අක්මාව රෝගී කරන සෙංගමාල රෝග ලක්ෂණ 12 ක්

health tips

අපි නිතරම ප්‍රාර්ථනා කරන්නේ නීරෝගී ජීවිතයක්. නීරෝගිකම සෑම අයෙක්ටම ජීවිතය සතුටින් ගෙවන්නට ඕන වෙනවා. නමුත් එදාට වඩා අද අපිට ලෙඩ රෝග පිළිබඳව කතා කරන්නට සිද්ධවෙලා තියෙනවා. මොකද තරගකාරී අවිවේකී ජීවන රටාව හා වැරදි ආහාර පුරුදු නිසා කුඩා දරුවාගේ පටන් මහලු වියේ උදවියත් දවසින් දවස විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන නිසා. එදා පැරැන්නන් විවිධ රෝගවලින් වැළකෙන්නට අවට පරිසරයේ වැවෙන ඔසු පැල ආහාරයට ගත්තා. ඒවායින් ඖෂධ සකස් කරගෙන භාවිතා කළා. නමුත් අද අපි ගෙවන සංකීර්න ජීවිතය නිසා සෑමදෙයක්ම වෙනස් වෙලා. එදා අපේ ගැමි ජනතාව සෙංගමාලය කියලා ලෙඩක් පිළිබඳව දැනසිටියා. රෝග ලක්ෂණ කිහිපයක් මතුවෙද්දිම ඒ සඳහා විශේෂ වූ කැඳ වර්ග පිළියෙල කරදීලා සුවය ලැබුවා. බොහෝවිට මේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමට නොහැකිව උත්සන්න වීමෙන් බොහෝ අයට මරණය පවා හිමිවෙනවා. ඇතැම්විට දරුණු රෝග ලක්ෂණ ඇතිවීමෙන් ඇතිවන සංකූලතාවලින් අක්මාව අක්‍රීයවීමේ තත්ත්වයන් ද ඇතිවිය හැකියි.ඉතින් ඒ නිසාම අද සෙංගමාලය රෝගය පිළිබඳව දැන කියාගනිමු.

මුලින්ම මතක් කළ යුතු කාරණය තමයි බොහෝ සෙංගමාලය සහ කහ උණ යන දෙකම එක රෝගයක් විදියට සැලකීම වැරැද්දක්. කහ උණ රෝගය අප්‍රිකානු මහද්වීපයේ තියෙන රෝගයක්. මේ රෝග දෙකේදීම ශරීරය කහ පැහැයක් වන නිසා සෙංගමාලය සහ කහ උණ එක් රෝගයක් විදියට වැරදි මතයක් බොහෝදෙනා අතර පවතිනවා. 

සෙංගමාලය වැළදෙන්නේ කොහොමද  

අපි බොහෝදෙනා දන්නා සෙංගමාලය වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වන්නේ හෙපටයිටීස් A යන නමින්. මේ රෝගයේදී ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරන්නේ අක්මාවට.අක්මාවේ නිපදවෙන පිත මගින් ආහාර ජීර්ණය පහසු කරනවා. නමුත් පිත නාළ මගින් ආහාර ජීර්ණ මාර්ගයට නොපැමිණ රුධිරය හා මිශ්‍රවීමෙන් සෙංගමාල තත්ත්වය හටගනු ලබනවා. මෙවැනි තත්ත්වයන් ඇතිවෙන්නේ විවිධ විෂබීජ වර්ග නිසා අකමාව ආසාදනයට ලක්වීමෙන්.විෂබීජ වර්ග රාශියක්ම තිබුණත් අක්මාවේ ආසාදන ඇති කරන්නට හේතුවෙන්නේ හෙපටයිටීස් A,B,C,D,E යන වෛරස්  මගින්. මේ වෛරස කාණ්ඩවලට අයත් නොවන විෂබීජ මගිනුත් අක්මාව් ආසාදනය වන්නට පුළුවන්.මේ අතුරින් බහුල වශයෙන් ඇතිවෙන්නේ හෙපටයිටීස් A හෙවත් සෙංගමාල තත්ත්වය. මෙය කෙනෙක්ගෙන් තවත් අයෙකුට බෝවන නිසා බෝවන සෙංගමාලය විදියටත් හඳුන්වනවා.

සෙංගමාලය ඇති වෙන්නට බලපාන හේතු 

  • මේ සෙංගමාලය වැළදෙන්නේ  අප ගනු ලබන අපිරිසිදු ආහාරපාන මගින්. විශේෂයෙන්ම අපිරිසිදු ආහාර පාන  සහ අපිරිසිදු ජලය පානය කිරීමෙන් මේ තත්ත්වය ඇතිවෙන්නට පුළුවන් .
  • අධික ලෙස පිත කෝප කරවන ආහාර පමණ ඉක්මවා ගැනීමත් මේ සෙංගමාලය ඇතිවෙන්නට බලපානවා. 
  • ශරීරය දුර්වල අවස්ථාවල කය වෙහෙසා වැඩ කිරීම. 
  • බොහෝවේලාවක් ආහාර නොගෙන කුසගින්නේ සිටීම.
  • මත්පැන් පානය හා දුම්පානය. 
  • දුම්කොළ සමඟ බුලත් විට සැපීම සහ ඒ කෙළගිලීම. 
  • නිදි වැරීම 
  • මානසික පීඩනය. 
  • වෙනත් රෝගයන්වලට ඖෂධ ගැනීම.
  • පිළිකා, වකුගඩු රෝග ආදී තත්ත්වයන්
  • ආසාධිත පුද්ගලයෙක් විසින් පිළියෙල කළ ආහාර පරිභෝජනය.

සෙංගමාලය රෝගයේ රෝග ලක්ෂණ 

මේ රෝග තත්ත්වය සුව වෙන්නට මාස දෙකක පමණ කාලයක් හෝ මාස 6 ක කාලයක් ගත වෙන්නට පුළුවන්. ඇතැම් අයට මාස කීපයක් පුරාවටම මේ රෝග ලක්ෂණ පවතින්නට පුළුවන්. තවත් අයට මේ රෝග ලක්ෂණ නොමැතිව වුණත් මෙය තවත් අයෙකුට බෝ කරන්නට පුළුවන්.

  • කෑම අරුචිය
  • ඇස් කහ පැහැයක් ගැනීම  
  • ඔක්කාරය  
  • උණ ඇතිවීම 
  • උදරයේ වේදනාව 
  • උදාසීන බව 
  • ශරීර ශක්තිය හීනවීම 
  • හිසේ බර ගතිය 
  • දහවල් කාලයේදී පවා අධික නිදිමත ගතිය 
  • සුළු දෙයකට වුණත් දැඩි ලෙස කේන්ති යාම 
  • මුත්‍රා  කහ පැහැ වීම 
  • කටට තිත්ත රසයක් දැනීම 

සෙංගමාලය හඳුනා ගන්නා ආකාරය 

අතීතයේ ජීවත් වුණු දේශීය වෙදුන් මේ රෝගය නිශ්චය කර ගන්නට විවිධ ක්‍රම භාවිතා කරනු ලැබුවා. එයින් එකක් වන්නේ රෝගීයාගේ මුත්‍රා භාජනයකට ගෙන සුදු පැහැ කපු රෙදි කැබැල්ලක් ඒ භාජනයට දමා ටික වේලාවකින් ඉවත් කර බලද්දි රෙදි කැබැල්ල කහ පැහැ වී ඇත්නම් ඒ පුද්ගලයාට වැළදී ඇත්තේ සෙංගමාලය බවට තහවුරු කර ගන්නවා. එසේ නැත්නම් දෙහි ඇට කිහිපයක් හපන්නට දී ඒ රසය තිත්ත රසයක් නොවී පැණි රසයක් වුණේ නම් ඒ පුද්ගලයාට සෙංගමාලය වැළදී ඇති බව තීරණය කරගත්තා. නමුත් ඒ රෝග ලක්ෂණවලින් පමණක් හෝ මේ පරීක්ෂණවලින් පමණක් නිශ්චිත වශයෙන් සෙංගමාලය රෝගය හඳුනා ගන්නට අපහසුයි. බොහෝවිට ඇස්, දිව, නාසය ආදිය පරීක්ෂා කර බලා මේ රෝගය වැළදී ඇත්දැයි හෙළි කරගන්නට එදා වෙද මහතුන්ට හැකියාව ලැබුණා.

වර්තමානයේදී මේ රෝගය විනිශ්චය කර ගැනීමේදී රෝග ලක්ෂණ පිළිබඳව විමසීම, රුධිරයේ අක්මාවේ ජෙන්සයිම සාන්ද්‍රණය වැඩි වී ඇත්දැයි පරීක්ෂා කිරීම ආදිය සිදු කරනු ලබනවා.

සෙංගමාලයට ප්‍රතිකාර  

  • වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම 
  • නිවස, ඇදුම් පැලදුම්, වැසිකිලිය ආදිය ඉතා පිරිසිදුව තබා ගැනීම 
  • සෙංගමාල රෝගීන්ට ලුණු, කහ සුදුසු නොවන නිසා ඒවායින් තොරව ආහාර පාන සකසා දීම 
  • හැකිතාක් විවේකයෙන් සිටීම 
  • හොඳින් දියර ජාති පානය කිරීම
  • මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම

සෙංගමාලය රෝගයෙන් වැළකීමට 

  • සෑමවිටම උතුරවා නිවාගත් ජලය පානය කිරීම
  • ආහාර පිළියෙළ කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර වැසිකිලියාමෙන් පසුව සබන් යොදා දෑත් සේදීම.
  • නිතරම නිවසේ පිසින ලද ආහාර ගැනීම.
  • හොඳින් පිසින ලද ආහාර අනුභව කිරීම.
  • ආහාර මැස්සන්ගෙන් ආරක්ෂා කර  ගැනීම.
  • එළවලු පලතුරු හොඳින් සෝදා ආහාරයට ගැනීම.
  • මලපහ කිරීමට වැසිකිලියක් භාවිතා කිරීම.

සෙංගමාලය රෝගය අපි අපේ සනීපාරක්ෂාව නිසි ලෙස සලසා ගැනීමෙන් වගේම පිරිසිදු ආහාර පාන ගැනීමෙන් වළක්වා ගන්නට හැකි රෝගයක්. නමුත් මෙය හඳුනා නොගතහොත් මරණය වුණත් ගෙන දෙන මාරාන්තික රෝගයක් බව සිහියේ තබා ගත යුතුයි.