අද ලොකු කුඩා සියලුදෙනාම රසවත් ගුණවත් පානයක් විදියට සලකන්නේ කිරිපිටි. ආකර්ශණීය විදියට වෙළද දැන්වීම් ආදිය මගින් අපේ ඔළුවලට දාපු මේ කෘතීම රසායනික දේවල් අඩංගු කිරි පිටි අද අපිට නැතුවම බැරි උදෑසන පානයක් වෙලා. නමුත් එදා අපේ මුතුන් මිත්තන් නිදුක් නීරෝගීව දීර්ඝ කාලයක් ජීවත් වුණේ මේ කියන අද අපිට නැතුවම බැරි කිරි පිටි පානය කිරීමෙන් නම් නෙවෙයි. එදා අපේ මුතුන් මිත්තන් දවස පටන් ගත්තේ ඖෂධීය ගුණයන්ගෙන් සමන්විත ඉතා වටිනා දේශීය පාන වර්ගයකින්. හේනට කුඹුරට යද්දි වගේම වැඩ කර වෙහෙස පිපාසය නිවා ගත්තේ, නිවසට එන අමුත්තන්ටත් සංග්‍රහ කළේ ඉතාම පහසුවෙන් සකස් කර ගන්නට හැකි කිසිදු වසක් විසක් නැති මේ දේශීය පාන වර්ගවලින්. අපේ ශරීරයට අවශ්‍ය කරන විටමින්, ක්ෂුද්‍ර පෝෂක වගේම ඛනිජ ලවණත් ලබා ගන්නට එවැනි බීම වර්ග ඔවුන්ට මහත් උපකාරයක් වූ බව නවීන විද්‍යාවෙන් අද අපි තේරුම් ගනිමින් සිටිනවා.
පසුකාලීනව බටහිරින් අපිට ලැබුණු තේ,කෝපි, මත්පැන්, පැණි බීම කෘතීමව සකස් කර පිටි කිරි නිසා මේ වටිනා පුරුදු හා ආහාර අපෙන් ඈත් වී ගියා.එවැනි දේශීය පාන වර්ගවලින් අපේ ශරීරයට ලබා ගන්නට හැකි අතිමහත් ගුණයන් මේ පිටි කිරිවලින් නම් කොහොමවත් ගන්නට බැහැ. ඉතින් මේ කිරි පිටි පානය කරන ඔබට ඔබේ රුව පිළිබඳවත් නැවතත් සිතන්නට සිදු වෙනවා. මොකද අපි හැමෝම වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න කැමතියි නේ.ඉතින් මේ තරුණ පෙනුම රැක ගන්නට මහළු වීම යම්තාක් දුරකට පාලනය කරගන්නට නීරෝගීව දිගුකාලයක් ජීවත් වෙන්නට හොඳම විසඳුම තමයි එදා අපේ පැරැන්නන් භාවිතා කරපු දේශීය පාන වර්ග. ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ එවැනි අපූරු ගුණ ඇති දේශීය පාන වර්ග කිහිපයක් පිළිබඳව.

බෙලි මල් බෙලි ගසක වටිනාකම මෙතෙකැයි කියන්නට බැහැ. මොකද බෙලි මුලේ සිට කොළ, පොතු, ගෙඩි මල් , කටු ආදී සියල්ලම කුමක් හෝ ඖෂධයක් ලෙසට අපිට භාවිතයට ගන්නට හැකියාව පවතින නිසා. ඉතින් වයසට යාම පාලනය කරමින් තරුණ පෙනුම රැක ගන්නට උනන්දු වෙන ඔබට පානය කරන්නට හැකි ඉතාම අනර්ඝ පානයක් තමයි බෙලි මල් පානය. බෙලි මල් පමණක් නෙවෙයි බෙලි කොළ වගේම බෙලි ගෙඩියේ කටුවත් තම්බා පානය කිරීමෙන් අපේ ශරීරයට අති මහත් සෞඛ්‍ය වාසි බොහෝමයක් ලබා ගන්නට පුළුවන්. බෙලි කොළ කොටා වරු තුනක් කහට පිපෙන්නට තබා තම්බා ගැනීමෙන් බෙලි මල්වලින් සකසා ගන්නා පානය වගේම ගුණවත් බීමක් පිළියෙල කරගන්නට පුළුවන්. මේ බෙලි පානයෙන් වයසත් සමඟ අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම ශක්තිය හීන වීම ආදිය වළක්වමින් නීරෝගී කාර්යක්ෂම දිවියක් ගත කරන්නට අපිට උපකාරී වෙනවා.
ඉරමුසු ලාංකීය ඔබ අප හැමදෙනාම ඉරමුසු කියන වටිනා ඖෂධීය පැලෑටිය දන්නා බවට කිසිදු සැකයක් නැහැ. බිම දිගේ වැළක් මෙන් වර්ධනය වෙන මේ ඉරමුසු ශාකය සම්පූර්ණයෙන්ම ගලවා ගෙන සෝදා තම්බා ගැනීමෙන් හෝ කොටා තම්බා ගැනීමෙන් ඉතා ගුණයෙන් ඉහළ පානයක් එදා මුතුන් මිත්තන් සකස් කර ගත්තා. උණුසුම්ව තිබියදී කිතුල් හකුරු සමඟ පානය කිරීම වගේම සිසිල් වුණාට පසුව දවසේ ඕනෑම වෙලාවක පානය කරන්නට පුළුවන් සිරුරේ දාහය නසාලන ආහාර ජීර්ණය උත්තේජනය කරන රුධිරය පිරිසිදු කරන අනර්ඝ පානයක්. ඔබේ පෙනුමට වඩාත් හානිදායක ලෙස බලපෑම් ඇති කරන සම රැලි වැටී වයසක පෙනුමක් ලබාදෙන මුක්ත ඛණ්ඩක විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් ද සතු ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් ද සහිත ගුණවත් පානයක් ලෙසයි සඳහන් වෙන්නේ.
වැල් පෙනෙල කාන්තා පුරුෂ භේදයකින් තොරව ශරීරයේ ශක්තිය වර්ධනය කර ගන්නට හැකි, ධාතු ශක්තිය වඩවන කායිකව වයසට ගියත් ශක්තිය අතින් තරුණයෙකු මෙන් දිවි ගෙවන්නටත් ඔබට මහත් සේ උපකාරී වෙන ශාකයක් තමයි වැල් පෙනෙල කියන්නේ. මෙය බොහෝවිට දේශීය සහල් වර්ගයක් එකතු කර කොටා කැඳ සකස් කර ගැනීමයි සිදු කරන්නේ. තරුණ බව රැක ගන්නට ශක්තිවන්තව දිවි ගෙවන්නට අත්‍යවශ්‍යම පානයක් තමයි මේ වැල් පෙනෙල.
රණවරා දිනපතාම වුණත් පානය කරන්නට හැකි සමට වඩාත් හිතකර රන්වන් පැහැයක් දෙන රණවරා තරුණ බව ආරක්ෂා කර ගන්නට උනන්දු වෙන ඔබට ඔබට වඩා වැදගත් වේවි. අළුහම්, ලප කැලැල්, කුරුලෑ, හිරු එළියට පිළිස්සීම් ආදී සම ආශ්‍රිත ගැටළුවලට සම ඇතුළතින් විසඳුම් ලබා දෙන්නට රණවරා පානයට අපූරු හැකියාවක් පවතිනවා.
හාතවාරිය කොළ කැඳ ලෙස රතු ළූණු සමඟ කොටා සකස් කරගත හැකි මේ දේශීය පානය අපේ ශරීරයේ වැදගත් ක්‍රියාවලීන් රාශියකට අවශ්‍ය හෝර්මෝන ප්‍රෝටීන ඇතුළු ජීවි සංයෝග සංස්ලේෂණය කරන්නට මේ හාතවාරියවල අඩංගු මූලද්‍රව්‍ය අතිශයින්ම වැදගත් වෙනවා. හාතාවාරිය කැඳ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවත්වා ගෙන යන්නට වගේම වයසට ගියත් කිසිම ලෙඩ රෝගයක් නැතුව ඉන්නටත් මේ හාතවාරිය කැඳ ඔබට අතිශයින්ම හේතුවක් වෙනවා.

ගොටුකොළ මතක ශක්තිය වර්ධනයට බුද්ධිය වර්ධනයට උපකාරී වෙන ගොටුකොළ අමුවෙන් කැඳ ලෙස සකස් කර හෝ අමුවෙන් සලාදයක් ලෙස පිළියෙල කර ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. ඛනිජ ලවණ ඇතුළු ක්ෂුද්‍ර පෝෂකවලින් අනූන ගොටුකොළ කැඳ නිතරම පානය කිරීමෙන් වයසට ගියත් තරුණ පෙනුම රැකගන්නට මතකය සම්බන්ධ ගැටළුවලින් වැළකී සිටින්නටත් උපකාරී වෙනවා.
නෙල්ලි රස කිහිපයක්ම අන්තර්ගත නෙල්ලි හෙවත් අම්ල ගෙඩිවල ඇට ඉවත් කර බ්ලෙන්ඩර් කර ගැනීමෙන් ඉතා පහසුවෙන් නෙල්ලි පානයක් සකසා ගන්නට පුළුවන්. නෙල්ලිවලින් අපේ ශරීරයට ලැබෙන ගුණ මෙතෙකැයි කියා නිම කරන්නට බැහැ. ඒ අතුරින් එක් විශේෂ ගුණයක් තමයි පුද්ගලයෙකු වයසට යාම පෙන්වන සම හිසකෙස් ආදී කොටස් ප්‍රකෘතිමත් කිරීම. වයසත් සමඟ සමේ ඇතිවන ලප කැලැල් දුරු කර සම පැහැපත් කර හිසකෙස් සුදුවීම ගැලවී යාම ආදී තරුණ පෙනුමට බලපෑම් කරන ගැටළු සියල්ලම පාලනය කරනවා.
රසකිද තරමක් මහත මාංශල කඳක් සහිත රසකිද වැල් ගලේ අඹරා කැඳ සකස් කර ගන්නට එදා අපේ මුතුන් මිත්තන් කටයුතු කළා.හෘදයට ඉතාමත් හිතකර මේ රසකිද හදවතේ ක්‍රියාකාරිත්වය මැනවින් පවත්වා ගෙන යන්නට වයසට ගියත් හෘදය ආශ්‍රිත රෝගවලින් ආරක්ෂා වී සිටින්නටත් බෙහෙවින් හේතු වෙනවා.

කරපිංචා රසකාරකයක් ලෙස අපි නිතරම භාවිතා කරන කරපිංචා කැඳ වශයෙන් සකස් කර ආහාරයට ගන්නට හැකි නම් එය හිසකෙස්වල ගැලවීම වගේම සුදුවීම පාලනය කර ඉතා තරුණ පෙනුමක් ලබා ගන්නට ඔබට උපකාරී වෙනවා.
ඉතින් මේ පානයන් දිනපතාම ලබා ගන්නට ඔබට අපහසු වුණත් අඩුම සතියකට දෙතුන් වතාවක්වත් මෙවැනි දේශීය පාන වර්ග කිහිපයක් ලබා ගන්නට හැකි නම් ඔබේ ශරීරයේ පෙනුම වගේම නීරෝගීභාවයටත් එය බෙහෙවින් උපකාරී වේවි.