දිලීර ආසාදන සඳහා නිවසේදී කළ හැකි පිළියම් 3 ක්

health tips

බෝ නොවන රෝග පිළිබඳව නිතර කතාබහ කරද්දි බෝ වන රෝගත් අපිට අමතක කරන්නට බැහැ. ඒ අතුරින් ස්පර්ශයෙන් ඇදුමෙන් පැළදුමෙන් එකිනෙකාගෙන් එකිනෙකාට බෝවන ආසාදන තත්ත්වයක් තමයි දිලීර ආසාදන කියන්නේ. ඕනෑම වයසක පසුවන අයෙකුට මේ දිලීර ආසාදනයන් ඇති වෙන්නට පුළුවන්. මෙහි ඇති භයානකම තත්ත්වය වෙන්නේ මුල් අවස්ථාවේදීම සමේ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර නොගතහොත් මුළු ශරීරය පුරාම මෙය ඉතා ඉක්මනින් පැතිර යන නිසා. ඒ වගේම රෝගියාගේ සමීපතමයන්ටත් ඉතා ඉක්මනින් මෙය බෝ විය හැකි නිසා. මේ තත්ත්වය සුළුවට ගත යුතු නැහැ. ඒ නිසාවෙන් අද අපි ඔබ සමඟ කතා කරන්නට සූදානම් වන්නේ මේ දිලීර ආසාදනයන්ගෙන් ආරක්ෂා විය හැකි ආකාරය සහ ඒ සඳහා කළ හැකි ප්‍රතිකර්ම මොනවාද කියන කාරණාවන් පිළිබඳවයි.

අළුහම්, ඉකිලි කැසීම වගේම නියපොතුවල පුස් ආදිය ඇතිවී නියපොතු කළු පැහැවී දුර්වර්ණ වීම පවා දිලීර නිසා ඇතිවන තත්ත්වයන්. මෙවැනි දිලීර ආසාදනයන් පියයුරු යට, තට්ටම් ප්‍රදේශයේ, කකුල්වල, බෙල්ලේ ආදී සමේ ඕනෑම ස්ථානයක ඇති වෙන්නට පුළුවන්. මේ දිලීර ආසාදනයන් වැඩිහිටියන්ට වඩා දරුවන් අතර ඉතා ඉක්මනින් පැතිරයාමක් දකින්නට ලැබෙනවා. මේ රෝගය ඇති වෙන්නට හේතු කිහිපයක්ම බලපානු ලබනවා.

දිලීර ආසාදනයන් ඇති වන්නේ ඇයි 

  • පිරිසිදුකම සම්බන්ධ ගැටළු 
  • සුරතල් සතුන් ඇති කිරීම
  • පොදුවේ යම් යම් භාණ්ඩ හා ඇදුම් පරිහරණය 
  • දිලීර රෝගියෙකු ස්පර්ශවීමෙන් 
  • පොදු වැසිකිළි භාවිතයෙන් 

 රෝග ලක්ෂණ 

  • නිතර කැසීම මේ කැසීම නිසා ආසාදනය තවදුරටත් ව්‍යාප්තවීමක් සිදුවෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශය තුවාලවීමක් ද සිදුවෙන්නට පුළුවන්.
  • නලියන ස්වභාවයක් දැනීම
  • ප්‍රදාහයන් ඇතිවීම 

විශේෂයෙන්ම මේ දිලීර ආසාදන නිසා සමට විශාල ලෙස හානි වෙනවා. ඒ වගේම දැනෙන අපහසුව සහ මානසිකව ඇතිවන පීඩනයත් ඉතා විශාලයි. ඒ නිසා මෙවැනි ආසාදනයන් ඇති නොවීමට වග බලා ගැනීමයි වැදගත් වන්නේ.

දිලීර ආසාදනවලින් වැළකී සිටීම  සඳහා අනුගමනය කළ යුතු දේවල් 

  • නිතර තමන්ගේ පිරිසිදුභාවය පවත්වා ගන්න 
  • ඇදුම් පැළදුම් ආදිය පිරිසිදුව තබා ගන්න 
  • තුවාය, ඇද ඇතිරිලි, කොට්ට උර, ආදිය පෞද්ගලික භාවිතයේ පමණක් තබා ගන්න.
  • හොඳින් දහදිය උරාගත හැකි ඇදුම් භාවිතා කරන්න 
  • හැකි සෑම විටක යට ඇදුම් පවා අයන් කර ගන්න.එයින් ඇදුම්වල ඇති විෂබීජ ඉවත් වෙනවා.
  • සුරතල් සතුන් සමීපයට ගැනීමට පෙර ඔවුන්ගේ යම් දිලීරයක් ඇත්දැයි සොයා බලන්න.
  • දිලීර ආසාදනයක් ඇති අය වගේම නැති නමුත් තමන්ගේ නියපොතු කොටට කපා පිරිසිදුව තබා ගන්න.
  • මාසයකට වරක් කොහොඹ කොළ තම්බන ලද ජලයෙන් ස්නානය කරන්න.
  • කොහොඹ සහ අමු කහ පැක් එකක් ලෙස සකස් කර මාසයකට දෙවරක් භාවිතා කරන්න.
  • නෙල්ලි රසකිද සතියකට වරක් තම්බා පානය කරන්න 
  • වෙනිවැල් ගැට තම්බා සතියකට වරක් හෝ පානය කරන්න 

දිලීර ආසාදනයක් ඇතිවිට නිවසේදී කළ හැකි සරල පිළියම් 

පිළියම්  අංක

  • සුදු ළූණු බික් කිහිපයක් ගෙන ඒවායේ පොතු ඉවත් කර ගන්න.
  • ඉඟුරු කෑල්ලක් ගෙන එහි පොතු ඉවත් කර සුද්ධ කර ගන්න.
  • මේ සියල්ලම එකතු කර හොඳින් කොටා ගන්න.
  • කොටාගත් ඉඟුරු සුදුළූණු පේස්ට් එකට කහ කුඩු ස්වල්ප්යක එකතු කර හොඳින් කලවාම් කර න්න. පසුව එයට පොල් තෙල් මේස හැදි බාගයක් ද එකතු කර කලවම් කරගෙන දෙහි බෑයක යුෂත් එයටම එකතු කරන්න. මේ සියල්ලම හොඳින් කලවම් කර දිලීර ආසාදනය සහිත ප්‍රදේශයේ ඝනට ආලේප කරන්න. මෙය සතියක පමණ කාලයක් දිනපතා ආලේප කිරීමෙන් දිලීර ආසාදනය ක්‍රමයෙන් සුවපත්භාවයට පත්කර ගන්නට පුළුවන්.

පිළියම් අංක

  • කොහොඹ කොළ ස්වල්පයක් , නිදිකුම්බා වැල් ස්වල්පයක්  අමු කහ කෑලි 2 ක්  සපයා ගන්න.
  • කොහොඹ කොළවල නටු කඩා කැලීවලට කඩා ගන්න. නිදිකුම්බා ද කෑලිවලට කපා ගන්න.
  • අමුකහ කෑලි කිහිපය කැබලිවලට කපා ගෙන  මේ සියල්ලම වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න.
  • සිහින්වන තුරු කොටාගත් මේ පේස්ට් එක දිලීර ආසාදන ඇති ස්ථානවල විනාඩි 20 තබා රෙදි කැබැල්ලකින් බැද තබා ඉවත් කරන්න.

පිළියම් අංක

  • කොහොඹ කොළ, නිදිකුම්බා වැල් සහ අමු කහ ආදි සියල්ල මුට්ටියකට දමා ප්‍රමාණවත් තරම් ජලය යොදා හොඳින් තම්බා ගන්න. මෙය හොඳින් තැම්බුණු පසුව මදක් නිවෙන්නට තබා මද රස්නයෙන් ඇඟ සෝදා ගන්න.

දිලීර ආසාදනයන් ඇති වූ පසු සුවකර ගන්නට දිගු කාලයක් ගත වන නිසා වඩාත් සුදුසු වන්නේ එවැනි ආසාදනයන් ඇතිවීම වළක්වා ගැනීමයි. මේ පිළියම්වලින් යම්  සුවයක් නොලැබෙන්නේ නම් හෝ එය වඩාත් දරුණු ලෙස ඇතිවී ඇත්නම් පමා නොකර වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගත යුතු වෙනවා.එහිදී දිලීර නාශක ආලේපන වර්ග මෙන්ම දිලීර නාශක පෙති වර්ග පානය කිරීමටත් ලබාදෙනු ලබනවා. වෛද්‍ය උපදෙස්වලට අනුව එම ප්‍රතිකාර නිසිලෙස පිළිපැදීම මගින් ඒ දිලීර ආසාදනයන් සාර්ථක ලෙස සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.