අපිට ලෝකය දකින්නට හැකියාව ලැබී තියෙන්නේ අපේ ඇස් දෙක නිසා. ඇස් දෙක අපිට මොනතරම් වටිනවද කියලා මා ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මේ වටිනාකම නිසාම තමයි අපි අපේ ජීවිතයේ වැදගත්ම වටිනාම දේවල් පවා ඇස් දෙක වගේ රැක ගන්න කියන්නෙත්. නමුත් වැඩි වශයෙන් තාක්ෂණික මෙවලම් අපේ ජීවිතය සමඟ බද්ධ වී ඇති නිසා අපේ ඇස්වල සෞඛ්‍යයට යම් තර්ජනය එමගින් එල්ල වෙමින් තියෙනවා. අපි හැමෝටම නැතුවම බැරි ස්මාට් ෆෝන් එක වගේම පරිගණකයත් අද වෙද්දි දරුවන් අතරත් සුලබ දසුනක් බවට පත්වෙලා.
කොරෝනා වසංගත තත්ත්වයත් තමන්ගේ රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේත් ඉගෙනීම, ඉගැන්වීම, බඩු විකිණීම, භාණ්ඩ අලෙවිය, මිතුරන් හමුවීම, රැකියා කටයුතු ආදී මෙකී නොකී සෑම දෙයක්ම වගේ අපි සිදු කරන්නේ online. මෙන්න මේ නිසාම අපි දවසේ වැඩි කාලයක් දුරකථනය සහ පරිගණකය සමඟ ගැටෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට පාසල් යන වයසේ දරුවන්ටත් තරුණ වයසේ පසුවන අයටත් විවිධ අක්ෂි රෝග ඇතිවීමේ අවදානම වැඩි වෙලා තියෙනවා.
වැඩිවේලාවක් මේ ඩිජිටල් තිරයන් දෙස බලා සිටිද්දි ඇසිපිය ගැසීමේ වාර ගණන් නොදැනීම අඩු වෙල යනවා. සාමාන්‍ය පුද්ගලයෙක් මිනිත්තුවකට ඇසිපිය වාර 20 හෙළුවත් ඩිජිටල් තිරයක් දෙස බලාගෙන වැඩ කරන අයෙකුගේ මිනිත්තුවකට වාර 4-5 ක් දක්වා ඇසිපිය ගැසීම අඩුවන බව සමීක්ශණවලින් සොයාගෙන තියෙනවා.
ඇසිපිය ගැසීම මගින් ඇස පිසදැමෙන අතර එමගින් ඇසේ මතුපිට ස්ථරය තෙත ස්වභාවයට පවතිනවා. එමගින් අපිට හොඳින් යමක් දැක ගන්නට හැකියාව ලැබෙනවා. කදුළුවල ඇති විශේෂිත රසායනික සංඝටකය නිසා ඇසට විශබීජයක් ඇතුළු වුණාට පස්සේ එයින් ඇසට විය හැකි හානිය අවම කරනු ලබනවා. ඇසපිය ගසන වාර ගණන් අඩුවුණොත් මතුපිට ස්ථරය වියළි වී කදුළු අඩු වී බාහිරින් ඇතිවෙන්නට හැකි විශබීජ නිසා ඇසට සිදුවිය හැකි හානිය අධික වෙනවා.
ඒ විතරක් නෙවෙයි හිසරදය, ඇස්වල වේදනාව, විටින් විට ඇස් කෙවෙන්නට පටන් ගැනීම,ඇස් පෙනීම අඩු වී යාම වගේ ගැටළු බොහොමයක්ම ඇති වෙනවා. මේ තත්ත්වයන්ගෙන් මිදී ඇසට හානි ඇතිවීම අවම කර ගන්නට පරිගණකය සහ දුරකථනය භාවිතයේ දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක්ම පවතිනවා.

- ඇසේ වියළීම අඩුකර ගැනීම සඳහා සම්පූර්ණයෙන් ඇස් විවර නොකර ඩිජිටල් තිරයක් ඉදිරිපස වැඩ කටයුතු කිරීම. ඩිජිටල් තිරයන් දෙස බලා සිටීමේදී සම්පූර්ණ ඇස විවර නොකර ඇස පහළට ඇහි පිහාටුව සිටින සේ එනම් ඇසේ විවරයේ ප්‍රමාණය අවම වන ආකාරයට පරිගණකයේ තිරය පහළට කර තබා ගන්නට පුළුවන්.
- සෑම විනාඩි 20 ට වරක්ම ඩිජිටල් තිරයෙන් ඇස් ඉවතට ගෙන ඈත ඇති වස්තුවක් දෙස තත්පර 20 ක් ඇසිපිය ගසමින් බලා සිටීම.
- විදුලි පංකාව ඔබගෙන් දුරස්ව තබා ගැනීමත් එහි වේගය අඩුකර තබා ගැනීම. එමගින් ඇස් වියළි බවට පත්වීම අඩු කරනවා.
- AC කාමරයක වැඩ කරන විට මේසය අසල මාළු ටැංකියක් හෝ ජල බදුනක් තබා ගැනීම.
- ඇසේ සිට අගල් 12 ක් එනම් සෙන්ටිමීටර 30 ක් දුරින් දුරකථනය තබා ගැනීම.
- වැඩ කරන අතරේ ලෙමන් යුෂ බින්දු කිහිපයක් එකතු කළ ජලය නිතර පානය කිරීම.
- ඇස් වටා මාංශපේශී රවුමට සෙමෙන් සම්බාහනය කිරීම.
- පරිගණකය සෙන්ටිමීටර් 50 ක් තරම් දුර ප්‍රමාණයක් ඇස් මට්ටමට වඩා පහළින් තබා ගැනීම.
- අහිතකර කිරණවලින් ආරක්ෂාවීම සඳහා කණ්නාඩි භාවිතා කිරීම.
- පාවහන් ඉවත් කර දෙපා පොළවට ස්පර්ශ වන සේ තබාගෙන වැඩ කිරීම.
මේ කරුණු ඇස් සම්බන්ධ ගැටළු මගහරවා ගන්නට බෙහෙවින් උපකාරී වෙනවා. ඒ හැරුණාම අක්ෂි ගැටළුවලට ඉතා සුදුසු ඔසු ඇස් සේදීම සඳහා භාවිතා කරන්නට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඩිජිටල් තිරයන් දෙස බොහෝවෙලාවක් බලා සිටීම නිසා ඇතිවන දෝෂ මගහරවා ගන්නට හෙළ වෙදකමේ අන්තර්ගත සරල ඔසු දියරයක් අපට භාවිතා කරන්නට පුළුවන්. මෙය සකසා ගැනීම එතරම් අහසු කාරණයක් නෙවෙයි. නිවසේදීම ඉතා පහසුවෙන් සහ ගෙන භාවිතා කරන්නට හැකි මේ ඔසු දියරය මගින් ඇස්වල නීරෝගි බව ඇති කරනවා.
අවශ්‍ය ද්‍රව්‍ය

- වදමල් කිහිපයක්
- දොඹ දළු ටිකක්
- රත් මල් කිහිපයක්
- සියඹලා කොළ කිහිපයක්
- ලොත් සුබුලු කැබලි කිහිපයක්
පිරිසිදු මැටි භාජනයකට මේ ද්‍රව්‍යයන් සියල්ලම දමා හොඳින් තම්බා ගන්න. ඉන්පසුව තරමක් නිවෙන්නට හැර මද රස්නය තිබියදි ඇස් වටා තවරන්න. ඒ වතුරෙන්ම ඇස් සෝදා හරින්න.
ඉතින් ඔබේ ඇස් දෙක දිවි ඇති තෙක් ලෝකය දකින්නට පරෙස්සම් කර ගන්නට මේ කරුණු කාරණ ඔබත් අනුගමනය කිරීම වැදගත්.