කොකු පණුවන් ශරීරයට ඇතුල්වී ඇති බව පෙන්නුම් කරන ලක්ෂණ 17 ක්

health tips

එදා තරම්ම නොමැති වුණත් පණු රෝග තවමත් අප අතර තියෙනවා. ඒ නිසාම දරුවන් වගේම වැඩිහිටි අයත් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි කුඩා දරුවන් මරණයට පවා පත් කරන්නට තරම් මේ පණු රෝග ප්‍රබල බව අපි සියලුදෙනාම දැනගත යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ බහුලව දකින්නට හැකි පණු රෝග අතර වට පණු, කොකු පණු, කස පණු හා කිරි පණු ආදී රෝග සුලබයි. මේ අතුරින් කොකු පණු රෝගය වළක්වා ගන්නට දරුවන් කොකු පණු රෝගයෙන් ආරක්ෂා කරගන්නට කළ හැකි දේ මොනවාද කියලා විමසා බලමු.

කොකු පණු වර්ග කිහිපයක්ම සිටිනවා. මේ කොකු පණුවා අපේ සිරුරේ කුඩා බඩවැලේ කොක්කක් වගේ එල්ලී රුධිරය උරා බොමින් ජීවත් වෙනවා. මේ නිසා ලේ හිඟවීම සිදු වෙනවා .බොහෝ අය මේ තත්ත්වයට පාණ්ඩුව කියලා කියනවා. ඒ වගේම කොකු පණුවා ලේ උරා බොන්නට බඩවැල සිදුරු කළ විට ලේ කැටි නොගැසෙන්නට රසායනික ද්‍රව්‍යයක් ඒ ස්ථානයට ඇතුළු කරනවා. ඒ නිසා පණුවා එතනින් ඉවත් වුණත් බොහෝ වේලාවක් නොනැවතී රුධිරය ගලා යනවා.ඒ ලේ මල සමඟ පිටවීම නිසා මලපහ කළු පැහැයක් ගන්නවා.දරුවන්ගේ වගේම ගැබිනි මවුවරුන්ගේ රක්තහීනතාවයටත් මේ පණු රෝගය හේතු වෙනවා. මරණය පවා ගෙන දෙන මේ කොකු පණු රෝගය පිළිබඳව අපි සියලු දෙනාම දැනුවත්ව සිටිය යුතුයි.

කොකු පණුවාගේ ගැහැණු සතා දිගින් වැඩියි.ඔවුන් සංසර්ගයෙන් පසුව බඩවැල් තුළ බිත්තර දානවා. මේ බිත්තර  මල සමඟ බාහිර පරිසරයට එකතු වෙනවා. ඒ නිසා දරුවන්ගේ වගේම වැඩිහිටි සැමගේම ශරීරයට මේ මල සමඟ පරිසරයට එකතු වන කොකු පණු බිත්තර වැඩීමෙන් පසු ඇතුල් වෙනවා. 

පණුවන් ශරීරගත වන්නේ කොහොමද 

  • පණුවන් අත් හා පාදවල සම සිදුරු කරගෙන වගේම මුඛයෙන් පවා ඇතුල් විය හැකියි.
  • අපි ආහාරයට ගන්නා එළවලු පලතුරු වර්ගවලින් පණු බිත්තර ඇතුළු විය හැකියි.
  • සනීපාරක්ෂක වැසිකිලි භාවිතා නොකිරීම නිසා. එවිට භූමියේ තැනින් තැන මලපහ කිරීමෙන් පණුවන් ශරීරයට ඇතුල් වෙනවා.
  • අත් මේස් නොදා පස් ආදිය ඇල්ලීමෙන් 
  • සත්ත්වයන්ගේ මළ මගින් 
  • අපිරිසිදු ජලය පානයෙන් 
  • ඌරු මස්, හරක් මස් වැනි ආහාර හොඳින් පිසීමෙන් තොරව ආහාරයට ගැනීමෙන්.
  • ගෘහාශ්‍රිතව ඇති කරන බල්ලා, බළලා, ගවයා, ඌරා වැනි සතුන් මගින් 
  • පාවහන් නොමැතිව එළිමහනේ ඇවිදීමෙන් ඇඟිලිකරු සිදුරු කරමින් කොකු පණුවා ශරීරගත වෙනවා. එවිට මේ ස්ථාන අධික ලෙස කැසීමට ලක්ව වණවීමට පටන් ගන්නවා.දියමැටියන් කෑම යනුවෙන් ව්‍යවහාර වන්නේ මේ කොකු පණුවන් ශරීරගත වුණු ස්ථානයන්. 
  • කුඩා දරුවන් බිම වැටී ඇති ආහාර අහුලා කෑම මගින් පණුවන් ශරීරගත වෙන්නට පුළුවන්.

අත් හා පාද මගින් හෝ මුඛය මගින් ලේවලට ඇතුල් වුණු කීටයන් ලේ හරහා හදවතටත්, හදවතේ සිට පෙනහැලිවලටත් ඉන්පසු ශ්වාසනාලයටත් එයින් උගුරටත් යනවා. ආමාශයේදී විනාශ නොවන අපිචර්මයක් තියෙන නිසා කුඩා බඩවැල දක්වාම ගමන් කරන්නට ලේ උරාබොමින් ජීවත් වෙන්නට කොකු පණුවාට හැකි වෙන්නේ අපේ අයහපත් සෞඛ්‍ය පුරුදු නිසාමයි.

කොකු පණුවන් ශරීරයට ඇතුල්වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ 

ශරීරයට කොකු පණු කීටයන් රුධිරගතවීමෙන් පසුව රෝග ලක්ෂණ මතුවීම ආරම්භ වෙන්නේ මාස 3-4 ක කාලයකට පසුවයි.

  • නීරක්තිය ඇතිවීම 
  • ශරීරය සුදුමැලිවීම 
  • අලසකම 
  • නිතර මහන්සිය දැනීම 
  • නොසන්සුන්භාවය 
  • ගුද මාර්ගය කැසීම 
  • උණ හටගැනීම  
  • ඔක්කාරය 
  • හතිය / හුස්ම ගැනීමෙ අපහසුව (විශේෂයෙන්ම කොකු පණු කීටයන් පෙණහැලිවල ගත කරන කාලයේදී ඇතිවෙයි.) 
  • ආහාර අරුචිය 
  • උදරයේ ඉහළ කොටසේ වේදනාව 
  • බඩ වියළීම 
  • උදරය ඉදිරියට නෙරා ඒම 
  • ශරීරයේ අප්‍රාණිකත්වය 
  • මුහුණ, දෙපා වළලුකර, ඇස් යට ඉදිමීම 
  • හුණු, ගල්, හාල්, වළං කැබලි හා අඟුරු ආදිය ආහාරයට ගන්නට ඇතිවන රුචිය
  • දරුණු තත්ත්වයේදී කොකු පණුවා සිරුරේ ප්‍රෝටීන උරා බීමෙන් දිගුකාලීනව ශරීරයේ බර අඩු තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. 

පණු රෝගවලින් ආරක්ෂා වීම සඳහා 

  • එළවලු පලතුරු අමුවෙන් ආහාරයට ගැනීම පෙර හොඳින් සෝදා ගැනීම. 
  • පලා වර්ග ලුණු ස්වල්පයක් දමා සේදීම 
  • උණුකර නිවාගත් ජලය පානය කිරීම 
  • නිතර පිරිසිදු ජලය පානය කිරීම 
  • වැසිකිලියාමෙන් පසුව අත් සබන් යොදා සේදීම 
  • එළිමහනේ ඇවිදින විට පාවහන් පැළද ගැනීම 
  • මිනිස් මළ ද්‍රව්‍යයන් කිසිසේත් පොහොර ලෙස භාවිතා නොකිරීම 
  • කුඩා දරුවන්ට සහ පවුලේ සියලුදෙනාම නිසි කළ පණු බෙහෙත් ලබාගැනීම 
  • ඇදුම් පැලදුම් ඇද ඇතිරිලි පිරිසිදුව තබා ගැනීම 
  • දිනපතා ස්නානය කිරීම 

කොකු පණු රෝගය වැළදී ඇති බව ස්ථිරව දැන ගන්නට මළවල පණු බිත්තර ඇත්දැයි පරීක්ෂා කළ යුතු වෙනවා. එහිදි ඖෂධ ප්‍රතිකාර ලබාදෙනවා.රක්තහීනතාවය ඇතිවීම වළක්වා ගන්නට පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) කළ යුතු වෙනවා. එහිදි යකඩ ඌණතාවයට යකඩ අතිරේක ප්‍රතිකාර ලබාදෙනවා.පවුලේ එක් අයෙකුට වැළදි තිබුණොත් අනෙක් සියලුම දෙනාට මේ පණු රෝග වැළදිය හැකි නිසා පවුලේ සියලුදෙනා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි.පණු රෝග ආසාදිත අයෙක්ට ප්‍රතිකාර කිරීමේදී පවා නිවසේ සියලුදෙනාම ප්‍රතිකාර ලබාගත යුතුයි.