සුවපත් ජිවිතයක් ගත කිරීම අපි හැමෝගෙම ඒකායන බලාපොරොත්තුව වුණත් අපි හැමෝටම ලෙඩ දුක් කියන දේවල් ඇති වෙනවා. ලෙඩ රෝග නිසා ඇතිවන දුක් පීඩාවන් කොතරම් වේදනාකාරී ද යන වග ලෙඩ රෝගවලින් පීඩා විඳින ඔබ අපි හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා අපි හැමෝම නිතරම උත්සාහ කරන්නේ ලෙඩ රෝගවලින් වැළකී ඉන්නට. ඒ සඳහා අප තුළ විවිධ ලෙඩ රෝග සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබිය යුතු වෙනවා. ඒ නිසාවෙන්මයි අද අපි ඔබ සමග බොහෝ දෙනෙක් කතා බහ කරන්නට මැලි වුණත් වැඩි දෙනෙක් පීඩා විඳින වේදනාකාරි රෝගයක් ගැන කතා කරන්නට සිතුවේ.
ඒ තමයි අර්ශස් රෝගය. ලෙඩ වීම කොතරම් දුකක් ද කියන කාරණාව අර්ශස් රෝගයෙන් පීඩා විඳින අය නම් හොඳාකාරවම දන්නවා. මොකද ඒ තරම්ම පීඩාකාරී රෝගයක් මේ අර්ශස්. සෑම පුද්ගලයන් 10 දෙනකුගෙන්ම එක් අයෙකුට මේ අර්ශස් රෝගය වැළඳී ඇති බව සඳහන් වෙනවා. මේ සඳහා වයස් බේදයක් නැහැ. ඒ වගේම කාන්තා පුරුෂ භේදයකුත් නැහැ. මේ රෝගය වැළඳුණොත් හැමෝටම ඉතා දරුණු වේදනාවක් විඳින්නට සිදු වෙනවා. ඉතින් ඒ නිසා මුල් කාලීනව මේ රෝගය සුවපත් කර ගන්නට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට කැප කරන්නට සිදුවන කාරණා බොහොමයක්ම තියෙනවා ඉතින් අපි සූදානම් වෙන්නේ මේ පීඩාකාරී රෝගයට සුවයක් ලබා ගන්නට අවශ්‍ය කරුණු කාරණා බොහොමයක් ගැන ඔබට කියලා දෙන්නට.
අර්ශස් රෝගය ජානමය හේතු හැරුණාම දීර්ඝකාලීන මල බද්ධය , පනු රෝග, තරබාරුව, උෂ්ණාධික ආහාර අධිකව ගැනීම,ජලය ප්‍රමාණවත් පරිදි ලබා නොගැනීම සහ වැරදි ආහාර රටාවන් මේ රෝග ඇති කරන්නට මූලික වෙනවා.
සාමාන්‍යයෙන් අපි ගනු ලබන ආහාර ජීර්ණය කරගෙන අවසන් වුණාම ඒ මල ද්‍රව්‍ය පිට කිරීම සඳහා ගුද මාර්ගය වෙත රැගෙන යනවා. නමුත් ගුද මාර්ගයෙන් මේ ජීරණය කර ගෙන අවසන් කළ මල ද්‍රව්‍ය නිසි පරිදි පිට නොවි කාලයක් තිබීමෙන් ඒ විෂ ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා. එය ගුද මාර්ගය ආශ්‍රිත පටක වල දුර්වලතා ආදිය ඇති කරලා ඒවායේ අර්ශස් වර්ග හටගන්නට අවශ්‍ය පරිසරයක් නිර්මානය කරනවා.
ශිරාවල ගැට ගැසීම් තත්ත්වයන්, රුධිරය වහනය වීම ආදී තත්ත්වයන් මේ නිසා ඇති වෙන්නට පුළුවන්. මෙසේ ඇතිවන අර්ශස්වල විවිධ ප්‍රභේද පවතිනවා ලේ අර්ශස් සහ වියලි අර්ශස් වශයෙන්. ශිරාවල පිම්බීම් ඇතිවෙලා ඒවා ටිකෙන් ටික විශාල වීමෙන් අර්ශස් ගැට වශයෙන් ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙනවා. ඒ වගේම මේ වගේ අර්ශස් ගෙඩි ගුද මාර්ගය ඇතුළත හට ගන්නටත් පුළුවන්. මේ අර්ශස් ගැට සිදුරුවීම නිසා භයනක භගන්දරා ආදි තත්ත්වයන් පවා ඇති වෙනවා.
ඉතින් මේ රෝග තත්ත්වයන් සියල්ලම ගුද මාර්ගය ආශ්‍රිතව ඇති වෙන්න තත්වත්වයන්.ඒ හැරුණාම වඩාත් භයානකම තත්ත්වය තමයි අර්ශස් ගෙඩි ආශ්‍රිතව පිළිකා හට ගැනීම. ඉතින් මේ රෝගය සුළුවට නොගත යුත්තේ ඒ නිසා. මේ රෝග සුවකර ගැනීම් නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීම මත සහ රෝගීයාගේ කැපවීම මත තීරණය වෙන දෙයක්. මේ රෝගය බොහෝදුරට සුවකර ගන්නට සහ ඉතා හොඳින් පාලනය කර ගන්නටත් ප්‍රතිකාර හැරුණාම මේ ආහාර වර්ග ගැනීමත් ඉත වැදගත්.
ලේ අර්ශස් සඳහා

කරල් සැබ කැඳ -ලේ අර්ශස් රෝගය සඳහා කරල් හැබ ශාකයෙන් කැඳ සකස් කර පානය කිරීම ඉතාම ගුණදායකයි. ඉඟුරු කොත්තමල්ලි, සුදු ළූණු, ගම්මිරිස් ආදිය එකතු කර මේ කැඳ සාදා ගත යුතුයි. මෙය කැඳ උදෑසන හිස් බඩට සහ රාත්‍රි නින්දට විනාඩි 20 ට පෙර පානය කිරීමෙන් වඩාත් සාර්ථක ඵල ලබා ගන්නට හැකියාව තියෙනවා.
රතු ළූණු – රතු ළූණු එළගිතෙලෙන් මලවා ආහාරයට ගැනීම අර්ශස් රෝගයෙන් වැළකීමටත් එය සුවකර ගන්නටත් ඉතාම වැදගත් ඔසුවක්.
කොහිල කැද-මේ කොහිල අල කැඳ වශයෙන් හැරුණාම තම්බා ආහාරයට ගැනීම හෝ යුෂ ලබාගන්නට පුළුවන්. කුමන ආකාරයකින් ශරීරයට ලබා ගත්තේ ගුද මාර්ගය ආශ්‍රිත බොහෝ රෝග සමනයට විශාල වශයෙන් උදව් වෙන ආහාරයක් තමයි මේ කොහිල.
කොහිල අලයක් සිහින්ව කපාගෙන වංගෙඩියකට දමා එයට කපාගත් සුදුළූණු ස්වල්පයක් සහ රතු ළූණු ද එකතු කර සියුම්ව කොටා ගන්න. මෙහිදී කොහිල මූලික ඔසුව වන නිසා වැඩි වශයෙන් කොහිල ඒ සඳහා එකතු කිරීම අනිවාර්යයි.
මේ කොටාගත් මිශ්‍රණය භාජනයට දමා එයට උණු ජලය දමා මඳ වේලාවක් තම්බා ගෙන හොඳින් මිරිකා යුෂ පෙරා ගන්න. මෙය සතියකට දින 5 ක් හෝ ඊට වඩා අඩු දින ගණනක් භාවිතා කරන්නටත් පුළුවන්. රෝගය මුල් අවස්ථාවේ පවතින විටකදී නම් රෝගය නිට්ටාවටම සුවකර ගන්නට මේ අනුපානය ප්‍රයෝජනවත් වෙනවා.
අළු කෙසෙල් මුව පානය – අලු කෙසෙල් මුවේ ඝනකම පතුරු සහ මල් ඉවත් කර ගන්න. පසුව කෙසෙල් මුව ගෙඩිය සෝදා සිහින්ව කපා ගෙන එයට ජලය දමා හොඳින් බ්ලෙන්ඩර් කරගෙන පෙරා ගෙන යුෂ ටික ලබා ගන්න. පසුව එයට අවශ්‍ය පමණට ලුණු දමා එය ලිප තබා අඩු කෝප්පයක ප්‍රමාණයට උණු කර ගන්න. එය ඝනවී ගෙන එද්දි ලිපෙන් ඉවත් කරගෙන තරමක් නිවුණු පසු දෙහි යුෂ තේ හැන්දක ප්‍රමාණයක් එකතු කර පානය කරන්න. මෙය එක්වරක් පානය කිරීම ප්‍රමාණවත්. එමගින් අර්ශස් රෝගයෙන් පීඩා විදින ඔබට ඉතාම සුවයක් සහනයක් ලබා ගන්නට නිසැකයෙන්ම හැකියාව ලැබෙනවා.

එළ පිටවක්කා පානය
- පිටවක්කා සම්පූර්ණ ශාකයම මේ සඳහා ඔබට භාවිතා කරන්නට පුළුවන්. හොඳින් සෝදා පිරිසිදු කරගත් එළ පිටවක්කා පැල 3 ක් පමණ වතුර කෝප්ප එකක් දමා අඩු ගින්දරේ කෝප්ප කාලක් වන සේ තම්බා ගෙන පෙරා පානය කරන්න.
- හුලන්කීරිය කැඳ
- කුඹුක් පොතු තම්බා පානය
- සාදික්කා තම්බන ලද ජලය පානය
- අලු කෙසෙල් බඩ ව්‍යාන්ජනය
ඉතින් අර්ශස් වැළඳී ඇති රෝගීයෙකුට වගේම අර්ශස් රෝගයෙන් වැළකී සිටීමටත් මේ ආහාරපාන ඔබට ලබා ගන්නට හැකියාව තියෙනවා. ඔබ වෙනත් රෝගවලට ඖෂධ ලබා ගන්නේ නම් වෛද්‍ය නිර්දේශයක් ඇතිව මේ අත් බෙහෙත් ලබා ගන්න.
ඒ හැරුණාම මේ රෝගය නිට්ටාවටම සුවකර ගන්නට දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීම, ජීර්ණයට අපහසු ආහාර වලින් ඈත්වීම, තන්තු බහුල පෝෂදායී ආහාර වේලක් නිරන්තරයෙන්ම ලබාගැනීමත් , ප්‍රමාණවත් තරම් ජලය පානයත්, උෂ්ණාධික ආහාරවලින් සහ කෘතීම ආහාරවලින් වැළකීමත් වඩාත් වැදගත් බව සිතේ තබා ගන්න.