දරු ඵල පමා වෙන කාන්තාවන්ට දරු ඵල ලබාදෙන හිගුරල කැඳ

health tips

 සොබාදහමින් අපිට ලැබුණු ඉතා අගනා දායාදයක් විදිහට මේ අල වර්ග හඳුන්වා දෙන්නට පුළුවන්. ලෝකය පුරාම විවිධ දේශගුණික තත්වයන් යටතේ පොළොව යට බහින අල වර්ග ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරිනුත් මනුෂ්‍යයන් විදිහට අපිට ආහාරයට ගත හැකි අල වර්ග වගේම හලාහල විෂ සහිත අල වර්ගත්  හඳුනාගෙන තියෙනවා. ආහාරයට ගත්තම තමන් කවුද අනෙකා කවුදැයි හඳුනා ගන්නට නොහැකි විදිහට සිහිය විකල් වන බව කියන නගාමැරූ අල යනුවෙන් හඳුන්වන අල වර්ගයක් ද ඇති බව පැවසෙනවා. 

කොහොමවුණත් අද වෙද්දි ලාංකීය අපි අල වර්ග විදියට වැඩි වශයෙන් ආහාරයට ගන්නේ අර්තාපල් බව අවිවාදයෙන්ම පිළිගන්නට වෙන කාරණාවක් .ඒත් ලාංකීය අපිට පරිභෝජනයට ගත හැකි අල වර්ග ඕනෑ තරම් තියෙනවා. එදා අපේ පැරැන්නන් ඔවුන්ගේ ආහාර වේලේ ප්‍රධානම අංගයක් විදිහට එකතු කර ගත් අල වර්ග අද ලාංකේය අපි භාවිතයට නොගන්නා තරම්. ඉතින් ඒ වගේ බොහෝ දෙනෙක්ට අමතක වෙලා තියෙන නමුත් ඉතාම ගුණදායක අල වර්ගයක් ගැන තමයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ඒ තමයි ගර්භණී මාතාවන්ට මුල් අවධියේ දී ආහාරයට ගන්නට ඉතාම සුදුසු බවට ගැමි ජනතාව විශ්වාස කරන හිඟුරල පිළිබඳව.

අපේ ශරීරයට ඉතා ගුණදායක වෙන වැල් අල වර්ග අතරින් හිඟුරල කියලා කියන්නේ ඉතාම ගුණදායී අල වර්ගයක්. රෝග බොහොමයක් සුවකර කරගන්නට  උපකාරී වෙන හෙළ ඔසුවක්. සුදු පැහැති අල වර්ගයක් ලෙස සැලකෙන මෙය ඇඟිලිවලට බෙදී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන්. මේ අල හටගන්නේ පොකුරු වශයෙන්. 

 තැම්බෙන්නට තරමක වෙලාවක් ගත වෙන තරමක සෙවල ගතියකින් යුක්ත මේ අල වර්ගය ව්‍යංජන වශයෙන් පිස ආහාරයට ගන්නට පුළුවන්. ඒ හැරුනහම තම්බා පොල් සහ සම්බෝල ආදිය සමගත් කැඳක් වශයෙනුත්  සකසා ගෙන ආහාරය පිණිස ගන්නට හැකියාව තියෙනවා. මේ හිගුරල තන්තු බහුල පිශ්ටය බහුල ආහාරයක්. මේවායේ අඩු මේද ප්‍රමාණයක් තමයි අන්තර්ගත වෙන්නේ. 

හිඟුරල ආහාරයට ගැනීමෙන් දේහයට ලබාගත හැකි ප්‍රතිලාභ

  • පිළිකා මර්දනය කරනවා.
  • කාන්තාවන්ගේ ගර්භාෂය ශක්තිමත් කර ගර්භනී බව ලබා ගන්නට උදව් කරනවා.

දරුඵල පමාවන කාන්තාවන්ට මේ හිගුරල ඉතාම ගුණදායකයි. ඩිම්බ මේරීම පමාවෙන සහ ඒ සඳහා ඖෂධ ලබා ගන්නා කාන්තාවන්ට මේ හිගුරල කැඳ වශයෙන් සකසාගෙන පානය කරන්නට පුළුවන් නම් ඉතාම ගුණදායකයි. 

  • ශරීරය සිසිල් කරනවා.
  • උෂ්ණාධික රෝග දුරු කරනවා.
  • දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි. 
  • අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා.
  • ආමාශයට ඉතාමත් හිතකරයි. 
  • දේහ බර අඩුකරනවා.
  • ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනු ලබනවා.

හිගුරල කැඳ  සාදා ගන්නා ආකාරය 

  • හිගුරල අල කිහිපයක් 
  • උකු පොල් කිරි කෝප්ප භාගයක්
  •  එළඟි තෙලෙන් බැදගත් වියලි මිදි හෝ කජු
  • තඑනසාල් සහ කරාබු නැටි
  •  ලුණු / සීනි 

මුලින්ම හිඟුරල හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු භාජනයකට වතුර දමා නටනතුරු තියෙන්නට හැර හිඟුරල අල උණු ජලයට දමා හොඳින් තම්බා ගන්න.

 තම්බා පොතු ඉවත්කර සෝදා ගත් හිඟුරල සිහින් පෙති වශයෙන් කපාගන්න.

 ඉන්පසු එය එයට උකු පොල්කිරි ටික දමා හොදින් බ්ලෙන්ඩර් කරගන්න. 

මේ මිශ්‍රණය කැඳ සාදා ගැනීමට ගන්නා භාජනයට දමා හොඳින් කලවම් කරගෙන එයට එළඟිතෙලෙන් බැදගත් වියළි මිදි හෝ කජු එකතු කරන්න.

 ඔබේ රස අනුව ලුණු ස්වල්පයකුත්  එනසාල් සහ කරාබුනැටි ආදියත් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඔබ පැණි රසට කැමති කෙනෙක් නම් මේ සඳහා ඔබේ රස අනුව සීනි එකතු කරන්නට  පුළුවන්. එහෙම නැත්නම් ලුණු පමණක් එකතු කර එයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා පානය කරන්නටත් පුළුවන්. 

මේ කැඳ පිස ගැනීමේදී පියන නොවසා පිස ගැනීම වගේම නොනවත්වා හැඳිගාමින් පිස ගැනීමත් අනිවාර්‍ය කාරණයක්.

 ඉතින් මේ රසවත් ගුණවත් හිගුරල කැඳ වැඩිහිටි ඔබට වගේම දරුවන්ට පවා කිසිදු අපහසුවක් නැතුව පානය කරන්නට හැකියාව තියෙන ඖෂධීය ගුණයෙන් ඉහළ කැඳ වර්ගයක්.

වස විස නැති අපිටම පහසුවෙන් වගා කරගන්නට හැකියාව කියන මේ දේශීය අල වර්ගය ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තේ ඉතා පහසුවෙන්ම වගාකර ගන්නට. නැත්නම් ඔබට පුළුවන් වෙළඳපොලෙන් මේ  අල වර්ග මිලට අරගෙන ඔබේ ආහාරයට එකතු කරගන්න. කොහොමවුණත් නිතර ඔබ අර්තාපල් වගේ අල වර්ගවලින් මිදිලා මෙවැනි දේශීය අල වර්ග ආහාරයට එකතු කරගත්තොත් සුවපත් දිවියක් ගත කිරීම නම් අපහසු වෙන්නේ නැහැ.