සුදු ළූණු ආහාරයට ගැනීමට හේතු 24 ක්

health tips

සුදු ළූණු කියන්නේ මුළුතැන්ගෙට නැතුවම බැරි මිතුරෙක්.ව්‍යංජන රසවත් කරන්නට, නොයෙකුත් ලෙඩ රෝගවලට බෙහෙත් සකසා ගැනීමේදීත් විශාල මෙහෙයක් ඉටු කරන ඖෂධයක් තමයි සුදු ළූණු. සුදු ළූණුවල ඉතිහාසය ඊජිප්තු පිරමිඩ සෑදූ අවදිය දක්වාම දිවයන බවයි සඳහන් වෙන්නේ. සුදු ළූණුවලට ආවේණික ගන්ධයක් වගේම සැර ගතියක් තියෙනවා. මේ ගන්ධය නිසා ඇතැම් අය සුදු ළූණු ආහාරයට ගන්නට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් සුදු ළූණු මී පැණිවල දමා තිබීමෙන් මේ ගන්ධය නැති කරගන්නට පුළුවන්. ඒ ගන්ධයට හේතුවෙන්නේ ඇලිසින් කියන සල්ෆර් අඩංගු රසායනික සංයෝගය.

සුදු ළූණු අල පමණක් නෙවෙයි එහි කොළ, මල්, නටු ආදී සියල්ලම ඖෂධ පිණිස භාවිතා කරනු ලබනවා. සුදු ළූණු දිනපතාම ආහාරයට ගැනීමෙන් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නට ඔබට හැකියාව ලැබෙනවා. මොකද ඖෂධ වශයෙන් සුදු ළූණු සතු ගුණාංග ඉතා ඉහළ නිසාවෙන්. දෙවන ලෝක යුධ සමයේදී සොල්දාදුවන්ගේ තුවාල සුව කරන්නටත් ආලේපයක් විදියට සුදුළූණු භාවිතයට ගත් බව සඳහන්. ඒ නිසාම ආයුර්වේදයේදීත් ආහාර පිසීමේදීත් නැතුවම බැරි කුළු බඩුවක් වගේම ඖෂධයක් තමයි සුදු ළූනු කියන්නේ.ආයුර්වේදයට අනුව උෂ්ණ ගුණ, රළු ගුණ ඇති සුදු ළූණු පමණ ඉක්මවා ආහාරයට ගැනීමෙන් ඉතා අහිතකර ප්‍රතිඵල පවා අත්කර දෙනවා. ආයුර්වේදයට අනුව ලුණු රස හැර අනෙකුත් සියල්ලම සුදු ළූණුවල අන්තර්ගත වන බව සඳහන්.

සුදු ළූණු අපේ ආහාරයට එකතු කර ගන්නට හැකි ආකාර කිහිපයක්ම පවතිනවා. සාමාන්‍යයෙන් අපි සෑම ව්‍යංජනයක් පිළියෙළ කිරීමේදී වගේම කොළ මැල්ලුම්වලට කැඳ වර්ගවලටත් අනිවාර්යයයෙන්ම සුදු ළූණු බික් 2-3 ක් එකතු කරනවා. ඒ හැරුණාම සුදු ළූණු අපේ ආහාරවේලට රසවත්ව එකතු කරගන්නට ක්‍රම කිහිපයක්ම පවතිනවා. මස් මාළු පිසීමේදී එහි අඩංගු වන අහිතකර කොලෙස්ටරෝල් විනාශ  කිරීමට මස් මාළු පිසීමේදී සුදු ළූණු එකතු කර ගැනීම වැදගත්.

ඒ වගේම සුදු ළූණු සුවඳකාරකයක් ලෙසටත් භාවිතා  වෙන නිසා දුන් තෙල් බත් ආදිය සකස් කිරීමේදී සුදු ළූණු භාවිතා කරනවා. ඒ හැරුණාම සුදු ළූණු ව්‍යංජනයක් ලෙස පිළියෙල කර ආහාරයට එකතු කරගනු ලබනවා.

සුදු ළූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ 

  • ආතර්යිටීස් රෝගීන්ට ගුණදෙයි.
  • හෘදයේ ක්‍රියාකාරිත්වය සමතුලිතව පවත්වාගෙන යාමට උපකාරී වෙයි.
  • රුධිර නාල පුළුල් කරයි.
  • රුධිරයේ ඇතිවන කුඩා රුධිර කැටි දියකරයි.
  • දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම එක මට්ටමකට පවත්වාගෙන යන්නට උපකාරී වෙයි. සුදු ලූණුවලින් අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝර්මෝන වැඩිපුර ශ්‍රාවය කිරීම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා.
  • සුදු ළූණුවල අඩංගු ඇන්ටි ඔක්සයිඩ් සහ ඇන්ටි ඉන්ෆ්ලැමටි උපකාරීවීමෙන් අස්ථි ආශ්‍රිතව ඇතිවන වේදනාව සමනය කරයි.
  • මී පැණිවල දැමූ සුදු ළූණු අනුභවයෙන් තරුණ බව රැකදෙයි.
  • ආතතිය අඩු කරයි.
  • දිනකට සුදු ළූණු බික් 4 ක් ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් පාලනය කරගන්නට පුළුවන්.
  • අධි රුධිර පීඩනය පාලනය කරයි.
  • සුදු ළූණුවල අන්තර්ගත විටමින් C සහ B6 ලෝහ සහ අනෙකුත් විටමින් වර්ග නිසා ලෙඩරෝගවලින් ආරක්ෂා වීමට ඕන කරන ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
  • සෙම්ප්‍රතිෂ්‍යාවට සහ කැස්ස සමනය කරයි.
  • පණුකැවිල්ල ආදී දිලීර රෝග නසයි.
  • අසාත්මිකතාවලට එරෙහිව සටන් කරයි.
  • ආහාර අරුචියට සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවූ විට සුදු ළූණු තම්බා බීම වගේම පුළුස්සා ආහාරයට ගනියි.
  • බඩ පුරවා දැමීමට සුවගෙන දෙයි. සුදු ළූණු ආමාශය පහළ මහ බඩවැල ආශ්‍රයේ ක්‍රියා කිරීම නිසා බඩ පුරවා දැමීමෙන් ඇතිවන වේදනාවන් සමනය කරයි. මළ හොඳින් පිට කිරීමට උපකාරී වෙයි.
  • බැක්ටීරියාවලට එරෙහිව සටන් කරයි.
  • ආහාර ජීර්ණයට උදව් කරයි.
  • මුඛය ආශ්‍රිත ආසාදන සුව කරයි.
  • පටකවල ඉදිමුම් සඳහා ගුණදායකයි.
  • ලිංගික බෙලහීනතාවය නැති කර ලිංගික ශක්තිය වඩවයි. පිරිමි වඳභාවයට ප්‍රධාන හේතුවක් වන ශුක්‍රාණුවල තත්ත්වය වැඩි දියුණු කර වැඩිපුර ශුක්‍රාණු නිපදවා වඳභාවය දුරලයි.
  • බහිශ්‍රාවීය පද්ධතිය හා පෙනහළු ආශ්‍රිත පිළිකා හා ගුද මාර්ගයේ පිළිකා  ඇතිවීමේ අවදානම අඩු කරයි.
  • ගර්භාෂයේ පිළිකා සහ පියයුරු පිළිකා නසයි.
  • ඇල්ෂයිමර් – ඩිමෙන්ෂියා වැනි මතකය අහිමි කරන රෝග වළක්වයි.
  • අක්මා රෝග නසයි.
  • සුදු ළූනුවල මැග්නීසියම් හා කැල්සියම් සාපේක්ෂව වැඩි නිසා මාංශපේශී හා අස්ථි වර්ධනයට ඉතා සුදුසුයි.
  • උගුර වණවීම් සුව කරයි. 
  • පිළිකා සෛල වර්ධනය වන වේගය අඩු කරයි.

සුදු ළූණුවලින් අත්බෙහෙත් 

  • සුදු ළූණු තලා සාදාගත් පල්පය ඉදිමුම් සහ වේදනාවට භාවිතා කරයි. තරබාරුව මට්ටු කිරීමට ඉඟුරු තේ හැදි භාගයක් දෙහි යුෂ තේ හැදි භාගයක් සමඟ සුදු ළූනු බිකක් ආහාරයට ගනු ලබයි.
  • සුදු ළූනු බික් කිහිපයක් තම්බා ඒ වතුරට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා බීමෙන් ආහාර රුචිය වැඩි වෙයි.සුදු ළූනු බික් කිහිපයක් එළකිරි වීදුරුවක් සමඟ පෙරා උණුසුම්ව පානය කිරීම සුදුසුයි. නැත්නම් වියළි ඉඟුරු හා සුදු ළූනු තම්බා පානය කිරීම හුස්ම ගැනීමේ අපහසුතාවය මග  හරියි.
  • අබ තෙල්වලට සුදු ළූනු පොඩිකර රත්කර ආලේප කිරීමෙන් සන්ධි වේදනාව නසයි.
  • තනිකරම සුදු ළුනු හෝ ඉඟුරු කොත්තමල්ලි සුදු ළූනු මිශ්‍රණය තම්බා කීප වරක් උණුසුමෙන් පානය කිරීම.
  • තද හිසරදයට සුදු ළූනු විනාකිරි ස්වල්පයක් දමා අඹරා කපු රෙදි පටියක ආලේප කර අනෙක් පැත්ත නළල මත ඇලවීම සුදුසුයි.
  • උගුරේ වේදනාවට සුදු ළූණු තැම්බූ වතුරෙන් උගුර සේදීම හා ඒ වතුර උණුසුමෙන් පානය කිරීම.
  • කුෂ්ඨ රෝග සඳහා සුදු ළූණු ආලේපනයන් භාවිතා කරයි.

සුදු ළූණූ ආහාරයට ගැනීමේදී මේ ගැනත් සැලකිලිමත් වෙන්න

  • සුදු ළූණු අමුවෙන් ආහාරට ගන්න එපා. එය තම්බා හෝ පුළුස්සා ආහාරට ගැනීමට වග බලා ගත යුතුයි.
  • සුදු ළූණු ආහාරයට ගත් විගස ජලය පානය නොකරන්න.
  • තද අව්වේ සිටියදී සුදු ළූණු ආහාරයට ගන්න එපා.
  • සුදු ළූණුවල නිසි ගුණය ලබා ගන්නට නම් උක් හකුරු සීනි ආදිය භාවිතා නොකරන්න.
  • සුදු ළූනු කළු පොල හෝ හොද්ද දිනපතා ආහාරයට ගැනීම අගුණයි.
  • සුදු ළූනු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් උදරයේ දැවිල්ල සහ බඩ පුරවා දැමීම ඇතිවෙනවා.
  • දීර්ඝකාලීනව රෝගයකින් පීඩා විදින්නේ නම් වෛද්‍ය උපදෙස් මත සුදු ළූනු ගත යුතුයි.