කොලෙස්ටරෝල් ඇති අය නොගත යුතුම ආහාර වර්ග 5 ක්

health tips

අද සමාජයේ වැඩිදෙනෙක්ම පීඩා විදින මහත් පීඩාකාරී තත්ත්වයක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ. තරුණ මහලු භේදයකින් තොරව අද බොහෝදෙනාට මේ කොලෙස්ටරෝල් තත්ත්වය පවතිනවා. අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදී තත්ත්වයන් ඇති කරන්නට මූලික වන අධික කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයේ නීරෝගී පැවැත්මට විශාල බලපෑමක්. නමුත් කොලෙස්ටරෝල් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්. කොලෙස්ටරෝල් මේදමය ද්‍රව්‍යයක් වගේම ලිපිඩයක්. ඒවා ඇතැම් ආහාරවල ඇතුළත් වන අතර අක්මාව තුළත් නිපදවනු ලබනවා.  මෙය අපේ ශරීරයට හානිදායක වන්නේ එහි පැවතිය යුතු ප්‍රමාණය අධික වීම හෝ අවම වීම නිසා. අපේ සිරුරේ හෝර්මෝන (ඊස්ට්‍රජන් හා ටෙස්ටෙස්ටරෝන්) නිෂ්පාදනය කරන්නට, සෛලවල පිටත ප්‍රාවරණය නිපදවන්නට, පිත් යුෂ නිෂ්පාදනයට, විටමින් D නිෂ්පාදනයට ආදී කාරණා බොහොමයක් සඳහා මේ කොලෙස්ටරෝල් ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරනු ලබනවා. මිනිස් ශරිරයේ ඇති ට්‍රීලියන ගණනක් වූ සෛල ආවරණ තුළත්, මොළයේ 75% ක් පමණ ප්‍රමාණයකත්, ස්නායුවල පිටත ආවරණ තුළත් සියලුම ලිංගික හෝර්මෝන තුළත්, කොලෙස්ටරෝල් බහුලව අන්තර්ගතව පවතිනවා. 

කොලෙස්ටරෝල් වර්ග දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්.

  1. අධි ඝනත්ව ලයිපොප්‍රෝටීන් හෙවත් HDL (High density lipoprotein) – හිතකර කොලෙස්ටරෝල් මේ කොලෙස්ටරෝල් වර්ගය පුද්ගලයාගේ ශරීරයේ නීරෝගී පැවැත්මට හේතු වෙනවා.
  1. අඩු ඝනත්ව ලයිපොප්‍රෝටීන් හෙවත් LDL ( Low density lipoprotein) – අහිතකර කොලෙස්ටරෝල් මේ කොලෙස්ටරෝල් වර්ගය මගින් ධමනි අවහිර කරනු ලබනවා. 

කොලෙස්ටරෝල් මට්ටම අධිකවීමත් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා කොලෙස්ටරෝල් මට්ටම අඩුවීමත් යන තත්ත්වයන් දෙකම අපේ ශරීරයට හිතකර වන්නේ නැහැ. ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නට බලපාන ආහාර මගින් හෘදයාබාධ සෑදීමේ අවදානම ද වැඩි කරන්නට පුළුවන්. ඒ නිසාම වෛද්‍යවරුන් තහවුරු කර ඇති කොලෙස්ටරෝල් අධික අය නොගත යුතුම ආහාර වර්ග කිහිපයක්ම පවතිනවා. ඉතින් කොලෙස්ටරෝල් නිසා පීඩාවට පත්වෙලා සිටින ඔබ මේ ආහාරවලින් වැළකී සිටීම අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න. 

කොලෙස්ටරෝල් අධික පුද්ගලයන් නොගත යුතුම ආහාර 

කිරි ආහාර දැනට වෙළදපොළේ මිලට ගන්නට ඇති කිරි ආහාරවලින් 99% ක්ම මේ දියර කිරි. මේ කිරි ආහාර බොහෝ වෙලාවට පැස්ටරීකරණයට ලක් කර තියෙනවා. ඒ නිසා මේ කිරිවල අඩංගු පෝෂක කොටස් විනාශ වෙනවා. ඒ වගේම කිරි එළදෙනුන්ට ලබාදෙන ඖෂධ වර්ග  හෝර්මෝන වර්ග ආදී දේවල් කිරිවලත් අඩංගු වෙන්නට පුළුවන්. ඒ වගේම කිරිවල ඇති නරක මේදය කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර අක්මාවේ ක්‍රියාකාරිත්වයට නරක බලපෑම් ඇති කරන්නට පුළුවන්. මේ කිරි වර්ග සම්පූර්ණ යොදය සහිත වුණත් රහිත වුණත් ඒවායේ බලපෑම් එක හා සමානයි. ඒ නිසා කොලෙස්ටරෝල් ඇති පුද්ගලයන් මේ කිරි ආහාරවලින් වැළකී සිටීම තමයි වඩා සුදුසු වන්නේ.

ක්ෂණික ආහාර කොත්තු, රයිස්, බර්ගර්, පීට්සා, සබ්මැරීන් ආදී සෑම ක්ෂණීක ආහාරයකම පිෂ්ඨය හෙවත් කාබෝහයිඩ්රේට් සහ අහිතකර මේදයත් ඉතා ඉහළයි. ඒ නිසා කොලෙස්ටරෝල් ඇති අයෙක් වැළකිය යුතුම ආහාර ලෙස ක්ෂණික ආහාර සඳහන් කරන්නට පුළුවන්.

සත්ත්ව ප්‍රෝටීන බහුල ආහාර වර්ග මස් වර්ග,ඉස්සෝ, පොකිරිස්සෝ,කකුළුවෝ ආදී ආහාර සතු අහිතකර මේදය  සහිත මේ ආහාර කොලෙස්ටරෝල් ඇති අයෙකුගේ සෞඛ්‍යයට කෙසේවත් සුදුසු වන්නේ නැහැ.බිත්තර කොලෙස්ටරොල් නිසා පීඩාවට පත් අයෙකුට මේ බිත්තර විටෙක සුදුසු වෙන්නත් පුළුවන් විටෙක නුසුදුසු වෙන්නත් පුළුවන්. මේ බිත්තර කහ මදය තුළ කොලෙස්ටරෝල් වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙනවා. නමුත් බිත්තරය තුළ තියෙන ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ඇතුළු පෝෂක සුදු මදයේ පමණක් නොවෙයි කහ මදය තුළ අන්තර්ගත වෙනවා. ඒ නිසා බොහෝ කොලෙස්ටරෝල් ඇති අයට  බිත්තර කහ මදය අහිතකර බව කියනවා. නමුත් ගැටළුව පවතින්නේ මේ බිත්තරය අපි ආහාරය සඳහා පිළියෙල කරන ආකාරය අනුවයි. විශේෂයෙන්ම බිත්තර බදින විට, ඔම්ලට් දාන විට හෝ තම්බන විට බිත්තර සතු මේදය වගේම ප්‍රෝටින් ආදියටත් අධික තාපය නිසා හානි සිදු වෙනවා. ඒ නිසා ආහාරයට වඩා සුදුසු වන්නේ බාගෙට තම්බා ආහාරයට ගැනීම හෝ අමුවෙන් ආහාරයට ගැනීමයි. නමුත් අමුවෙන් ආහාරයට ගනිද්දි සැල්මොනෙල්ලා අවදානමක් ඇතිවෙන්නට ඉඩකඩ පවතිනවා.

කොහොමනමුත් බිත්තර හරි විදියට ආහාරයට ගත්තොත් වැඩි වෙන්නේ හිතකර කොලෙස්ටරෝල් මට්ටමයි. දවසට බිත්තර එකක් හෝ දෙකක් ආහාරයට එකතු කර ගැනීමෙන් සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටම වැඩි නොවන බව පර්යේෂණවලින් අනාවරණය කරගෙන තියෙනවා. ඒ නිසා බිත්තර බැදීමෙන් හෝ තම්බාගෙන ආහාරයට එකතු කර ගැනීම අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කළත් නිවැරදි ලෙස පිළියෙල කර ආහාරයට ගැනීමෙන් හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරගන්නට පුළුවන්.

බේකරී කෑම ෂෝටීස්, ස්නැක්ස්,පාන්,බනිස්, පේස්ට්‍රි, රෝල්ස්, බිස්කට්ස් වගේම ගැඹුරු තෙලේ බදින ලද ආහාරත් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරන්නට හේතු වෙනවා. ශරීරයට අහිතකර මේදය, පිෂ්ටය වගේම සීනිත් බහුලව අන්තර්ගත මේ ආහාර කොලෙස්ටරෝල්වලින් පීඩා විදින ඔබේ ආහාර වේලෙන් ඉවත් කළ යුතුම ආහාර වර්ගයි. ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉතා ඉක්මනින් වැඩි කිරීමට වගේම දියවැඩියාව, පිළිකා ආදී රෝග බොහොමයකට ගොදුරු වීමටත් ඉඩකඩ විවර වෙනවා.ඉතින් අද ලෝකයේ බොහෝදෙනා පීඩා විදින දියවැඩියාව, කොලෙස්ටරෝල් අධි රුධිර පීඩනය හා පිළිකා වගේ රෝග බොහොමයකට බලපාන්නේ ඉහත සඳහන් කළ අපේ වැරදි ආහාර රටාවන් සහ වැරදි චර්යා රටාවන්. මේ සියලුම ආහාර වර්ගවලින් සම්පූර්ණයෙන්ම වැළකෙන්නට නොහැකි වුණත් කොලෙස්ටරෝල් අවදානම අඩු කරගෙන සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට මේ ආහාර පාලනයකින් යුක්තව ඉතාමත් අවම මට්ටමින් ආහාරයට ගන්නට ඔබට පුළුවන්. ඒ වෙනුවට නැවුම් එළවලු පලතුරු වැඩි වැඩියෙන් ආහාරයට එකතු කරගන්නටත් අමතක කරන්නට එපා.