සන්ධි ආශ්‍රිත රෝගවලින් අද වෙද්දි බහුතරයක් දෙනා පීඩාවට පත්වෙලා ඉන්නවා. තරුණ වැඩිහිටි භේදයක් නැතිවම බොහෝ දෙනෙක් මේ රෝග තත්ත්වයන් නිසා නිරන්තරයෙන්ම මැසිවිලි නගනවා. මේ අතරිනුත් උකුල් ඇට සන්ධිය ආශ්‍රිතව ඇතිවන වේදනා සහ කැක්කුම් නිසා ගොඩක් දෙනා අපහසුතාවයට පත්වෙලා ඉන්නවා.
මේ ලිපිය කියවන ඔයත් මේ අපහසුතාවයෙන් පීඩා විඳින නමුත් ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් කරා යොමු නොවුණු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි නොසිතනා තරමේ වඩාත් බරපතළ තත්ත්වයන් වුණත් උකුල් ඇට සන්ධිය ආශ්‍රිත වේදනාවක් විදියට පෙන්නුම් කරන්න පුළුවන්. මෙහිදී වේදනාවට ප්‍රතිකාර කරනවා වෙනුවට නිසි පරිදි අදාළ රෝගය සොයාගෙන ඒ රෝගයට ප්‍රතිකාර කළොත් සුවයක් ලබා ගන්නට අපහසු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි අද කතා කරමු උකුල් ඇට සන්ධිය ආශ්‍රිතව වේදනාවක් ඇතිවෙන්න බලපාන්නේ කුමන හේතු කාරණා ද යන වග.
මුලින් සඳහන් කළා වගේම ගොඩක් අය යම්කිසි සන්ධියක වේදනාවක් ආවහම ඒක වාත අමාරුවක් කියලා තමයි සලකන්නේ. වාත තෙල් ටිකක් ගාලා දවසකට දෙකකට පස්සෙ ටිකක් වේදනාව අඩු වුණාට පස්සේ රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාරයක් නොකර මගහැර දමනවා. මේ විදිහට මේ සුළු වේදනාවන් නොසලකා හැරීම තමයි දවසක අපිව වඩාත් බරපතළ රෝගයන් කරා ගෙනයනු ලබන්නේ. මේ නිසා උකුල් ඇට සන්ධිය ආශ්‍රිත වේදනා ගැනත් තරමක් දුරට ඔබට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා.
අපේ ශරීරයේ බර දරා සිටින උකුල් ප්‍රදේශය විශාල පැතලි අස්ථියක්. මේ උකුල් ඇට සන්ධිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් අපිව සදාකාලික අබ්බගාතයන් කරන්නට තරම් වුණත් ප්‍රබල වෙන්නට හැකියාව තියෙනවා.
උකුල් ඇට සන්ධිය ආශ්‍රිත වේදනාවන් ඇති වෙන්නට බලපාන හේතු

අස්ථි දිරායාම (ඔස්ටියෝපොරෝසිස්) අපේ නොදන්නවා වුණාට අපිට හිතාගන්නටවත් බැරි විදිහට අපේ උකුල් ඇට දිරාපත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී තරමක කාලයක් ගත වුණාට පස්සෙ තමයි ඒ ආශ්‍රිත වේදනාවන් අපිට අත්විඳින්නට සිද්ධ වෙන්නේ. මෙහි එක් අවස්ථාවක් තමයි උකුල් ඇටයේ සිට පහතට පාදය පුරාම වේදනා ඇතිවීම. වේදනාව විටින් විට ඇති වෙන්න පුළුවන්. තවත් සමහරුන්ට දකුණු පාදයේ මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. සියුම් වේදනාවක් හරහා තමයි මෙහි ප්‍රාථමික ලක්ෂණ පෙන්නුම් කරන්නේ. මෙහිදී මුලින්ම වේදනාව එක් ප්‍රදේශයකින් පෙන්නුම් කළත් පසුව උකුල් ඇටය ඇදවීමක් දක්වාම පීඩාකාරී වෙන්න පුළුවන්.
කාන්තාවන්ගේ ආර්තවහරණය සමඟ ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම, අස්ථි මත ඛනිජ ලවණ, ප්‍රෝටීන තැන්පත් වීම අඩුවීම හේතු කරගෙන පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයේ අස්ථි දිරායාම සම්බන්ධයෙන් වැඩි ප්‍රවණතාවක් දක්වනවා. ඒ වගේම වයස්ගතවීමත් සමඟ තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන අසමතුලිතතා නිසා අස්ථි දිරායාමට පුළුවන්.
මාංශ පේශිවල ගැටළු උකුල් ඇට සන්ධියේ වම සහ දකුණු පැත්ත යන ආකාරයේ වේදනාවන් ඒ ආශ්‍රිත මාංශ පේශී ඉරීයාම නිසාත් ඇති වෙන්න පුළුවන්. කශේරුකාවේ ඇතිවන ඇද ගතිය වගේම හදිසි අනතුරු තත්ත්වයන් මේ සඳහා හේතු වෙනවා .
උකුලේ ඇතිවෙන කම්පන තත්වයන් මේ වගේ තත්ත්වයන් බොහෝ වෙලාවට පාපන්දුවල නිරත වන පුද්ගලයන්ට ඇති වෙන්න පුළුවන්.උකුලේ ඇතිවන කම්පනයන් හේතුකරගෙන ඇතිවන ඉදිමීම නිසා ඉකිලි ප්‍රදේශයේ වේදනාවක් විදිහටයි අපිට මෙය දකින්න අත්විදින්නට ලැබෙන්නේ.
ආතරයිටිස් මේ වේදනාව ඉකිලි ප්‍රදේශයේ හටගන්නවා. ඇතැම් විට මේ වේදනාව කලවා දිගේ පහළට ඇතිවෙන්නටත් පුළුවන්. ආතරයිටීස්, ඔස්ටියෝ ආතරයිටීස් එහෙමත් නැත්නම් රුමැටොයිඩ් ආතරයිටීස් නිසා චලනයට අපහසු වෙන්න පුළුවන්. අස්ථි දිරා දිරායාම ඇදවීම එහෙමත් නැත්නම් උකුල් ඇට සන්ධිය ආශ්‍රිත කාටිලේජ ගෙවී යාම නිසා ඇතිවන ආතරයිටිස් තත්ත්වයන් මේ සඳහා හේතු වෙන්න පුළුවන්. මෙය තහවුරු කරගැනීම සඳහා එක්ස් රේ හෝ වෙනත් ස්කෑන් පරීක්ෂණ ආදියට යොමු විය යුතුයි.
පිළිකා උකුල් ඇටය ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව, ඉදිමුම, දැවිල්ල වගේම ශරීරයට තෙහෙට්ටුව දැනීම, ඔක්කාර ස්වභාවය, රාත්‍රී කාලයේ දී දහදිය දැමීම සහ පාද චලනය කිරීමේ අපහසුතාවයත් ශරීර බර එකවර අඩුවීමත් කියන ලක්ෂණ ඇත්නම් එය බොහෝවිට උකුල් ඇටය ආශ්‍රිත පිළිකාවක් වර්ධනය වෙන බව පෙන්නුම් කරන ලක්ශන වෙන්න හැකියාව තියෙනවා.

සුෂුම්නාවේ ඇති වන වෙනස්කම් උකුල් ඇට සන්ධිය පසුපස තට්ටමේ ඉහළ කොටසේ වේදනාවන් මේ නිසා ඇති වෙන්න පුළුවන්. මේ සඳහා වැඩි වශයෙන් හේතු වෙන්නේ සයිටික් ස්නායුව සුෂුම්නාව පටන් ගන්නා කශේරුකා අතර සුෂුම්නාවේ ඇතිවන වෙනස්කම් ආදියයි.
රුධිර සැපයුමට බාධා ඇතිවීම දිගුකාලීනව මත්පැන් භාවිතා කිරීම, අස්ථි බිදීම්වලට ලක්වීම, දිගුකාලීනව කෙෆෙට්කොස්ටිරොයිඩ් භාවිතය ආදිය හේතු කරගෙන මෙවැනි ගැටලු ඇතිවෙන්න පුළුවන්, විශේෂයෙන්ම උකුල් ඇට සන්ධියට විශේෂයෙන්ම ඌර්වාස්ථියේ හිස ප්‍රදේශයට රුධිර සැපයුම බාධා ඇති වෙන්න පුළුවන්. මේ නිසා අස්ථි පටක මිය යාමෙන් අස්ථි පද්ධතියේ බිඳවැටීම් ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයකදී එකී ප්‍රදේශයේ වේදනාවක් ඇතිවීම ඇවිදීමට බාධා ඇතිවීම සහ චලනය අපහසු වීම් ආදිය සිදු වෙනවා.
උකුල් ඇට සන්ධි ආශ්‍රිතව ඇතිවන බොහෝ වේදනාවන් සාමාන්‍ය වාත අමාරුවක් ලෙස නොසලකා හැරිය යුතු බව ඔබට දැන් වැටහෙනවා ඇති. ඒ නිසා එවැනි අවස්ථාවකදී තමා විසින් රෝගය නීර්ණය නොකර නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීමට සිතට ගන්න.