හර්නියා රෝගය හැදීගෙන එන විට කල්තියා දැනගන්න ක්‍රම 8 ක්

health tips

අන්තර් වෘද්ධි රෝගය හෙවත් හර්නියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අද වෙද්දි ඉතා බහුලයි. කාන්තා පුරුෂ භේදයකින් තොරව වගේම වයස් භේදයකින් තොරවත් වැළදෙන්නට හැකි රෝගී තත්ත්වයක් තමයි හර්නියා. ඇතැම්විට මේ රෝගය එතරම් ගණන් නොගෙන සිටීම බඩවැල් නරක් වීමට වගේම ඇතැම්විට පුපුරා යාමටත් අධික වේදනාවක් ඇතිවී අවසානයේ හර්නියාව සහිත කොටසට ලේ ගමනය නැවතීමෙන් මරණය පවා අත් කරදෙන්නට තරම් බරපතල වෙනවා. වැඩිහිටි අයට වගේම දරුවන්ට පවා ඇතිවිය හැකි මේ රෝගී තත්ත්වය තරබාරු අයට වැඩි අවදානමක් ගෙන දෙනවා. මේ රෝගය සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේ සිදු කරන ශල්‍ය කර්මයෙන් පසුව ඇතැම්විට නැවතත් හර්නියා තත්ත්වයන් වර්ධනය වෙන්නට පුළුවන්. ඉතින් අද සමාජයේ බහුලවම පීඩා විදින හර්නියා ගැනයි මේ කතා කරන්නට යන්නේ.

හර්නියාවලදී උදරය ආශ්‍රිත යම්කිසි ප්‍රදේශයක බැහැරින් ආවරනය කර ඇති ස්ථරවල දුර්වලතා හේතුවෙන් එතුළින් ශරීර අභ්‍යන්තර කොටස් එළියට පැමිණීම සිදුවෙනවා. උදර බිත්තිය නිර්මාණයේදී ඒ අවට ඇතැම් ප්‍රදේශ ස්වාභාවිකවම දුර්වල ලෙස පිහිටන්නට පුළුවන්. එහිදී ඒ ස්ථානවල සම වඩාත් තුනීවීමෙන් කුස තුළ බඩවැල් ආදියෙන් ඇතිවන පීඩනය වළක්වා ගන්නට නොහැකි වුණාම බඩවැල් පොකුරක් විදියට පෙකණිය ඉකිලිය වගේ සියුම් තැන්වලින් ඉදිරියට නෙරා ඒමට කරන උත්සාහය හර්නියාවක් ලෙසට හඳුනා ගනු ලබනවා.

මේ හර්නියා තත්ත්වය උදරයේ ,යටිබඩේ , ඉකිලියේ, නාභියේ ආදියේ ඇතිවෙන්නට පුළුවන්. එයට අමතරව පපු කුහරය , කොඳු නාරටිය සහ මොළය ආශ්‍රිතව වුණත් ඇතිවෙන්නට පුළුවන්.බොහෝවිට සැත්කම් සිදුකරන අතර පෙකණිය ආශ්‍රිත හර්නියා සඳහා බොහෝවිට සැත්කම් අශ්‍යය වෙන්නේ නැහැ. බොහෝවිට පිරිමින්ගේ අණ්ඩකෝෂ ආශ්‍රිත ප්‍රදේශවල හර්නියා ඇති වෙනවා. ඇතැම් පිරිමින්ගේ අභ්‍යන්තර ඇති අන්ත්‍ර කොටස් හිරවීම නිසා අණ්ඩ කෝෂ ඉදිමී රුධිරය සැපයීම අඩාල වී බඩවැල්වල ඇතැම් කොටස් පවා දුර්වල වෙන්නට පුළුවන්.

සිටගෙන සිටිද්දී මේ නෙරීම මතුවුණත් හාන්සිවන විට මෙය ගිලී යනවා.නමුත් කාලයක් ගතවෙද්දි මෙය විශාල වී පිටතට නෙරා ඒම හෝ ඇතුළට යාම සිදු වෙනවා.විශේෂයෙන්ම තටමන විට, කහින විට හෝ උදරයේ පීඩනය වැඩි වෙද්දී මේ නෙරීම පැහැදිලිව දකින්නට පුළුවන්.

හර්නියා වර්ග 

  • ඉකිළි ප්‍රදේශය ආශ්‍රිත හර්නියා – මේ වර්ගය බහුලව පවතිනවා.
  • නාභිය ආශ්‍රිත හර්නියා – මෙය කාන්තාවන් සහ කුඩා දරුවන් අතර බහුලයි. 
  • උදර බිත්තිය හරහා පිටතට නෙරා එන හර්නියා –  මේ තත්ත්වය පිටතට නෙරා එන හර්නියාවලට සාපේක්ෂව සුලබ නොවන වර්ගයක්.
  • ශල්‍ය කර්ම ආශ්‍රිතව ඇතිවන හර්නියා – මෙය සැත්කම් මගින්ම නැවත යථා තත්ත්වයට පත්කළ යුතු වෙනවා.
  • ප්‍රාචීරය ආශ්‍රිතව ඇතිවන හර්නියා – ප්‍රාචීරයේ දුර්වලතා නිසා හෝ උපතේදී ඇතිවන සංකූලතා නිසා ආමාශයේ කොටසක් පපු කුහරයට නෙරා ඒම මේ තත්ත්වයේදී සිදුවෙනවා.

හර්නියා ඇති වෙන්නට බලපාන හේතු 

  • වයස්ගත වීම
  • දිගුකාලීන රෝගී බව
  • උපතේ සිට පවතින දුර්වලතා
  • මෙහිදී ඇතැම් අයගේ ඉකිලිය සහ පෙකණිය අවට ඇතුළත බිත්ති උපතින්ම දුර්වලව පිහිටනවා. ඇතැම් පිරිමි දරුවන් මව් කුස තුළ සිටියදී ඔවුන්ගේ වෘෂණ කෝෂ පහළට එනවිට ඇතිවන අසාමාන්‍යතා නිසා ඒ දරුවන්ට උපතේදීම මේ හර්නියා තත්ත්වය ඇති වෙන්නට පුළුවන්.
  • ශල්‍යය කර්ම හෝ අනතුරු 
  • මල බද්ධය දිගුකාලීනව පැවතීම 
  • දීර්ඝකාලීනව පවතින කැස්ස 
  • අධික තරබාරුව 
  • මුත්‍රා  කිරීමේදී හා මලපහ කිරීමේදී තැටමීම 
  • අවදානම් සහිත දරු උපත් 
  • අධික ලෙස බර ඉසිලීම 
  • වැරදි ලෙස කරනු ලබන ව්‍යායාම් 
  • දිගුකාලීනව ඇතිවන දියවැඩියාව 
  • ගර්භණීභාවයන් 4-5 ට වඩා වැඩිවීම 
  • දරු ප්‍රසූතියකදී උදරයේ සිදු කරන කැපුමකින් පසුව ඒ ස්ථානයේ උදරයේ බිත්තිය දුර්වලවීම
  • දරු ප්‍රසූතියෙන් පසුව කාන්තාවන් උදර බිත්තියේ ආතතිය පාලනය කර නොගැනීම 

රෝග ලක්ෂණ 

  • හර්නියා ඇති ස්ථානය ආශ්‍රිතව මදක් ඉහළට එසවීම හෝ ඉදිමීම් තත්ත්වයක් 
  • බර ඉසිලීමේදී හා දිගු වේලාවක් සිටගෙන සිටීමේදී ඇතිවන තදබල වේදනාව
  • තදබල උණ 
  • වමනය 
  • බඩේ දැවිල්ල 
  • පුරුෂයන්ගේ වෘෂණ කෝෂ විශාල වීම 
  • ස්ත්‍රීන්ගේ ලිංගේන්ද්‍රිය විශාලවීම හා දැඩි වේදනාව 
  • කුඩා දරුවන්ගේ පෙකණිය ගෙඩියක් මෙන් ඉලිප්පී වේදනා ගෙනදීම 

හර්නියා රෝගය නිසා ඇතිවන සංකූලතා 

  • අධික වේදනාව 
  • අභ්‍යන්තර පටක හර්නියා තුළ සිරවීමෙන් ඒ කොටස්වලට රුධිරය ගමනාගමනය අඩුවීමෙන් පටක මියයාම. 
  • පිරිමි පාර්ශවයේ හර්නියා වෘෂන කෝෂ තුළට යාමෙන් ඇතිවන අපහසුතාවය 
  • ආහාර මාර්ගයේ ඇතිවන අවහිරතා නිසා අප ගන්නා ආහාර නැවත පැමිණීම ඒ නිසා වමනය, මළපහ ප්‍රමාණය අඩුවීම ආදිය තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. 

හර්නිය රෝගයෙන් වැළකීම සඳහා 

  • බර ඉසිලීමේදී නිවැරදි තාක්ෂණය භාවිතා කිරීම 
  • ඉසිලීමට අපහසු බර ඉසිලීමෙන් වැළකීම 
  • මල බද්ධය ඇති නොවන්නට ආහාර පුරුදු ඇති කර ගැනීම. විශේෂයෙන්ම තන්තු සහිත ආහාර ලබා ගැනීම. 
  • හොඳින් ජලය පානය කිරීම 
  • දිගුකාලීන කැස්සට හේතුවන සිගරට් ගැනීම නවතා දැමීම. විශේෂයෙන්ම සති තුන හතරකට වඩා පවතින අධික කැස්ස සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම.
  • දරු ප්‍රසූතියෙන් පසුව උදරය ආශ්‍රිත මාංශපේශී ශක්තිමත් කිරීමේ ව්‍යායාම්වල නිරත වීම 
  • උසට සරිලන ලෙස බර පවත්වා ගැනීම