හිටපු ගමන් ගෑස්ට්‍රයිටීස් හැදෙන්න බලපාන හේතු 13 ක්

health tips

තරුණ, බාල, මහලු හැමදෙනෙක්ම බහුලවම පීඩා විදින රෝගී තත්ත්වයක් තමයි මේ ගෑස්ට්‍රයිටීස් හෙවත් අමිල පිත්ත රෝගය කියන්නේ. අපේ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් විඳවන මේ රෝගය ගැන නිරන්තරයෙන් කතාබහ කෙරෙනවා. නමුත් ඇතැම් අය මේ රෝග තත්ත්වය සුවකර ගැනීම සඳහා එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ .ඒ නිසාම ඔවුන් විවිධ බරපතල රෝගාබාධ දක්වාම ඒ තත්ත්වය ගෙන යනවා. විශේෂයෙන්ම  මේ අමිල පිත්ත රෝගයට නිසි ප්‍රතිකාර නොකර නොසලකා හැරීමෙන් ආමාශයේ ඉදිමීම, බඩේ තුවාල, පිළිකා ලෙස වර්ධනය වීම තරම් දරුණු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ රෝගය සුළුවෙන් සැලකිය යුත්තක් නොවෙයි. කල්ගතවීමත් සමඟ සුව කිරීම ඉතා අපහසු වෙනවා. ඉතින් කොතරම් කතාබහ කළත් සුවයක් නොලද රෝගීන් අපේ රටේ බොහොමයි. ඒ නිසාමයි නිට්ටාවටම මේ රෝග සුවපත් කර ගන්නට අපිට කළ යුත්තේ මොනවාද කියලා දැනගත යුතු වෙන්නේ. ඉතින් අද  අපි කතා කරමු මේ පීඩාකාරී අමිල පිත්ත රෝගයෙන් සුවයක් ලබා  ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව.

මේ ආමාශයික ප්‍රදාහය එහෙමත් නැත්නම් අමිල පිත්ත රෝගය ප්‍රධාන ආකාර දෙකක් හඳුනා ගන්නට පුළුවන්. එයින් එකක් වන්නේ එක්වර ඇතිවන ආමාශයික දැවිල්ල. අනිත් ආකාරය වෙන්නේ දීර්ඝකාලීනව ආමාශය ප්‍රදාහයට පත්වීම. ඉතින් මේ අමිල පිත්ත රෝගය සුවකර ගන්නට නම් එය ඇතිවෙන්නට බලපාන ලද හේතු පිළිබඳව අවබෝධයක් අප සතු විය යුතු වෙනවා. එවිට අපිට ඒ හේතුවලින් වැළකෙමින් චර්යාත්මක වෙනස්කම් නිවැරදි කරගමින් මේ රෝගය සුවපත් කර ගන්නට හැකියි.

අමිල පිත්ත රෝගය ඇති වෙන්නට බලපාන හේතු 

  • ආමාශයේ බිත්තිය දුර්වල වීම මෙසේ ආමාශයේ බිත්ති දුර්වල වෙන්නට බලපාන හේතු අතර පෝෂණ ඌණතා, ආහාර රටාව, ගනු ලබන ආහාර ප්‍රධාන වෙනවා. 
  • ආමාශයේ ජීවත් වන බැක්ටීරියාමේ අමිල පිත්ත රෝගය සඳහා ප්‍රධානම හේතුවක් ලෙස ආමාශයේ අභ්‍යන්තරයේ ජීවත් වන හෙලිකො බැක්ටො  පයිලෝරි  (Helicobacter Pylori ) කියන බැක්ටීරියාව හඳුනා ගෙන තියෙනවා. මේ බැක්ටීරියාවේ ක්‍රියාකාරිත්වය හේතුවෙන්  ආමාශයික ප්‍රදාහය  ඇති වෙන බව සොයාගෙන තියෙනවා.
  • මේ අමිල පිත්ත රෝගය එක් අයෙකුගෙන් තවත් අයෙකුට වැළදීමේ ඉඩකඩ නිර්මාණය වෙන්නෙත් මේ බැක්ටීරියාව මූලික කරගෙනයි. මේ හෙලිකො බැක්ටො පයිලෝරියා බැක්ටීරියාවෙන් දූෂණය වුණු ආහාරයක් අපේ ශරීරයට ඇතුල් වූ විටෙක හෝ අපි ජලය පානය කරන විටෙක දී ඒ ජලය හරහා, ආහාර ගන්නා බදුන් හරහා හෝ දෙතොල්  සිප ගැනීම හරහා ද  අපේ ශරීරයට මේ බැක්ටීරියාව ඇතුල් වෙන්නට පුළුවන්. ඒ වගේම ගෑස්ට්‍රයිටීස් රෝගියෙකුගේ ඛේටය හෝ මලපහ තවත් අයෙකුගේ දේහයට ඇතුල් වීමෙන් පවා මේ අමිල පිත්ත රෝගය තවත් අයෙකුට ඇතිවීමේ අවදානමක් තියෙනවා.
  • අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්කොළ භාවිතය 
  • NSAIDs කාණ්ඩයට අයත් ඖෂධ භාවිතය මේ කාණ්ඩයේ ඖෂධ අමිල පිත්ත රෝගය ඇති කරන්නට වගේම අමිල පිත්ත රෝගියෙකුගේ රෝග තත්ත්වය උත්සන්න කරන්නටත් හේතු වෙනවා.
  • වයස්ගත බව වයස්ගතවීමත් සමඟ ආමාෂයේ අභ්‍යන්තරයේ  බිත්තිය දුර්වල වීමෙන් අමිල පිත්ත රෝගය ඇතිවීමේ අවදානමක් නිර්මාණය වෙනවා.   
  • ජලය අඩුවෙන් පානය 
  • රාත්‍රී  නිදිවැරීම හා දවල් නිදා ගැනීම 
  • නිසිලෙස ව්‍යායාම්වල නිරත නොවීම   
  • අලස බව 
  • අධික මානසික ආතතිය 
  • අධිකව තරහ යාම 
  • අධික ශෝකය හෝ බිය ආදි තත්ත්ව
  • ආහාර නිසි වේලාවට නොගෙන සිටීම 
  • අධික තෙල් මිරිස් කුළුබඩු යෙදූ ආහාර ගැනීම 
  • අම්ලාධික ආහාර අධික ලෙස ගැනීම (අඹ, තක්කාලි, අඹ, විනාකිරි යෙදූ ආහාර )
  • උෂ්ණාධික ආහාර වැඩි වශයෙන් ගැනීම (තක්කාලි, බල මාලු, දෙල්, ඉස්සො, දැල්ලෝ )
  • කෘතීම හා ක්ෂණික ආහාර වර්ග නිතර ගැනීම  

රෝග ලක්ෂණ 

  • කෑම අරුචිය 
  • වමනය 
  • ඔක්කාරය 
  • බඩපපුව දැවිල්ල 
  • බඩේ කැක්කුම 
  • උදරයේ ඉහළ කොටසේ පිරුණු  ස්වභාවය 
  • කළු පැහැයෙන්  මලපහ පිටවීම 

මේ අමිල පිත්ත රෝගය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා රුධිර පරීක්ෂාවක් හෝ මලපහ පරීක්ෂා කිරීමක් සිදුකළ හැකියි. ඒවායේ හෙලිකො බැක්ටො  පයිලෝබැක්ටීරියාව  අන්තර්ගත වන්නේ දැයි එයින් පරීක්ෂා කරනු ලබනවා. ඒ  වගේම එන්ඩොස්කොපි පරීක්ෂාවක් මගින් ද මේ  රෝගය තහවුරු කර ගන්නට පුළුවන්.

අමිල පිත්ත රෝගය සුවකර ගැනීමට පිළිපැදිය යුතු කරුණු  

  • NSAIDs කාණ්ඩයට අයත් ඖෂධ භාවිතය අඩු කිරීමක් හෝ නතර කිරීම සඳහා වෛද්‍ය  උපදෙස් ලබා ගන්න.
  • ප්‍රෝබයීටික් බැක්ටීරියාව අඩංගු වෙන සප්ලිමන්ට් භාවිතා කරන්න.පැසවීමෙන් නිපදවන ලද ආහාරවල මේ ප්‍රෝබයෝටෙක්  අන්තර්ගත වෙනවා. මේ ප්‍රෝබයෝටික්ස් ශරීරයට ඇතුල් වීමත් සමඟ මේ ආමාශයේ අභ්‍යන්තර බිත්තිය නැවත සකස්වීමේ කටයුතු නිසි පරිදි සිදු වෙනවා. ඒ නිසා ප්‍රෝබයෝටික්ස්  භාවිතයේදී අතුරු ආබාධයක් නොමැතිව ගෑස්ට්‍රයිටීස් තත්ත්වය සුවකර ගන්නට පුළුවන්.
  • ලැක්ටොබැසිලස්  ඇසිඩොපිලස් බැක්ටීරියාව (Lactobacillus Acidophilus ) මෙය ආමාශයට හිතකර බැක්ටීරියාවක්. යම් ආහාරයක් මිලට ගන්නා විට ඒවායේ අඩංගු බැක්ටීරියා පරීක්ෂා කර බලා මේ ලැක්ටොබැසිලස් ඇසිඩොපිලස් බැක්ටීරියාව අඩංගු දැයි බලා මිලට ගන්නට කටයුතු කිරීම ඒ රෝග තත්ත්වය සුවකර ගන්නට ප්‍රයෝජනවත් වෙනවා.
  • ග්‍රීන් ටී මෙයින් ආමාශයට අහිතකර බැක්ටීරියාවල  ක්‍රියාකාරිත්වය අවම කරමින් ආමාශයට හිතකර බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා.එය  අමිල පිත්ත  රෝගය සුව කරගන්නට උපකාරී වෙනවා.
  • මී  පැණි,  ඔලිව් තෙල්, සුදු ළූණු  භාවිතය මේ ආහාර මගින් ආමාශයේ අභ්‍යන්තරයේ සිටින බැක්ටීරියාවල  ක්‍රියාකාරිත්වය අවම කරමින් ආමාශ ප්‍රදාහය අවම කරනවා. විශේෂයෙන්ම සුදු ළූණු  මී පැණි  සමඟ ලබා ගැනීම මේ සඳහා සුදුසු වෙනවා.

මේ කාරණා හැරුණාම  ආයුර්වේදමය ප්‍රතිකාරත් මේ අමිල පිත්ත රෝගය සුවකර ගන්නට අතිශයින්ම වැදගත් වෙනවා. ඒ හැරුණාම අහිතකර ආහාර  වර්ග හා  ජීවන පුරුදුවලින් ඈත්වීමත් ඉතා ඉක්මනින් මේ අමිල පිත්ත රෝගය සුවපත් කර ගන්නට හේතු වෙනවා.