයාබාධයක පෙර නිමිත්තක් වන්නට පුළුවන්.නමුත් ක්ලාන්තය හේතු කිහිපයක් නිසාම ඇති වෙන්නට පුළුවන් නිසා මෙය හෘදයාබාධයක් නිසා ඇතිවන්නක් ද යන්න දැන ගැනීමට වෛද්‍යවරයෙකු හමුවට යා යුතුමයි. විශේෂයෙන්ම සිරුරේ ඇති රුධිරයෙන් 20 % ක් පමණම හිසට ගමන් කරන නිසා  හදිසියේ ඇතිවන හෘදයාබාධයකදී  මොළයට ගමන් කරන රුධිරය ප්‍රමාණය  අඩු වී ක්ලාන්ත ගතියක් ඇති වෙන්නට පුළුවන්.

නින්දේදී ගෙරවීම නින්දේදී ගෙරවීම බොහෝ අයට විවිධ හේතු නිසා ඇතිවෙන්නට පුළුවන්. නමුත් වෙනදා නින්දේදී ගොරවපු නැති කෙනෙක් හදිසියේ නින්දේදී ගෙරවීම් හා හුස්ම හිරවීම හෘදයාබාධයක් ඇති වෙන්නට බලපාන තත්ත්වයක් විය හැකි බැවින් ඒ පිළිබඳව  සැලකිලිමත් වන්න.

අසාමාන්‍ය තෙහෙට්ටුව බරක් එසවීම හෝ පඩිපෙළක් නැගීම ආදියෙන් පසුව වෙනදා නොදැණුනු අධිකම මහන්සියක් හා හුස්ම හිරවීමක් ඇති වන්නේ නම් එය ගණන් නොගෙන සිටීම සුදුසු නැහැ. හදවතට සුළු වශයෙන් හෝ ගැහෙන වේගය වැඩි කර ගැනීමට ඇති අපහසුවක්.විශේෂයෙන්ම හදවත ගැහෙන වේගය පාලනය කරන ස්නායුවේ ගැටළු ඇතිවීම නිසා සිදුවන  හෘදයාබාධවලදී  මේ ලක්ෂණය නිතර දැක ගන්නට පුළුවන්. ඒ නිසා වෛද්‍ය පරීක්ෂණයක් කරවා ගැනීමයි නුවණට හුරු.

දෙපා හා වළලුකර අවට ඉදිමීම දරුණු වකුගඩු රෝගයකදී හැර හේතුවක් නොමැතිව කකුලේ වළලුකර ආදිය ඉදිමීම හෘදයාබාධයක් නිසා ඇතිවන ලක්ෂණයක් ලෙසටයි සලකනු ලබන්නේ. යම්විටක හදවතේ ගැටළුවක් නිසා රුධිරය නැවත ගෙන ඒමේදී ඇතිවන ගැටළුවක් නිසා මේ තත්ත්වය ඇති වෙනවා.වළලුකර සන්ධිය හදවතට වඩාත් ඈතින් ඇති ප්‍රධාන සන්ධිය නිසා  බොහෝ ඉරියව්වලදී එහි සිට රුධිරය ඉහළට ඇදගන්නට සිදුවන නිසා  හදවතේ ගැටළුවක් ඇත්නම්  වළලුකර ප්‍රදේශයේ රුධිරය එක්රැස්වී ඉදිමීමක් සිදුවෙනවා.ඒ නිසා කකුල්වල වර්ණය පවා අඳුරු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණ මග හරින්නට එපා. 

එක්වරම දහදිය දැමීම ශරීරයේ උෂ්ණත්වය පාලනය කරගන්නට, ශරීරය සිසිල්ව තබා ගන්නට ශරීරයේ දහදිය පිට කරන එක සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. නමුත් හදිසියේම හේතුවක් නොමැතිව දහදිය දැමීම එවැනි සාමාන්‍ය තත්ත්වයක් නම් නොවෙයි. එකවරම දහදිය දැමිම සහ ඒ සමඟ පපුවේ වේදනාව, ක්ලාන්තය හෝ හුස්ම හිරවීම වුණත් ඇතිවන්නට පුළුවන්.  ඒ නිසා පමා නොවී රෝහල්ගතවීමයි සුදුසු වන්නේ.

නොනවතින කැස්ස මෙහිදී ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ආකාරයට හදවත ක්‍රියා නොකරන නිසා රුධිරය සුළු වශයෙන් පෙනහළුවලට කාන්දුවීම නිසා මේ නොනවතින කැස්ස ඇති වෙන්නට හේතු වෙනවා. මේ වියළි කැස්සේදී පිටවන සෙමවල රෝස පැහැයක් ඇත්නම් ඒ ගැන සුළුවට ගත යුතු නැහැ.

හදවතේ ගැස්ම හදවතට කණ තබා ගැනීමෙන් මේ අක්‍රමවත් ගැස්ම හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා.එවැනි අවස්ථාවක වෛද්‍යවරයෙකු හමුවීමයි ඉතා වැදගත් වන්නේ.

ඉතින් හෘදයාබාධයක් ඇති වෙන්නට පෙරාතුව මේ ලක්ෂණ පිළිබඳව අවබෝධයකින් පසුවීම හෘදයාබාධයකින් ආරක්ෂා වෙන්නට වගේම මරණයෙන් බේරෙන්නට හැකියාව ලැබෙනවා නිසැකයි.