වයස් භේදයකින් තොරව බොහෝ පුද්ගලයින් තුළ හටගන්නා රෝගී තත්ත්වයක් ලෙස අර්ශස් රෝගය පෙන්වාදිය හැකිය. මෙම රෝගය ඇති වන්නේ ගුද මාර්ගය ආශ්‍රිතව පවතින මාංශ පේශීන්ගේ සිදුවන අධික වර්ධනය සමග වේ. මෙහිදී මාංශ අංකුර ඇතිවන අතර ඒවා අර්ශස් ලෙස හදුන්වයි.
ප්‍රවාහිනී, විසර්ජනී හා සංවරනී යනිවෙන් ගුදය ආශ්‍රිතව පවතින මාංශපේශීන් ත්‍රිත්වයකි. මේවා ගුදවලි ලෙස ද හදුන්වයි. මෙම ගුදවලි ආශ්‍රිතව ඇතිවන අංකුර අර්ශස් වේ. තුන්දොස් කෝප වීමෙන් ඇතිවන අසමතුලිතභාවය නිසාවෙන් ද මෙම රෝගය ඇති වේ. මෙම රෝගයේ ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයක් හදුනාගත හැකි ය. එනම්,
- තුන්දොස් කිපීමෙන් ඇතිවන අර්ශස් රෝගය
- ත්‍රිදෝශ එකතුවෙන් ඇතිවන සන්ධිපාදිත අර්ශස් රෝගය
- සිරුරේ රුධිරය අපිරිසිදු වීමෙන් ඇතිවන අර්ශස් රෝගය
- උපතින් ඇතිවන අර්ශස් රෝගය (පරම්පරාගත අර්ශස් රෝගය)
- මාංශ අංකුර ගුදයේ බාහිරින් දැකගත හැකි අර්ශස් රෝගය
- මාංශ අංකුර ගුදයේ අභ්‍යන්තරයේ පවතින අර්ශස් රෝගය ආදී වශයෙන් මෙම රෝගයේ ස්වරූපයන් පෙන්වාදිය හැකි ය.

ප්‍රධාන වශයෙන්ම අර්ශස් රෝගයේදී සිදුවන්නේ ගුදය ආශ්‍රිතව ඇති රුධිර නාළයක් විශාල වී ඒ ආශ්‍රිතව පවතින මාංශපේශීන් සමග ඉදිරියට නෙරා ඒම වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් ම බලපානු ලබන්නේ අග්නි මාන්දය යන තත්ත්වය වේ. අග්නිමාන්දය යනු ආහාර ගැනීමේ හා ජීර්ණය වීමේ හැකියාව අඩාල වීමයි. ඒ අනුව අර්ශස් රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ අභිමාන්දය තත්ත්වයට ප්‍රතිකාර කිරීමයි. එනම් ආහාර ජීර්ණය වඩාත් හොඳින් පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීම වේ.
- අර්ශස් රෝගය වළක්වා ගැනීම සඳහා කළ යුතු ප්‍රතිකාර රැසක් පවතී.
- උෂ්ණාධික ආහාරපාන පරිභෝජනයෙන් වැළකී සිටීම.
විශේෂයෙන් මේ රෝගය සඳහා ඉස්සො දැල්ලො කකුළුවෝ වැනි උෂ්ණාධික ආහාර පරිභෝජනය කිරීම එතරම් සුදුසු නොවේ. අර්ශස් රෝගය සඳහා තිදොස් කිපීම නිසාවෙන් ඇතිවෙන අසමතුලිතතාවය බලපාන අතර උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් එම තත්ත්වය තවත් බරපතළ වේ. මෙම උෂ්ණාධික ආහාර මඟින් ශරීරයේ පිත වැඩි කරන අතර එවැනි විරුද්ධ භෝජන අනුභව කිරීම මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපානු ලැබේ. එබැවින් මෙවැනි ආහාර පාන භෝජනයෙන් වැළකී සිටීම අතිශය වැදගත් වේ.
තවද අධික ලෙස ස්ත්‍රී සේවනය කිරීම, දණහිස් නවා ගෙන වැඩි වේලාවක් එකතැන හිඳගෙන සිටීම, අලි ඇතුන් අශ්වයන් වැනි සතුන් පිට ගමන් කිරීම, මළ මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඇති වුවත් එය දරා ඉවසා සිටීම, තද හා රලු මතුපිට පෘෂ්ඨයන් මත වැඩි වේලාවක් ඉඳගෙන සිටීම, අප ගන්නා ආහාරවල පවතින ගල් කැට, කුඩා ලී කැබලි ආදී වශයෙන් පවතින අපද්‍රව්‍ය මළ මුත්‍රා සමඟ පිට වීමේදී ඇතිවන තුවාල වීම් ආදී කරුණු කාරණා රැසක් මෙම අර්ශස් රෝගය ඇතිවීම සඳහා බලපානු ලැබේ. මෙම රෝගය වළක්වා ගැනීම සඳහා එම කරුණු කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත් වේ.
බොහෝ අර්ශස් රෝගීන්ට මලබද්ධය වැනි රෝගී තත්ත්වයන් පැවතිය හැකි අතර මල බද්ධය පවතින සෑම අයකුටම අර්ශස් රෝගය පවතී යැයි නිගමනය කිරීම වැරදි සහගත වේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මෙම රෝගී තත්වය ඇති වුවත් කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන් තුළ මෙම රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයක් පවතී. මන්දයත් රැකී රක්ෂා කටයුතු සඳහා වැඩි වශයෙන් යොමු වන්නේ පුරුෂයන් නිසාවෙන් සහ නිසි කලට නින්දක් සහ විවේකයක් නොලැබී යාම වැනි කරුණු කාරණා පුරුෂයන් තුළ තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් ඇති වීමට බලපානු ලැබේ.
අර්ශස් රෝගය වැළඳී ඇති පුද්ගලයකුට වැඩි වශයෙන් කේන්ති යනු ඇතැයි පැවසුවද එහි විද්‍යාත්මක වශයෙන් සනාථ වන කරුණු කාරණා නොමැත. එනමුත් මෙවැනි රෝගියෙකුට තම දෛනික වැඩකටයුතු නිසි පරිදි කරගෙන යාමේදී ඇතිවන අපහසුතා හේතුකොටගෙන කේන්ති යාම සිදුවිය හැකිය.
අර්ශස් රෝගය සුව කිරීමට අපහසු රෝගයක් ලෙස සැලකුවද රෝගයේ මූලික අවස්ථාවේදීම එය හඳුනා ගතහොත් මෙම රෝගය පහසුවෙන් සුව කරගත හැකිය. එනමුත් ජානමය වශයෙන් හටගන්නා අර්ශස් රෝගය සුව කිරීම එතරම් පහසු නොවේ. තවද වෛද්‍යවරයාගේ ඖෂධමය කැපවීම පමණක් නොව රෝගියා ගේ සුව කර ගැනීමේ කැපවීමද පැවතීම මෙහිදී අතිශයින් ම වැදගත් වේ.
එමෙන්ම බෙහෙත් පෙති වලට අමතරව අප ගන්නා ආහාර පාන හා නිවසේදීම සකස් කරගන්නා අත් බෙහෙත් ආදිය හරහාද මෙම රෝගය සුවපත් කරගත හැකිය.
තන්තු බහුල ආහාර පාන පරිභෝජනය මගින් මෙම රෝගය ඉතා පහසුවෙන් සුව අතට පත්කර ගත හැකිය. මන්දයත් තන්තු සහිත ආහාර අනුභව කිරීම තුළින් ආහාර ජීර්ණය හොඳින් සිදු වන අතරම මලබද්ධය වැනි රෝගී තත්ත්වයන් ද සුව අතට පත්වේ. ඒ අනුව කොහිල, වැටකොළු, පතෝල, වට්ටක්කා, පැපොල් වැනි එළවළු සහ පලතුරු මෙම රෝගය සඳහා වඩාත් යෝග්‍ය වෙයි.

මෙම රෝගය සඳහා පරිභෝජනය කිරීමට නුසුදුසු ආහාරපානද පවතී. ඒවා වන්නේ, නිවිති, කොල්ලු, බාර්ලි, එළකිරි, මුංඇට, රතුලූනු , මුදවපු කිරි, තම්බපු කඩල, ඌරුමස්, රතු පැහැ නැති සුදු පැහැයෙන් යුත් සැර නැති මාළු වර්ග, මෝල්ට්, කෝපි වැනි ආහාර පානයන් වේ.
මෙම රෝගීන් සඳහා කළහැකි ප්‍රතිකාර ක්‍රම අතර ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ අවධාහනය ප්‍රතිකාර ක්‍රමය වේ. මෙහිදී සිදුවන්නේ රෝගය සඳහා වඩාත් සුදුසු තම්බාගත් ඖෂධ කිහිපයක් බේසමකට දමා ඒ මත ඉඳගෙන සිටීමයි. අර්ශස් රෝගයේ මාංශ අංකුර පිටතට පෙනෙන්නට තිබේ නම් නුගපොතු, අට්ටක්කා පොතු, බෝපොතු, ගොරක පොතු, මාවේවැල් ආදිය එක්කොට සකස් කරගන්නා කසාය බේසමකට දමා උදේ හවස පැය භාගයක් පමණ ඒ මත ඉඳගෙන සිටීම වඩාත් සුදුසු වේ. මේ හරහා මළබද්ධය, රුධිර ගැලීම ආදිය මඟහරවා ගත හැකි ය.
රුධිර ගලන අර්ශස් රෝගය පවතීනම් ලුණුවිල කොළ ගෙන තල තෙල්වලින් මලවා අදාළ ප්‍රදේශයේ බැඳීමද සිදුකළ හැකි ය. මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් රුධිර වහනය අඩුවේ. තවද කබලේ බඳින ලද හාල්පිටි පොට්ටනියක් ලෙස සකසා එය මඳක් රත්කර මාංශ අංකුර තැවීමද සිදුකළ හැකි ය.
සේපාලිකා දළු දෙමිටක් පමණ ගෙන හොඳින් තම්බා රාත්‍රී නින්දට පෙර පානය කිරීම මගින් ද අර්ශස් රෝගයට සුවයක් ලබාගත හැකිය.
හොඳින් වියළා ගත් බෙලිගැට වල මද කුඩු කර එළඟි තෙල් සමග මිශ්‍ර කර ආහාරයට ගැනීමද යෝග්‍ය වේ.
කොහිල අල, සෙනෙහෙ කොළ සහ ගොටුකොළ කලං 1 බැගින් ගෙන වතුර පත අට එකට සිදුවා උදේ සවස කසායක් ලෙස පානය කිරීම මගින් ද මෙම රෝගය සුවපත් කරගත හැකිය.
අර්ශස් රෝගීන්ගේ රෝග ලක්ෂණ වෙත අවධානය යොමු කිරීමේදී පහත රෝග ලක්ෂණ හඳුනාගත හැකිය. ඒ අනුව රෝගය ඇති වීමට ප්‍රථමව පූර්ව ලක්ෂණ ලෙස පහත ඒවා ඇති වේ.
- උණ ඇතිවීම
- ඇඟපත වේදනාව
- දැඩි පිපාසිත බව සහ දැවිල්ල
- සිහි කල්පනාව මද බව
- මළපහ කරන විට රුධිර වහනය සිදුවීම
- ආදිය පෙන්වා දිය හැකිය. එමෙන්ම රෝග වැළඳුණු අයෙකුගෙන් පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි.
- ආහාර ගැනීමේ සහ ජීර්ණය වීමේ අපහසුතා ඇතිවීම
- මලපහ නිසි පරිදි පිට නොවීම සහ දැඩි වේදනාවක් ඇතිවීම
- මලපහ පිටවීමට පෙර හෝ පසු රුධිර වහනය වීම් සිදුවීම
ආදී වශයෙන් රෝගය වැලඳුණු අයකුගේ ලක්ෂණ හඳුනා ගත හැකිය. මෙම ලක්ෂණ අර්ශස් රෝගයේ ප්‍රභේදයෙන් ප්‍රභේදයට වෙනස් වෙයි. මෙම ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටිමින් රෝගයට ගැළපෙන ආකාරයට ආහාර පාන පරිභෝජනය කරමින් කටයුතු කිරීම අර්ශස් රෝගය ඉක්මනින් සුවකර ගැනීම සඳහා අත්‍යවශ්‍යවේ.