රෝග දුරලා ආයුෂ වැඩිකරගැනීමට ඔබ ආහාරයට එක් කර ගත යුතුම හීනටි සහලේ ගුණ

health tips

අපේ ජීවය පවත්වා ගෙන යාමට ආහාර අත්‍යවශ්‍ය නමුත් ඒවා බුද්ධිමත්ව හරියාකාරව තෝරා බේරාගෙන  ආහාරයට එකතු කර ගැනීම මිනිසුන් වුණු  අපගේ වගකීමක්. දිවට රස, ඇසට ප්‍රිය, කනට මිහිරි ආහාර  සියල්ලක්ම අපේ ශරීර සෞඛ්‍යයට හිතකර ප්‍රතිලාභ ගෙන දෙන්නේ නැහැ. ඒ නිසාවෙන් දිව පිනවන රස මසවුළු වුණත් අපේ දේහයට එල්ල කරන බලපෑම ගැන මිනිසුන් වශයෙන් අපි බුද්ධිමත්ව තීරණය කළ යුතුයි.අද බහුතරයකට වැළඳෙන බොහොමයක් රෝගාබාධවලට මූලිකම හේතුව අපි ගන්නා ආහාර බව  ඔබත් මමත් නිසැකයෙන්ම දන්නා කාරණයක්.

ලාංකීය  අපේ  ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. එදා වගේ නෙවෙයි  අද  කුස පුරවා ගන්නා සහල් පවා අපිට ලෙඩ රෝග කන්දරාවක් දෙනවා . දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, පිළිකා, හෘද රෝග මේ ආහාර කරණ කොට ගෙන ඇතිවන ලෙඩරෝග.  

මේ ලෙඩ රෝගවලට  පිළියම් ලෙස  බොහෝ දෙනෙක් අද වෙද්දි පාරම්පරික සහල්වලට යොමුවෙලා තියනවා.   අතීතයේ අපි අපේ මුතුන් මිත්තන් ලෙඩ රෝගවලින් වැළකිලා දීර්ඝායුෂ ලබා ගත්තේ රජ කාලයේ සිට පැවත එන  මේ පාරම්පරික සහල් අනුභව කිරීමෙන්. 

නවීන සහල්වල ආගමනයත් සමග ලාංකේය ජනතාව මේ පාරම්පරික සහල් පරිභෝජනයෙන් ඈත් වුණා.   එහි  ප්‍රතිඵලයක් විදිහට  මිනිස්සුන්ට විවිධ සංකූලතා ලෙඩ රෝග ඇති වුණා.  නවීන සහල් වගා කිරීමේ දී අධිකව  පොහොර  යොදන නිසා  ඒවා පරිභෝජනයෙන් ශරීරයට රසායන ද්‍රව්‍ය ඇතුලු වීම සිදු වෙනවා.  නමුත් පාරම්පරික සහල් වගා කිරීමේ දී කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා නොකරන නිසා එවැනි ගැටළු මතු වෙන්නේ නැහැ.   

ඉතින් දවසින් දවස විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙන ප්‍රමාණය වැඩි වෙමින් යද්දී,  දරුවන් පවා අකාලයේ මියැදෙද්දී ලාංකේය අපිට ඉතා වටිනා සම්පතක් විදිහට පරිභෝජනයට ගන්නට හැකි දේශීය සහල්  පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි  කල්පනා කරා . 

මේ වෙද්දි පාරම්පරික සහල් වර්ග 3000-4000 ත්  අතර ප්‍රමාණයක් නාමිකව තිබුණත්  ඒ අතරෙනුත් භාවිතයට ගන්නේ දෙසීයක් තුන් සියයක් තරම් ප්‍රමාණයක්. ඒ වගේම බොහොමයක් ගොවීන් වගා කටයුතු සඳහා යොදා ගන්නේ සහල් වර්ග 300 ක පමණ ප්‍රමාණයක්.

මේ  දේශීය පාරම්පරික සහල් වර්ගවලට විශේෂ වුණු ඖෂධීය ගුණයන් බොහොමයක් අන්තර්ගත වෙනවා.  මේ සහල්වල මේදය  සහ පිෂ්ඨය ආදී අපේ ශරීරයට අහිතකර සංඝටක පවතින්නේ වැඩිදියුණු කරන ලද සහල්වලට වඩා ඉතා අඩු ප්‍රතිශතයකින්.  විශේෂයෙන්ම පාරම්පරික සහල්වල සාමාන්‍ය සහල්වලට වඩා හත්  ගුණයකින් ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ බවයි හෙළිවී තියෙන්නේ.

මේ  සහල්වල ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල නිසා සුවිශේෂී පිළිකා මර්දන හැකියාව ඒවා සතුයි.  ඒ වගේම බෝ නොවන රෝග  පාලනය කිරීමේ සුවිශේෂී ගුණයක් ද මේ සහල්  සතුවෙනවා.   අද අපි කතා කරන්න  සුදානම් වෙන්නේ පාරම්පරික සහල්  වර්ගයක් වෙන   හීනටි සහල්  පිළිබඳව . 

 හීනටි සහල්  කළු හීනටි, සුදු හීනටි, ගොඩ හීනැටි, රතු  හීනටි ආදී වශයෙන්  ප්‍රභේද කිහිපයක්ම හඳුනා ගන්නට පුළුවන්.  

කළු හීනැටි 

විෂ වෙදකම සඳහා අතීතයේ සිටම භාවිතා කළ සහල් වර්ගයක් විදිහට කළු හීනටි  හඳුන්වන්නට පුළුවන්.  එකම කරලේ  පොත්ත සුදු වී සහ කළු වී මෙහි අන්තර්ගත වී තිබීමත්,  නිවුඩ්ඩ රතු පැහැවීමත් , මාස තුනක් ඇතුළත ඵලදාව ලබා දීමත් මේ  කළු හීනටි වීවල  සුවිශේෂීත්වයන්. තන්තු, ප්‍රෝටීන , විටමින් C, විටමින් B , යකඩ සහ සින්ක් අන්තර්ගත වෙන කළු හීනටි ආහාරයට එකතු කර ගැනීමෙන් ප්‍රතිලාභ  බොහොමයක් ලබා ගන්නට පුළුවන්. කුඩා ප්‍රමාණයකින් වුණත් ඉතා හොඳ පෝෂණයක් ලබා ගන්නට හැකි මේ සහල් දිනපතා පරිභෝජනයටත් සුදුසුයි . 

මේ කළු හීනටි සහල්වල ඊටම ආවේණික රසයක් සහ ප්‍රසන්න සුවඳක් ඇති නිසා මේ සහල් වර්ගය පැරැන්නන් අතර ඉතාම ප්‍රසිද්ධයි.  මේ කළු හීනටි සහල් දිනපතා පරිභෝජනය කිරීමට වුණත් හැකියාව තියෙන ඖෂධීය ගුණයකින් යුක්ත සහල් විශේෂයක්. ඖෂධ සඳහා බහුලවම භාවිතයට ගන්නා සහල් වර්ගය විදියට සැලකෙන හීනටි සහල් ප්‍රභේද කිහිපයකින් සමන්විතයි.  ඒ  අතරින් කළු හීනටි උසස්ම වර්ගය ලෙසයි සැලකෙන්නේ. 

කළු හීනටි සහලේ  ගුණ 

සර්ප විෂ නසාලයි.  

ඉන්සියුලින් හෝමෝනය නිපදවීම උත්තේජනය කරන නිසා දියවැඩියා රෝගීන්ට සුදුසුයි.  

කුඩා දරුවන්ගේ ආහාර ජීර්ණය පහසු කරයි. 

පිළිකා නැසීමේ ගුණයෙන් සමන්විතයි. 

ශරීරයේ විෂ නසාලයි. 

කිරි දෙන මව්වරුන්ට වගේම ගර්භනී මව්වරුන්ට ඉතාම සුදුසුයි. 

ශරීරය සිසිල් කරයි.

හදවත් රෝගීන්ට ගුණදායකයි. 

කායික ශක්තිය වර්ධනය කරයි. 

කැඩුම් බිඳුම් වෙදකමේ දී භාවිතයට ගැනෙයි. 

බඩවැල් චලනය සහ මල බද්ධය නියාමනයට උපකාරී වෙයි. 

පාචන රෝගීන්ට සහ උණ රෝගීන්ට ගුණදායකයි .

සුදු හීනටි 

මේ සුදු හීනටි සහල් වර්ගයේ ප්‍රෝටීන් වගේම යකඩත් වැඩි  ප්‍රතිශතයකින් අන්තර්ගත වෙනවා. හීනටි  වර්ගයටම අයත් වන සුදු හීනටි රතු සහල් ප්‍රභේදයක්.  වී ඇටයේ සිට පිට පොත්ත සුදු පැහැයෙන් දිස් වීම හේතු කරගෙන සුදු හීනටි නමින් මෙය හඳුනා ගන්නවා.  මාස 4කින් පමණ අස්වැන්න නෙළා ගන්නට හැකියාව තියෙන සුදු හීනටි අපේ රටේ ඕනෑම ප්‍රදේශයක වගා කරන්නට  පුළුවන්. 

සුදු  හීනටි සහලේ ගුණ 

දියවැඩියාව හේතු කරගෙන ඇති වන සංකූලතා මර්දනය කරයි. 

පෙනහළු පිළිකා ඇතුළු පිළිකාවලින් ආරක්ෂාව සලසයි. 

දියවැඩියා රෝගය මැඩලීම් හැකියාවෙන් යුක්තයි.  

කොලෙස්ටරෝල් වැඩිවීම පාලනය කරයි. 

ආතතිය දුරු කරයි. 

අධික රුධිර පීඩනය පාලනය කරයි. 

ශරීර ශක්තිය වර්ධනය කරයි. 

ප්‍රතිශක්තිය ඉහල නංවයි. 

ශරීර ශක්තිය වඩවයි.

මලබද්ධය ඇතිවීම වළක්වයි. 

ඉදිමුම් රෝගයන්ට ගුණදායකයි. 

ස්නායු රෝගවලට ගුණදායකයි.

ගොඩ හීනටි

 රතු සහල් ප්‍රභේදයක් ලෙස සැලකෙන ගොඩ හීනටි  පොත්ත දුඹුරු පැහැයට හුරු රතු පැහැයකින් සමන්විතයි . මෙහි පත්‍ර දුඹුරු පැහැයක් ගැනීම විශේෂත්වයක්.  මාස තුන හමාරකින් අස්වැන්න නෙළා ගන්නට හැකියාව ලැබෙන ගොඩ හීනටි අතීතයේදී උස්බිම්වල සුලභ වුණු සහල් වර්ගයක්. අද වෙද්දි ශ්‍රී ලංකාවේ හැම ප්‍රදේශයකම මේ සහල් වර්ගය වගා කිරීම දකින්නට පුළුවන්. 

ප්‍රෝටීන්, විටමින් ඊ  සහ ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් මේ සහල් වර්ගය වඩාත් ගුණදායක වන්නේ  නිවුඩ්ඩ  සහිතව ආහාරයට ගැනීමයි. 

ගොඩ හීනටි සහලේ ගුණ 

ශක්තිය වර්ධනය කරයි.  

ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

දියවැඩියාව සුවපත් කරයි.

පිළිකා රෝග නසයි.

ස්නායු රෝගවලට ගුණදායකයි.

ප්‍රදාහ තත්ත්වයන් සුවපත් කරයි .  

 තාවුලු හීනටි

 තාවුළු  හීනැටි වැව් ආශ්‍රිතව වගා කෙරෙන සහල් වර්ගයක්.  බොහෝවිට මේ  සහල්  ලබා දෙන්නේ  ආහාර ජීර්ණය  ඉතා අපහසු දුර්වල රෝගීන්ගේ ආහාරය සඳහා.

අක්මා රෝගීන්ට හීනටි හාලේ කැඳ

 අක්මා රෝග ඇතුළු බොහෝ රෝගයන් සඳහා මේක  හීනටි සහල් කැඳ  භාවිතා කරන්නට පුළුවන්. මේ සඳහා ඕනෑම හීනටි සහල් වර්ගයක් භාවිතා කරන්නට පුළුවන්. 

 කෝන්  කොල  සහ  මුං ඇට සමඟ හීනටි සහලින් මේ  කැඳ පිළියෙල කරගන්න පුළුවන්.  එසේ නැත්නම් හීන්බෝවිටියා සහ කිතුල් පැණි යොදාගනිමින් හීනටි  සහලෙන් කැඳ සකසා ගන්නටත්  පුළුවන් .

හීනටි සහල් බත් කැඳ  සාදාගන්නා ආකාරය 

හීනටි සහලෙන් බත් පිස ගැනීම වගේම කොළ කැඳ ආදිය සැකසීමේදී එහි ගුණය වැඩි කරගැනීම සඳහාත්  හීනටි සහල් භාවිතා කරන්නට පුළුවන්.  කුඩා දරුවන්ටත් ඉතාම ගුණදායක බත් කැඳ පිළියෙල කර ගැනීමට මේ හීනටි සහල් උපයෝගී කර ගන්නට පුළුවන්. 

 සෝදාගත් සහල් තේ හැදි  දෙකක් පමණ රාත්‍රියේ දී ජලයට පෙගෙන්නට දමා බත් පිසින ආකාරයටම සහල් සෝදා වතුර අඩු කෝප්ප 2 ක් පමණ දමා පිසගන්න.   එය වතුර කෝප්ප එකකට  සිදී ගිය පසුව පසු බත්  හැන්දකින්  හොඳින් පොඩි කරගන්න. 

මේ කැඳ වයස අවුරුදු 1 ට වැඩි දරුවන්ට ලුණු  ස්වල්පයක් එකතු කර මද  රස්නෙන් උදෑසන පානයට ලබා දෙන්න.  මව්කිරි ඇත්නම් එයට මව්කිරි ස්වල්පයකුත්  මිශ්‍ර කරන්න. 

ඒ වගේම මේ කැඳ වර්ග පිසීමේදී සුදුලූනු,  ඉඟුරු, රතුළූණු ආදිය ඉතා කුඩා ප්‍රමාණවලින් එකතු කර සකසා ගැනීමෙන් එහි රසය වගේම ගුණයත් වැඩි කරගන්නට පුළුවන්.  විශේෂයෙන්ම මෙසේ සාදාගත් කැඳ උණ පාචනය ආදී රෝගවලින් පෙළෙන දරුවන්ටත් , ආහාර  නොගන්නා දරුවන්ටත් ඉතාම ගුණදායක ආහාරයක්.  

එය දරුවන්ගේ නුවණ සහ මතක ශක්තිය වර්ධනය කරනවා.  ශරීර ශක්තිය වඩවනවා. ඒ නිසා දරුවන්ගේ ආහාර වේලට සහ වැඩිහිටියන්ගේ ආහාර වේලටත්  හීනටි සහල් කැඳ එකතු කර ගැනීම හරිම වැදගත්.

වස විස බහුල ආහාර පාන ගනිමින්  දිගාසිරි පැතීම සිනහවට කරුණක්. ඒ නිසා හැකි තරම් තුන්වේලටම ආහාරයට  ගන්නා බත් පත හෝ වස විසෙන් තොරව ආහාරයට ගන්නට ඔබ උත්සාහ ගත්තොත්  එය ලෙඩ බොහොමයකින් ඔබට ආරක්ෂාවක් ලබා ගන්නට උදව් වෙනවා .