උපත ලබන අපි හැමෝම වයසට යනවා. වයසට යන එක අපිට නතර කර කරන්නට හැකියාවක් නැහැ. නමුත් වයස්ගත වෙන ලක්ෂණ යම්තාක් දුරකට පමා කරගන්නට අපිට විවිධ ක්‍රමෝපායන් උත්සාහ කර බලන්නට පුළුවන්. විශේෂයෙන්ම ආයුර්වේදය තුළ නිරන්තරයෙන්ම භාවිතයට ගැනෙන විවිධ ක්‍රම අපිට මේ සඳහා භාවිතා කරන්නට පුළුවන්. ඒවා අපේ ලස්සන බොහෝකාලයක් රැක ගන්නට විතරක් නෙවෙයි නිදුක් නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වෙන්නටත් අනිවාර්යෙන්ම උදව් වෙනවා.
ඒ නිසා අපි අද ඔයාට කියලා දෙන්න යන්නේ වයස්ගතවීම පමා කරල අපේ සුන්දර බව බොහෝ කාලයක් රැක ගන්නට උදව් වෙන අපූරු විස්මිත සංයෝගයක් ගැන.
මේ සංයෝගයට අපිට මූලිකවම අවශ්‍ය වෙන්නේ මී පැණි සහ නෙල්ලි. ආයුර්වේදයේ නිතරම භාවිතයට ගැනෙන ඖෂධයක් තමයි මී පැණි ඒ වගේම නෙල්ලි.
මුලින්ම මීපැණි ගැන කතා කළොත් සොබාදහමෙන් අපිට දීපු හරි අපූරු වටිනා දායාදයක් තමයි මී පැණි කියන්නේ. ආහාර රසවත් කර ගන්නට, ආහාර කල් තබා ගන්නට විතරක්ම නෙවෙයි බොහෝ ලෙඩ රෝගවලට ඖෂධයක් විදිහටත් අපිට මී පැණි භාවිතයට ගන්නට පුළුවන්. ඕනෑම ආහාරයක් මී පැණිවල දමා ඕනෑ තරම් කාලයක් තබාගන්නට හැකියාව තියෙනවා. මොකද එවිට කිසිම බැක්ටීරියාවක් මී පැණිවලට ඇතුළු වෙන්නට හැකියාවක් නැහැ. යම් බැක්ටීරියාවක් මෙයට ඇතුළු වුණොත් ඒ සැණින්ම බැක්ටීරියාව විජලනයට ලක්වෙලා මරණයට පත්වෙනවා .මොකද පිරිසිදු මී පැණිවල ජලය අඩංගු වෙන්නේ නැති නිසා.මේ නිසාම අනාදිමත් කාලයක ආහාර පාන වර්ග කල් තබා ගන්නට මීපැණි භාවිතා කළා.
නමුත් අද අපිට පිරිසිදු නැවුම් මී පැණි සොයාගන්නා එක නම් තරමක් ගැටලුවක්. නමුත් හොඳ තත්ත්වයේ මී පැණි භාවිතා කළොත් ලබාගන්නට හැකි ප්‍රතිලාභ නම් සුළුපටු නැහැ.
ඒ වගේම තමයි නෙල්ලි එහෙම නැත්නම් අම්ලා කියන්නේ. ලුණු රස හැරුනහම අනිත් රසයන් සියල්ලම වගේ මේ පුංචි නෙල්ලි ගෙඩියේ අන්තර්ගත වෙනවා. ප්‍රමාණයෙන් පුන්චි වුණත් විශාල ප්‍රයෝජන රාශියක් තියෙන පලතුරක් තමයි මේ නෙල්ලි.මේ අපූරු සුසංයෝගය සකසා ගන්නේ මෙහෙමයි.
1. අවශ්‍ය ද්‍රව්‍ය

එළඟි තෙල්-එළඟි තෙල් කියන්නේ දීර්ඝායුෂ ලබා ගන්න තියෙන හොඳම ඖෂධයක්. ඒ වගේම ඉහළ කොලෙස්ටරෝල් මට්ටමක සිටින පුද්ගලයන් සඳහා සෞඛ්‍ය සම්පන්න මේද සහිත මූලාශ්‍රයක්. මතක ශක්තිය වර්ධනය, හදවතේ ආරක්ෂාව, ඔක්සිකාරක ආතතියට එරෙහිව සටන් කිරීම, බඩවැල්වල සෞඛ්‍ය වර්ධනය කිරීම ආදී මෙකී නොකී වාසි බොහොමයක්ම අපිට ඉතා පහසුවෙන් ලබා ගන්නට එළඟි තෙල් භාවිතා කරන්නට පුළුවන්.
අරළු කුඩු තේ හැඳි එකක් -අරළු කියන්නේ ආයුර්වේදය තුළ බහුලවම භාවිතයට ගැනෙන ඖෂධයක්. ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට, මලබද්ධය ඇතිවීම වලක්වන්නට ආදී බොහෝ ප්‍රතිලාභ මෙයින් ලබා දෙනවා. ඒ වගේම මුඛ රෝග තුවාල ආදී ආසාදන, සමේ ලප කැළැල් දුරුකරගන්නත් අරළු භාවිතා කිරීම සුදුසුයි.
තිප්පිලි තේ හැදි එකක් -කැස්ස සහ සෙම් රෝග තත්ත්වයන්වලින් හොඳ ආරක්ෂාවක් ලබා ගන්නට තිප්පිලි අපිට උදව් වෙනවා.ඒ වගේම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා උත්තේජනය, නින්ද නොයාම ආශ්‍රිත ගැටලු සමනය කිරීම, ස්වසන පද්ධතිය පුනර්ජීවනය, අස්ථි ශක්තිමත් කිරීම, ආහාර ජීර්ණය ප්‍රවර්ධනය, ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීම, හෘද සෞඛ්‍ය සමේසෞඛ්‍යය වර්ධනය සහ ශරීර ශක්තිය වර්ධනයත් දියවැඩියාව පාලනයත් ආදී මෙකී නොකී වාසි බොහොමයක්ම ලබා ගන්නට පුළුවන්.
වැල්මී කුඩු මේස හැදි එකක්-වැල්මී සතු ඖෂධීය වටිනාකම ඉතාම ඉහලයි. ස්වසන රෝග, දත් දිරායාමේ ගැටළු වගේම බැක්ටීරියා සහ වෛරස් ආසාදන සුව කිරීමේ සුවිශේෂී ගුණයක් ද මේවා සතුවෙනවා. ඒ වගේම මතක ශක්තිය දියුණු කර, ආතතිය සමනය කරන්නටත්, මොලයේ පුනර්ජීවනය ඇති කරන්නටත්, දියවැඩියා රෝගයේ රෝග ලක්ෂණ පාලනය කරන්නටත්, සමේ ගැටලු සියල්ලක්ම වගේ නිරාකරණයටත් හදවතේ නිරෝගී බවටත් අක්මාවේ නිරෝගී බවටත් වැල්මී අතිශයින්ම වැදගත්.
සුදු ලූනු ගෙඩි 15-සුදුළූණු කියන්නේ අමෘතය වගේ ආහාරයක්. ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට, අර්ශස් ආදී ගුද මාර්ගය ආශ්‍රිත රෝගාබාධවලට, පිළිකා ඇතුළු බෝ නොවන රෝග බොහොමයක් සඳහාත් සුදුළූණුවලින් ආරක්ෂාව සලසනවා. ඒ වගේම සුදු ළූණු ආහාර රුචිය ඇති කිරීම, අධි රුධිර පීඩනය වැළැක්වීම, අනවශ්‍ය මේදය දියකර හැරීමටත් සමත් ඉතාම ගුණදායක ආහාරයකි.සුදුලූනුවල නියම ගුණය ලබා ගන්නට නම් එය සීනි හකුරු ආදිය සමඟ භාවිතා නොකළ යුතු බව මතක තියාගත යුතුයි.
- අමු නෙල්ලි ගෙඩි 25-30පමණ
- පිරිසුදු මී පැණි
සාදා ගන්නා ආකාරය-මුලින්ම වැල්මී කුඩු, අරළු කුඩු සහ තිප්පිලි කුඩු අවශ්‍ය ප්‍රමාණයන්වලින් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඉන්පසු එයට එළඟිතෙල් සහ මී පැණි එකතු කර පේස්ට් එකක් ලෙස සාදා ගන්න.
මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාව තමයි ඔබ තරබාරු පුද්ගලයෙක් නම් මේ වට්ටෝරුව සාදා ගැනීමේදී එළඟි තෙල් අඩුවෙන් සහ මී පැණි වැඩිපුර එකතු කරගන්න. මොකද ශරීරයේ ස්ථූලභාවය නැති කරන්නට මී පැණිවලට සුවිශේෂී හැකියාවක් තියෙන නිසා. ඒ නිසා ඔබට එළගි තෙල් මේස හැන්දක් මී පැණි මේස හැදි තුනක් පමණ එකතු කරන්නට පුළුවන්.
ඔබ තරමක කෘශ අයෙක් නම් ඔබට ශරීරය පෘෂ්ටිමත් කර ගන්නට අවශ්‍ය නම් ඔබ මේ පේස්ට් එක සාදා ගැනීමේදී මී පැණි මේස හැන්දක ප්‍රමාණයක් සහ එළඟිතෙල් මේස හැදි 3 ක පමණ ප්‍රමාණයක් එකතු කරගන්න .
මේ ආකාරයට සකසා ගත් මිශ්‍රණයට පොතු ඉවත් කර පිරිසුදු කරගත් සුදුලූණු ටික එකතු කරගන්න. ඉන්පසුව අමු නෙල්ලි ගෙඩි සියල්ලම ගෑරුප්පුවක් ආධාරයෙන් හොඳින් සිදුරු සාදා ගෙන ඒවත් මේ පේස්ට් එකටම හොඳින් එකතු කරගන්න. අමු නෙල්ලි ගෑරුප්පුවක් ආධාරයෙන් සිදුරු කිරීමෙන් අපි සාදාගත් පේස්ට් එකේ ගුණය සාරය ඉතා හොඳින් නෙල්ලි ගෙඩිය තුළට කාවැදීම සිදුවෙනවා.
ඉතින් මේ සියල්ල හොඳින් කලවම් කර ගෙන සෝදා පිරිසුදු කර හොඳින් ජීවානුහරණය කර ගත් වීදුරු බෝතලයකට මේ මිශ්‍රණය ඉතා ප්‍රවේසමින් දමා ගන්න. ඉන්පසුව එයට ඔබේ අනිකුත් ලෙඩ රෝග, ශරීරයේ බර ආදිය අනුව එයට එළඟිතෙල් හෝ මී පැණි එකතු කරගන්නට පුළුවන් සුදුලූනු සහ නෙල්ලි වැසෙන ආකාරයට.
මුලින් සඳහන් කළා වගේ ඔබ කෘෂ කෙනෙක් නම් ඔබට මේ සඳහා එළඟිතෙල් පමණක් භාවිතා කරන්නට පුළුවන්. නමුත් ඔබ ස්ථූල කෙනෙක් නම් මේ නෙල්ලි සහ සුදුලූනු වැසෙන පරිදි මී පැණි පමණක් එකතු කරන්නට පුළුවන්. ඉන්පසු මෙය දින පහක පමණ කාලයක් හොඳින් වසා තියෙන්නට හැර ඉන්පසුව ඔබේ ආහාරයට ගන්නට පුළුවන්.
දිනපතා උදෑසන හිස්බඩ නෙල්ලි ගෙඩියක් සහ සුදුලූනු බික් එකක් මේ පේස්ට් එක සමඟ ආහාරයට එකතු කරගන්නට ඔබට පුළුවන්.
2. දෙවන ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය
- පිරිසිදු මී පැණි
- අමු නෙල්ලි
මෙය ඉතා පහසුවෙන් ඔබට සාදාගන්නට පුළුවන්. අමු නෙල්ලි දෙකට කපා එහි ඇට ඉවත් කර මේ සඳහා ඔබට භාවිතා කරන්නටත් පුළුවන්. එසේ නැත්නම් මුලින් සඳහන් කළ ආකාරයටම ගෑරුප්පුවකින් සිදුකරමින් සකසා ගන්නටත් පුළුවන්.
ජීවානුහරණය කරන ලද පිරිසිදු වීදුරු බෝතලයක් අරගෙන අමු නෙල්ලි එයට දමා ඒවා හොඳින් වැසෙන සේ පිරිසිදු මී පැණි එයට එකතු කරගන්න. මෙය දින තුනක් හතරක් පමණ වසා තිබෙන්නට හැර භාවිතයට ගන්න.
මෙයත් උදෑසන හිස්බඩ ආහාරයට එකතු කර ගැනීමෙන් ප්‍රතිලාභ ලබාගන්නට පුළුවන්.
කුමන ආකාරයකට නෙල්ලි මී පැණි සංයෝගය ඔබ සකස් කර ගත්තත් එයින් ඔබේ ශරීරයට ලැබෙන ගුණ රාශිය නම් මෙතෙකැයි කියන්නට බැහැ .
සම වයසට යාම වළක්වනවා-මෙය දිනපතා ආහාරයට ගැනීම මගින් සම අකලට වියපත් වීම පාලනය කරනවා. ඒ වගේම වයස්ගත වීමත් එක්ක සමේ වියපත්වීමේ ලක්ෂණ ඇතිවීමත් ප්‍රමාද කරනවා. සමේ දීප්තිමත් බවත් ඇති කරනවා.
ආසාදන තත්වයන් ඇතිවීම වළක්වනවා.විශේෂයෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස ආදී ස්වසන ආබාධ සුවපත් කරගන්නට මෙයින් හැකියාව ලැබෙනවා. මොකද මීපැණිවල වගේම නෙල්ලිවලත් බලවත් ප්‍රතිබැක්ටීරියා කාරක ගුණාංගයන් අන්තර්ගතව තියෙනවා.
- අක්මාවේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදු කරන්නට උපකාරී වෙනවා.
- ශ්වාසනාලිකා ප්‍රදාහය, ඇදුම ඇතුළු ස්වසන රෝගවලින් ආරක්ෂාව සලසනවා.
- පිළිකාවලින් ආරක්ෂාව සලසනවා.
- කොලෙස්ටෙරෝල් පාලනය කරනවා.
- මතක ශක්තිය දියුණු කරනවා.
- මලබද්ධය ඇතිවීම වළක්වනවා.
- ආහාර රුචිය වර්ධනය කරනවා.
- ආහාර ජීර්ණය වර්ධනය කරනවා.
- ඖෂධ ලබා ගැනීම නිසා ඇතිවන අපහසුතා දුරු කරනවා.
- ශරීරයේ අනවශ්‍ය බර පාලනයට උදව් වෙනවා.
- ශරීරයේ විෂ ඉවත් කරනවා.
- කාන්තාවන්ගේ සහ පිරිමින්ගේන්ගේ ප්‍රජනන දෝෂ සමනය කරනවා.
- ඔසප් චක්‍රය ආශ්‍රිත ගැටලු සමනය කරනවා.
- ඇස් පෙනීම වර්ධනය කරනවා.
- හිසකෙස් ආශ්‍රිත ගැටළු සියල්ලම දුරුකරනවා.
නිතර අපේ ආහාරයට එකතු නොවෙන නෙල්ලි සහ මී පැණි වගේම වෙනත් වටිනා ඔසු භාවිතයෙන් සැකසෙන මේ සංයෝගය සැබැවින්ම ඔබ අපි හැමෝටම නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වෙන්නට අතිශයින් උපකාරී වෙනවා.