නීරෝගී ජීවිතයක් උදෙසා නිරන්තරයෙන් වෙහෙස වන අපිට බොහෝ රෝග ඖෂධ ගැනීමෙන් තොරව පාලනය කරගන්නට වගේම සුවකර ගන්නටත් හැකියාව ලැබෙනවා. ඉතින් අධි රුධිර පීඩනය කියන තත්ත්වය පිළිබඳව අද අපි වැඩි වශයෙන් කතා කරනවා. මොකද මේ අධි රුධිර පීඩනය කියන තත්ත්වය රෝග බොහොමයක් ඇතිවෙන්නට මූලික් වන නිසාවෙන් වගේම එහි භයානක තත්ත්වය නිසාවෙන්. ඉතින් රුධිර පීඩනය අඩුකර ගන්නට අපි බොහෝවිට වෛද්‍ය නිර්දේශය සහිතව හෝ රහිතව විවිධ ඖෂධ වර්ග භාවිතා කරනවා. ඖෂධ සැල්වලත් මේ තත්ත්වය පාලනයට ඕනෑ තරම් ඖෂධ පවතිනවා.
නමුත් මෙවැනි ඖෂධ ලබා ගැනීම කාලයක් තිස්සේ සිදු කිරීමෙන් බොහෝ අතුරු ආබාධ තත්ත්වයන් හට ගන්නා බව ඔබ හොඳින්ම දන්නවා. ඒ වගේම මුලින් සුළු ඖෂධයකින් පටන් ගත්තත් කාලයක් ගත වෙද්දි ලබා ගන්නා ඖෂධ වර්ග ගණන වගේම මුලින් ලබා ගත් මාත්‍රාවත් කාලයක් ගත වෙද්දි වැඩි කරනු ලබනවා. ඒ ඖෂධ නිසා හටගන්නා වෙනත් රෝග සඳහා නැවත වෙනත් ඖෂධ ලබා ගන්නටත් සිදු වෙනවා. ඉතින් ඒ නිසා සුදුසුම වෙන්නේ ස්වභාවිකව මේ තත්ත්වය පාලනය කරගෙන නිසි මට්ටමින් රුධිර පීඩනය පවත්වා ගෙන යාමයි. ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ අධි රුධිර පීඩනය ස්වාභාවිකව සුවපත්භාවයට පත් කරගත හැකි ක්‍රමවේද කිහිපයක් පිළිබඳවයි.

ගැඹුරින් හුස්ම ගැනීම යම් අයෙක් ඉතා ඉක්මනින් කෙටි හුස්ම ගැනීම් සිදු කරන්නේ නම් එය හදවතට බලපෑමක් එල්ල කරන්නට සමත් වෙනවා. ඒ නිසා ඉතා ගැඹුරු සහ දීර්ඝ හුස්ම ලබා ගන්නේ නම් එය රුධිර පීඩනය ඉතාම යහපත්ව පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් හෘදය හැකිළෙන විට ඇතිවෙන පීඩනය රසදිය පීඩන ඒකක 120 ක් දක්වා වැඩිවීමත් හෘදය ඉහිල් වන විට රුධිර පීඩන තත්ත්වය අඩුවීම 80 ක් තරම් ප්‍රමාණයත් විය යුතුයි. මේ අගයන් දෙක අතර අන්තරය 40 ක් පමණ විය යුතු වෙනවා. නමුත් ඇතැම්විට කෙනෙකුගේ හෘදය හැකිළෙන පීඩන 180 ක් හෝ වැඩි අගයක් දක්වා ගමන් කිරීමත්, හෘදය ඉහිල්වුණත් ඔහුගේ පීඩනය 80 ට අඩු නොවී 100ක් පමණ අගයක තිබෙන්නට පුළුවන්.මේ තත්ත්වයන් රුධිර පීඩනය සම්බන්ධයෙන් පැවතිය යුතු හිතකර මට්ටම නොවන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා.
ලුණු පරිභෝජනය අවම කිරීම පමණට වඩා ශරීරයේ ලුණු ප්‍රතිශතය අඩුවීම වගේම වැඩිවීම කියන තත්ත්වයන් දෙකම රුධිර පීඩනය ඇතුළු ශරීරයේ බොහෝ අවයවවල ක්‍රියාකාරිත්වයට හිතකර වන්නේ නැහැ. වෙනත් රටවල් හා සාපේක්ෂව ගත්විට ලාංකීය අපි ලුණු පරිභෝජනය කරන ප්‍රමාණය ඉතා ඉහළයි. බතේ දිය රස නැති කරගන්නට බත් සඳහා බොහෝ විට අපි ලුණු එකතු කරනවා. නමුත් එයින් එළවලුවලට එකතු කරන ලුණු ප්‍රමාණය හැරුණාම ශරීරයට ලැබෙන ලුණු ප්‍රමාණය වැඩි වෙනවා.ඒ වෙනුවට බතට රම්පේ කෑල්ලක් එකතු කරන්නට අපට පුළුවන්.
ඒ හැරුණාම සකස් කළ ආහාර බොහොමයක ලුණු විශාල වශයෙන් අන්තර්ගත වෙනවා. නමුත් නීරෝගී තරුණ පුද්ගලයෙකු දෛනිකව ලබාගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 2.5 ක්. මේ වෙද්දි අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයෙක් නම් ඒ ලුණු ප්‍රමාණය ග්‍රෑම් 1.5 දක්වා අඩුකළ යුතු වෙනවා. වයස අවුරුදු 50 ඉක්මවමින් සිටින අයෙක් නම් ඔබ දිනකට ලබාගත යුතු ලුණු ප්‍රමාණය වෙන්නේ 1.5 ක් තරම් ප්‍රමාණයක්.
පොටෑසියම් බහුල ආහාර ලබා ගැනීම හෘදයට ඉතාම හිතකර ආහාර තමයි පොටෑසියම් බහුල වශයෙන් අන්තර්ගත වුණු ආහාර. ඉදුණු කෙසෙල් ගෙඩි, අර්තාපල්, නිවිති, අලිගැට පේර,ස්ට්රෝබෙරි ආදී ආහාර රුධිර පීඩනය යහපත් මට්ටමින් තබා ගන්නට අපිට උපකාරී වෙනවා.
මත්පැන් භාවිතය පාලනය කිරීම විශේෂයෙන්ම ඍජුව ලබා ගන්නා මත්පැන් වගේම නිතර වෛද්‍ය නිර්දේශයකින් තොරව ඇල්කොහොල් අඩංගු කර සකස් කරන ලද අරිෂ්ඨ වර්ග, හෝමියෝපති ඖෂධ ආදියත් භාවිතයේදී සැලකිලිමත් විය යුතු වෙනවා. යම්විටෙක ඇල්කොහොල් අඩංගු ඖෂධයක් වෛද්‍ය නිර්දේශය මත ලබා ගන්නා අයෙක් නම් බාහිරින් ලබා ගන්නා මත්පැන් සම්පූර්ණයෙන්ම නවතා දැමීම කළ යුතු වෙනවා.

සුදුසු ආහාර අතිරේකයක් ලබා ගැනීම රසදිය හෝ බැර ලෝහ අඩංගු නොවන වෛද්‍ය නිර්දේශය මත ලබාගත් ඔමේගා 3 බහුල ෆිෂ් ඔයිල් ආදිය භාවිතා කිරීම රුධිර පීඩනයෙන් වැළකීමට වගේම අධි රුධිර පීඩනය යාමනටත් උපකාරී වෙනවා. මේ ෆිෂ් ඔයිල් වෙනුවට අපිට සම සහිත මාළු වර්ග ආහාරයට එකතු ගන්නත් පුළුවන්.
සුවදායි නින්දක් ප්‍රමාණවත්ව ලබා ගැනීම නීරෝගී පුද්ගලයෙක් අනිවාර්යෙන්ම පැය 6-7 ක් එකදිගට නිදාගත යුතුයි. ඒ වගේම මේ වන විට අධි රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙක් නම් ඒ සඳහා ඖෂධයක් ලබා ගන්නා අයෙක් නම් පැය 7-8 ක නින්දක් අනිවාර්‍යයෙන්ම ලබාගත යුතු වෙනවා.
සුදුසු ව්‍යායාමයක නිරත වීම මේ සඳහා ශරීර සුවතා මධ්‍යස්ථාන වෙත යාම අවශ්‍ය වෙන්නේ නැහැ. විනාඩි 30 ක පමණ කාලයක් තුළ දිවීම, වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම කියන ක්‍රියාකාරකම් හෘදයට හොඳ ආරක්ෂාවක් ලබාදෙන රුධිර පීඩනය යාමනය කරන ව්‍යායාමයි .
මානසික සැහැල්ලුව හදවතේ නීරෝගීභාවයට මනස අතිශයින්ම වැදගත් වෙනවා. මානසිකව ව්‍යාකූලතා ඇති නොවන ආකාරයට තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කිරීම, මනසට සුවයක් ගෙනදෙන ක්‍රියාකාරකම්වල නිරත වීම, සුරතල් සතුන් සමඟ කාලය ගත කිරීම ආදිය ඒ සඳහා වඩා වැදගත්. මනස සැහැල්ලු වන විට මෙලටෝනින් වගේ ඉතාම හිතකර සංයෝග වැඩිවීම හදවතේ රුධිර පීඩනය ඉතා යහපත් මට්ටමින් පවත්වාගෙන යන්නට බෙහෙවින් උපකාරී වෙනවා.
මේ කරුණු කාරණා දැනට අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයට වගේම නීරෝගී පුද්ගලයෙකුටත් රුධිර පීඩනය යහපත්ව පවත්වා ගෙන යන්නට හේතුවන ඉතා වැදගත් කාරණාවන්. එබැවින් ඖෂධවලට වඩා මෙවැනි ස්වාභාවික ක්‍රමවේද මගින් රුධිර පීඩනය යහපත්ව තබා ගන්නට කටයුතු කරමු.