රුධිරයේ වැඩි සීනි මට්ටම දවසින් අඩු කරන උළුහාල් ව්‍යංජනය

health tips

දවසින් දවස බෝ නොවන රෝගවලට ගොදුරු වෙන රෝගීන් ගණන ඉතා අවාසනාවන්ත විදියට ඉහළ යමින් තියෙනවා. බාල මහලු වයස් භේදයක් නැතුවම ගොඩක් අය පීඩා විදින රෝගයක් තමයි දියවැඩියාව . රසයට මූලිකත්වයක් ලබාදී දිව පිනවන ආහාරවලට ඇබ්බැලි වීම නිසා ගොඩක් දෙනෙක් දියවැඩියා රෝගයට ගොදුරු වෙලා ඉන්නවා . ආහාර පුරුදු විතරක්ම නෙවෙයි ජානමය හේතුත් චර්‍යා රටාවේ අඩුපාඩුත් දියවැඩියාව  ඇතුළු නොයෙක් රෝග ඇති වෙන්නට බලපානවා . වැළදුණු පසු සුව කරන්නට අපහසු මේ දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීමෙන් විවිධ බරපතල සෞඛ්‍ය ගැටළු ඇති වෙනවා.වකුගඩුවල ගැටළු,  ග්ලූකොමා තත්ත්වය, ඇතුළු බොහෝ ගැටළු මේ දියවැඩියාව නිසා ඇති වෙන්නට පුළුවන්. 

ඉතින් දියවැඩියාවට ඉතාම ගුණදායක වෙන තවත් සෞඛ්‍යය ප්‍රතිලාභ රාශියක්ම ලබාදෙන ආහාරයක් ගැන තමයි මේ කියන්න යන්නේ. 

ආහාර පිසිද්දි අපේ මුළුතැන්ගෙට නැතුවම බැරි කුළු බඩුවක් තමයි උළුහාල්. ආහාර රසවත් කිරීමට සහ සුවඳවත් කිරීමට භාවිතා කරන ලද උළුහාල්වල ඖෂධීය ගුණ පිළිබඳව එදා අපේ මුතුන් මිත්තන් දැන සිටියාට සැකයක් නැහැ. දිනපතාම උළුහාල් ව්‍යංජනවලට එකතු කිරීම  දිගුකාලීනව ඇතැම් රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නට උපකාරී වෙනවා. 

එදා ගැමි නිවෙස්වල නිතරම වගේ උදෑසන ආහාර වේල සඳහා පිළියෙළ වුණු කිරි හොද්දට උළුහාල් නැතිවම බැරි කුළුබඩුවක්. කුරුඳු පොතු, අමු මිරිස්, කරපිංචා, රතු ළූණු, පොල්කිරි, උලුහාල් ආදිය දමා සකසා ගත් කිරි හොද්ද වකුගඩු රෝගවලින් ආරක්ෂාව සලසනවා වගේම කොලෙස්ටෙරෝල් පාලනය කරගන්නත් උදව් වෙනවා.

 ඒ නිසා උළුහාල් කියලා කියන්නේ කුළුබඩුවක් විතරක්ම නෙවෙයි. විවිධ රෝග සඳහා වූ සුවිශේෂී ඔසුවක්. ආහාරයක් ලෙස ගත්තහම උළුහාල්වල ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, තයමින්, රයිබොෆ්ලේවින්,ෆලික් අම්ලය ආදී විටමින් ඇතුළු අත්‍යවශ්‍ය ඛනිජ ලවණ රාශියක්ම අඩංගු වෙනවා. ඒ වගේම උළුහාල්වල ආහාරමය තන්තු ද බහුලවම අඩංගු වෙනවා.

 උළලුහාල්වල අඩංගු වෙන ඉහළ තන්තු සංයුතිය ග්ලූකෝස් අවශෝෂණය ප්‍රමාද කරනවා. ඉන්සියුලින්  නිෂ්පාදනය ක්‍රමවත් කරනවා. එය දියවැඩියා රෝගය පාලනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. එනිසා සීනි පාලනය කර ගන්නට කොලෙස්ටරෝල් පාලනය කර ගන්නට දිනපතාම උලුහාල් ආහාර එකතු කර ගැනීම වැදගත් .

උළුහාල් අනිත් ආහාර රසවත් කර ගන්නට රසකාරකයක් ලෙස ඖෂධයක් ලෙස භාවිතා කිරීම හැරුනහම දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායක රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්නට උදව්වෙන උලුහාල් ව්‍යංජනයත් ඉතාම ගුණදායකයි. උළුහාල් ව්‍යංජනය සතියකට කිහිප වරක් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩු කර ගැනීම හැරුනහම තවත් බොහොමයක් ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ  ප්‍රතිලාභ අතරින් කිහිපයක් ගැන දැන කියාගෙනම තවදුරටත් කතා කරමු.

  • රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.
  • අධික තරබාරුව නැති කරනවා.
  • ආහාර ජීරණය පහසු කර මලබද්ධය නැති කරනවා.
  • ශරරීරයේ ඇති විෂ ඉවත් කරන්නට දායක වෙනවා.
  • ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා ඇතිවීම වළක්වනවා.
  • හිසකෙස්වල නිරෝගී බව ආරක්ෂා කරනවා.

හිස්සොරි  ගැටලුව නැතිකර හිසකෙස් අකලට වැටීම, හිසකෙස් තුනී වීම වැළැක්වීම සඳහා උලුහාල් උදව් වෙනවා.

  • සමේ අවපැහැ ගැන්වීම්, රැලි වැටීම්,සමේ ඇතිවන ආසාත්මිකතා, කැසීම, රතුවීම, පළු ඇතිවීම, උෂ්ණ බිබිළි ආදිය සුව පත් කරන්නට උදව් වෙනවා.
  • කුසගින්න වර්ධනය කරනවා.
  • කිරිදෙන මව්වරුන්ගේ කිරි වර්ධනය කරනවා.
  • ඔසප් වේදනාව නැති කරනවා .
  • දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාවන් සමනය කරනවා .
  • මුඛ දුර්ගන්ධය , විදුරුමස් ආබාධ දුරු කරනවා.
  • මොළය නිරෝගී කරනවා.
  • මතක ශක්තිය වර්ධනය කරනවා.
  • ලිංගික බෙලහීනතාවය මැඩලනවා.
  • ආමාශයේ ගැටළු නිරාකරණය කරනවා.

   මේ සියළුම වාසි ගෙනදෙන උළුහාල්වලින් ව්‍යංජනයක් සකසා ගන්නේ මෙහෙමයි.

උළුහාල් ව්‍යංජනය 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උළුහාල් කෝප්ප ½ 
  • ලියාගත් අමු මිරිස් හා ළූනු 
  • කරපිංචා හෝ රම්පේ 
  • පොල්කිරි මිටිකිරි කෝප්ප 1 
  • දියකිරි කෝප්ප ½
  • අමුමිරිස් කරල් කිහිපයක් 
  • උම්බලකඩ 
  • මිරිස් කුඩු තේ හැදි ½
  • තුනපහ කුඩු තේ හැදි ½ 
  • ගොරකා කෑලි 2-3
  • කුරුඳු පොතු කෑල්ලක් 
  • ලුණු ස්වල්පයක් 

සෝදාගත් උළුහාල් විනාඩි 30 ක් පමණ පෙගෙන්නට තබන්න.පසුව වතුර පෙරලා එයට ලියාගත් ළූණු, සුදු ළූනු අමු මිරිස්, තුනපහ, කුරුඳු,ගොරකා, රම්පෙ කරපිංචා ආදී සියල්ලම එකතු කර දියකිරි කෝප්ප  ½ දමා තම්බා ගන්න.

හොඳට තැම්බුණු පසු මිටිකිරි යොදා උතුරවා හින්දවා ගන්න. රස අනුව ලුණු එකතු කරගන්න.

මෙය ඔබට සතියකට වරක් දෙවරක් ආහාරයට එකතු කරගන්න පුළුවන් . ඔබ දියවැඩියා රෝගියෙක් නම් මේ ව්‍යංජනය ඔබට අතිශයින්ම ගුණදායකයි.