අපිට බොහෝ රෝගවලින් ආරක්ෂා වෙන්නට ඉහළ ඖෂධීය ගුණයන්ගෙන් සමන්විත ඖෂධ පැලෑටි ස්වභාදහම තිලිණ කර දී තියෙනවා.නමුත් ඒ ඔසු පැලවලින් නීරෝගිභාවය සලසා ගන්නට ප්‍රයෝජනයට ගන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. ඉතින් රෝග රැසකට ගුණදෙන තුන් දොස් නසන, ශරීරය සුවපත් කරන මේ ඔසුව නමින් ඉරමුසු. මේ ශාකය ලංකාවේ මුහුදු මට්ටමින් අඩි 2500 ට වඩා උස් නොවූ ප්‍රදේශවල බහුලව දකින්නට පුළුවන්. මේ ඉරමුසු පැලෑටියේ මුල ඉතාමත් ප්‍රසන්න සුවඳකින් යුක්තයි. ඈත අතීතයේ පටන් මේ ඔසු පැලෑටිය විවිධ රෝග සුව කරගන්නට ඖෂධ නිෂ්පාදනයට භාවිතා කළ බව සඳහන්.
මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Hemidesmus indicus නම් වන අතර මෙය “අර්ක” කුලයට අයත් වෙනවා.බිම දිගේ වැලක් මෙන් ආධාරකයක එතෙමින් වැවෙන මේ ශාකයේ ඖෂධ සඳහා සම්පූර්ණ පැලෑටියම භාවිතා කරනවා.පොතු මේ පැලෑටියේ විශේෂ ක්‍රියාකාරී කොටස වන අතර මුල් ද බහුලව භාවිතා කෙරෙනවා. වසර මුළුල්ලේම දකින්නට හැකි පැතිරී වැඩෙන ඉහළ නගින ආකාරයේ පැලෑටියක් මේ ඉරමුසු.මෙහි මල් සුවඳවත්. ළපටි කඳ දම් පැහයෙන් යුක්තයි. බූව සහිතයි.දිග කඳ සිහින් අතර දික් වූ රවුම් හැඩයක් ගත් පත්‍ර මතුපිට සුදු ඉරක් සහිත තද කොළ පැහැයෙන් සමන්විතයි.පත්‍ර කඳ දෙපැත්තේම හට ගන්නා අතට මල් පත්‍ර කඳට සවිවන තැනි හටගනු ලබන්නේ පොකුරක් ආකාරයෙන්. මල් පෙතිවල පිට පැත්ත කොළ පැහැයක් ගන්නා අතර ඇතුළු පැත්ත දම් පැහැයක් ගනු ලබනවා.රැළි ගැසී පවතිනවා.
ඉරමුසු වර්ග දෙකක් දක්නට ඇති අතර හීන් ඉරමුසු ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අතර ඖෂධ පිණිස මහ ඉරමුසු ඉන්දියාවෙන් ගෙන්වනු ලබනවා.හීන් ඉරමුසු ශාකය ප්‍රමාණයෙන් කුඩා වන අතර මහ ඉරමුසු හීන් ඉරමුසුවලට වඩා සුවදින් වැඩියි.ශ්‍රී ලංකාවේ වැවෙන ඉරමුසු වර්ගයේ මුල් සුමට අතර මෙය කීරි සහිත ශාකයක්. දුටු විට පහසුවෙන්ම හඳුනා ගන්නට හැකියි.
ආහාරයට ගත හැකි ආකාර

ඉරමුසු කැඳ-ඉරමුසු පැලෑටිය භාවිතයෙන් සකසා ගන්නා කැඳ රෝග බොහොමයකටම ගුණ දෙනවා. ඉරමුසු සම්පූර්ණ පැලෑටියම කපා පොල් සමඟ මිශ්‍රකර කොටා මිරිකා ගත් යුෂ කැකුළු සහල් සමඟ කැඳ සාදා උදේ සවස පානය කිරීම ශරීරයට ඉතාමත් ගුණදායකයි.
ඉරමුසු පානය-ඒ වගේම රෝග රැසකට ඉතාමත් ගුණදායකයි මේ ඉරමුසු පානය.
1. ඉරමුසු නැටි හොඳින් තලා උළුහාල් හා සූදුරු එකතු කර තම්බා මද රස්නයෙන් පානය කිරීම ඉතාම ගුණදායකයි.
2. සම්පූර්ණ ඉරමුසු පැලෑටියම ගලවා සෝදා කැබලිවලට කපා වියළා අවශ්‍ය විට තම්බා පානය කළ හැකියි.මෙය තේ මෙන් කිතුල් හකුරු සමඟ පානය කළ හැකියි. අවශ්‍ය නම් පමණක් කස ඇට හා සීනී එකතු කරන්න.
කෘතීම පැණි බීම ආදිය පානය කරනවාට වඩා තේ මෙන් පානය කළ හැකි ඖෂධීය පානයක් තමයි මේ ඉරමුසු. ඉරමුසු තේ පානයෙන් බොහෝ ප්‍රතිලාභ අපේ සිරුරට ලැබෙන අතර සිරුර පැහැපත් කර දහදිය දුගඳ ඉතා ඉක්මනින් නැති කරනවා. රුධිරයේ ඇති විෂ නැති කර රුධිරය පිරිසිදු කරනවා.සමේ රෝග මර්දනය කරමින් නව ජවයක් සිරුරට ලබාදෙනවා.
ඉරමුසු සම්බෝලය -ඉරමුසු කැඳ විදියට, පානයක් විදියට පමණක් නොව රසවත් සම්බෝලයක් ලෙසත් ආහාරයට එකතු කර ගන්නට පුළුවන්. ඉරමුසු කොළ හොඳින් සෝදා සිහින්ව කපා එයට ගා ගත් පොල් සිහින්ව ලියාගත් ළූණු ආදිය එකතු අර අවශ්‍ය පමණට ලුණු සහ දෙහි යොදා සම්බෝලය සකස් කරගන්නට පුළුවන්. මෙය ශරීරයේ ඇතිවන දැවිලි ගතිය අඩුකරන්නට මැනවින් උපකාරී වෙනවා.
ඉරමුසු සතු ඖෂධීය ගුණ

- දහදිය දුගඳ නැති කරයි.
- හොඳින් මල පිට කිරීමට උදව් වෙයි.
- සෙම් රෝග නසයි.
- රුධිරය පිරිසිදු කරයි.
- මේ සඳහා හොඳින් සෝදාගත් ඉරමුසු මල් මද පවනේ වියලා කොත්තමල්ලි ඇට, පෙරුම්කායම් හා සූදුරු සමඟ අඹරා මී පැණියෙන් අනා ගම්මිරිස් ඇට දෙකක ප්‍රමාණයක් තැඹිලි වතුරෙන් පානය කළ යුතුයි.
- කිරිදෙන මව්වරුන්ට ගුණදෙයි.
- දියවැඩියා රෝගීන්ට හිතකරයි.
- ඉදිමුම් සහ දාහය දුරු කරයි.
- ආහාර ජීර්ණය පහසු කර බඩගින්න වඩවයි.
- ශරීරයේ දැවිල්ලට හා ඉදිමුම්වලට ගුණදායකයි.
- මේ සඳහා ඉරමුසු ඇල්දියෙන් අඹරා ආලේප කරනු ලබයි.
- ආහාර අසාත්මිකතා නිසාවෙන් ඇතිවන කැසීම්, පලුදැමීම් ආදියට ඉරමුසු මුල් කුඩුකර තේ මෙන් සකසා පානය කිරීම හා ඉරමුසු මුල් තම්බා පානය කිරීම ගුණදායකයි.
- මී විසට ඉරමුසු මුල් කෂාය, ගිතෙල් සමඟ පෙවීම ගුණදායකයි.
- ඉරමුසු මුල් තැම්බූ වතුර දද කුෂ්ඨ සුව කරයි.
- ඉරමුසු මුල් තැම්බූ ජලය පානයෙන් මුත්‍ර දැවිල්ල, මුත්‍ර පිටවීමේදී ඇතිවන වේදනාව, වරින් වර මුත්‍ර පිටවීම ආදී රෝග රැසකටම ගුණදායකයි.
- කාන්තාවන්ගේ ශරීරයේ උෂ්නත්වය සමනය කරයි.

- ඉරමුසු පානය මුත්‍රාශය ආශ්‍රිත රෝග සමනය කර, බඩවැල්වල තුවාල හා ආමාශයේ තුවාල සුව කරයි. ආහාර අරුචිය දුරු කරයි.
- ඉරමුසු නැටි, මුල්, මල් හා කොළ යන සියල්ල හොඳින්ම සෝදා කපා තම්බා උක් හකුරු සමඟ වීදුරුවක් සතියකට දෙවතාවක් පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල සුව කරයි.
- ඉරමුසු යෙදූ කසාය හා අරිෂ්ට ස්වසන ආබාධ සුව කරයි. කුඩා දරුවන්ගේ ඇඟ කැසීම සමනය කරයි. අපස්මාරයට, ඇස් රෝග රත් පිත් රෝග ආදියට ගුණදායකයි.
- හිසකෙස් වැර්ධනය කරයි.
- ඉරමුසු නැටි කුඩු කර මී පැණි සමඟ අනා ආහාරයට ගැනීමෙන් කටහඩ මිහිරි කරයි.