මලපහවල වර්ණය අනුව ඔබේ සෞඛ්‍යය ගැන කියවෙන කරුණු 5 ක්

health tips

අද වන විට  බොහෝ පිරිසක් “සෞඛ්‍යය” යනු වැදගත් කාරණාවක් බව අවබෝධ කරගනිමින් සිටිනවා.  නමුත්, අවධානය කියන්නේ බොහෝ විට මගහැරෙන දෙයක්. ඔබේ සිරුර මඟින් ඔබට පෙන්නුම් කරන ඇතැම් වැදගත් ඉඟි පවා එසේ ඔබේ අවධානයෙන් ගිලිහී තිබෙන්නට පුළුවන්. මලපහ කියන්නේත් අන්න ඒ ආකාරයේ ඔබේ අවධානයට ලක්නොවන දෙයක්. නමුත්, ඔබ දැනසිටියාද ඔබ පිට කරන මලපහ වල වර්ණය සහා හැඩයන් අනුව ඔබේ සෞඛ්‍යය සම්බන්ධ වැදගත් කරුණු බොහෝමයක් හෙලිකරගත හැකිබව?

මලපහ වල වර්ණය

දුඹුරු වර්ණයෙන් මලපහ පිටවීම සාමාන්‍යය තත්වය ලෙසයි හඳුනා ගැනෙන්නේ. ඇත්තෙන්ම,මලපහ වල වර්ණය ඔබ ලබාගන්නා ආහාර අනුවත් වෙනස් වෙනවා. නමුත්,එක් වරම කිසිඳු පැහැදිලි හේතුවක් නොමැතිව මලපහ වල වර්ණය වෙනස් වීම ඔබේ යම් සෞඛ්‍යය ගැටලුවක් ගැන අනතුරු ඇඟවීමක් වියහැකියි. එසේ  සිදුවිය හැකි හේතු මොනවාද කියා දැන් අපි බලමු.

සුදු වර්ණය සුදු ,අළු හෝ කිරිමැටි වල පැහැයට සමාන වර්ණයකින් මලපහ වීම මඟින් ප්‍රමාණවත් ලෙස පිත නිෂ්පාදනයේ නොවීම පෙන්නුම් කරයි. බොහෝ දුරට මෙම වර්ණය, පිත නිෂ්පාදනය කරමින් ගබඩා කරනු ලබන අක්මාවේ සහා පිත්තාශයේ පවතින ගැටලු පිළිබඳව පෙන්නුම් කරන ලක්ෂණයක් සේ සැලකිය හැකියි. එය “පිත්ත නාලයන් අවහිර වීම,පිත්තාශයේ ගල් හෙවත් පිත්තාශ්ම හටගෙන තිබීම හෝ අක්මාවේ හටගන්නා සිරෝසිස් ”  වැනි රෝගයක් ඔබට වැළඳී ඇතැයි යන්නට සංඥා කිරීමක් වෙන්නටත් පුලුවන්. දුඹුරු පැහැති මලපහ සමඟ සුදු පැහැති ශ්ලේෂ්ම පිටවීම “Crohn’s disease” හෙවත් අන්ත්‍ර ප්‍රදාහයේ රෝග ලක්ෂණයක් වියහැකිය.

කොළ වර්ණය හරිතප්‍රද අඩංගු කොළ පැහැ එළවළු ,පලා වර්ග (නිවිති ),කොළ වර්ණකාරක යෙදූ පැණි බීම වර්ග පරිභෝජනය කිරීම සහා ආහාර වල අඩංගු යකඩ පෝෂක නිසා මලපහ කොළ පැහැයක් ගැනීම සිදුවිය හැකියි.කෑම නිසා එසේ වූවා විය නොහැකියි කියා ඔබට සිතෙනවානම් මලපහ කොළ පැහැයට හැරීමට තවත් හේතුවක් හිබෙනවා. ඒ තමයි ඔබ ගත් ආහාර  ඔබේ ජීරණ පද්ධතියේ බෝහෝ වේලාවක් නො‍රැඳි ඉක්මණින් මලපහ ලෙස පිටවීමයි. එතරම් කාලයක් ආමාශයේ නො‍රැඳුනු නිසා ආහාර පිත සමඟ මිශ්‍ර නොවීම ඊට හේතුව විය හැකියි.

කහ වර්ණය දුර්ගන්ධයෙන් අධික කහ වර්ණයෙන් යුත් මලපහ හෙලිකරන්නේ ඔබේ පිත්ත නාල අවහිරවී තිබෙන බව සහා සිරුරේ මේද උරාගැනීම දුර්වල බව පිළිබඳව වියහැකියි. අධික ලෙස මේද පරිභෝජනය නිසා මේ තත්වය ඇතිවිය හැකියි. තවත් හේතුවක් තමයි, අග්න්‍යාශය මඟින් නිෂ්පාදනය කරනු ලබන එන්සයිම හිඟවීම.  එමඟින් “නිදන්ගත අග්න්‍යාශදාහය, ජීර්ණ පද්ධතිය ආශ්‍රිත celiac disease තත්වය (ප්‍රමාණවත් ලෙස සිරුරට පෝෂක උරාගැනීම සිදුනොවන රෝගයකි) සහා නිදන්ගත රෝගයක් වන ඔබේ ජීර්ණ පද්ධතියේ සහා පෙණහළු වල ආසාදන ඇතිකරවන cystic fibrosis” රෝගී තත්ව ඇතිවී තිබෙන බව ඔබට සංඥා කරනවා විය හැකියි. නමුත්, කලබල වෙන්න එපා!  කහ පැහැති මලපහ පිටවීමට අධික ලෙස කැරට් ආහාරයට ගැනීම හෝ කහ පැහැති බීම වර්ග ගොඩක් පානයකර තිබීමත් හේතුවක් වී තිබිය හැකියි.

කලු වර්ණය “ඇස්ප්‍රින්”, “ඉබුප්‍රොෆේන්” වැනි ඖෂධ සහා යකඩ පෝෂක භාවිතාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස කලු පැහැති මල පිටවිය හැකියි. ඒ වගේම බඩවැල් වලින් රුධිර වහනයක් සිදුවී තිබීම නිසාත් එසේ විය හැකියි. දෙවෙනියට කියූ මේ කාරණාව සම්බන්ධයෙන් අනිවාරයෙන්ම ඔබ වෛද්‍යය උපදෙස් වෙත යොමුවීම වැදගත් වේ. බොහෝ විට කලු වර්ණයට හේතුව වන්නේ ආහාරයි. බ්ලූබෙරි ,වැල්මී වැනි කලු සහා නිල් ආහාර වර්ග අනුභව කිරීම නිසා මල කලු වර්ණයට හැරී තිබිය හැකියි.

රතු වර්ණය මේ වර්ණයෙන් මල පිටවීමට හේතු කාරණාව වන්නේත් බොහෝ විට ආහාරයි : බීට් රූට්, රතු වර්ණකාරක යෙදු බීම, තක්කාලි… ආදී ආහාර වර්ග නිසා එසේ සිදුවීම සාමාන්‍යයයි.

ආහාර නිසා විය නොහැකි කියා ඔබට සිතෙනවානම් වහාම වෛද්‍යයවරයා හමුවෙන්න. මල සමඟ රුධිරය පිටවීම නම් යම් රෝගී තත්වයක් ගැන අනතුරු හැඟවීමේ සංඥාවක් වියහැකියි. එසේ රුධිරය පිටවන්නේ “ගුදයේ තුවාලයක් නිසා හෝ පීඩාකාරී රෝග තත්ව වන අර්ශස්, ව්‍රණමය පුරිතන්දාහය (Ulcerative colitis) හෝ පිළිකා තත්වයක්” නිසා  විය හැකියි.