ඔබේ නිවස තුල නොතැබිය යුතු විසිතුරු ශාක වර්ග 10 ක්

health tips

නිවස ඇතුලේ විවිධ විසිතුරු ශාක බඳුන් තබා තිබීම අද කාලයේ දක්නට ලැබෙන දෙයකි. විශේෂයෙන්ම සීමිත ඉඩකඩක් සහිත නිවෙස් හා මහල් නිවාස වැනි එලිමහනේ ඉඩ නොමැති නිවාස වල මෙසේ නිවස තුල විසිතුරු පැළ බඳුන් තබා තිබේ. ඇතැම් විශාල නිවාස වල අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්‍රමයක් ලෙස මෙසේ නිවස ඇතුලත ස්ථාන වල පැළ බඳුන් තැබීම ප්‍රචලිත වී ඇත.කෙසේ වෙතත්, ඔබේ නිවස අලංකරණයට පෙර ඔබ ප්‍රමුඛස්ථානය ලබාදිය යුතුවන්නේ නිවැසියන්ගේ සුරක්ෂිත බව කෙරෙහිය. මෙසේ පැවසීමට ප්‍රබල හේතුවක් ඇත.එනම් ඔබේ නිවස අලංකාර කරවන ඇතැම් විසිතුරු ශාක ඔබේත් සෙසු නිවැසියන්ගේත් ශාරීර සෞඛ්‍යයට හානිකර විය හැකි බව තහවුරු වී තිබීම නිසයි.

 ඒ ආකාරයෙන් ඔබේ සිරුරට විෂ විය හැකි ශාක වර්ග 10 ක ලැයිස්තුවක් පහත දැක්වේ. ඔබේ නිවස තුලත් මේවා තබා ඇත්නම් වහාම ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීම නුවණට හුරු වේවි.

  1. ඩයිෆෙන්බැචියා (Dieffenbachia)

ඩයිෆෙන්බැචියා ශාකය අලංකාර වර්ණයක් සහිත පත්‍ර වලින් යුක්ත වුවත් එය විෂසහිත ශාකයකි. හදිසියේ හෝ මේ ශාකයේ කොටසක් ශරීරගත වුවහොත් කටේ තුවාල දැමිම, පාචනය හටගැනීම, ඔක්කාරය හා වමනය ඇතිවීම, කටේ සහා උගුරේ දැවිල්ල හටගැනීම,ඉදිමීම සහා වේදනාව හටගැනීම සිදුවිය හැක.

  1. සැන්සිවියේරියා (Sansevieria)

‘ස්නේක් ප්ලාන්ට්’ (snake plant) ලෙසින් වඩාත් ජනප්‍රිය වී ඇති සැන්සිවියේරියා ශාකය ගෘහස්ථ අලංකරණ ශාකයක් ලෙස බහුලව භාවිතා වන්නකි. මෙම ශාකයේ ‘සැපොනින්’ නම් සංඝටකයක් අඩංගු වන අතර මෙම පත්‍ර හදිසියේ හෝ ආහාර මාර්ගයට ඇතුල් වුවහොත් එහි ඇති විෂ ශරීරගත විය හැකිය, ‘සැපොනින්’ නම් විෂ සංඝටකය ඔක්කාරය,වමනය සහා පාචනය ඇතිකරවිය හැකි නිසා මෙම ශාකය හැකිතාක් ඔබේ සුරතලුන්ගෙන් පවා ඈත්ව තැබීමට කටයුතු කිරීම උචිත වේවි.

  1. ලකී ප්ලාන්ට්/ සී සී ප්ලාන්ට්

නිවසට සෞභාග්‍යය ලැබෙනවායි විශ්වාස කරමින් බොහෝ නිවාස වල ලකී ප්ලාන්ට් පැළ බඳුනක් හෝ තබා ඇති ආකාරය දැකිය හැකියි. නමුත්, මෙම ශාකය ඉතා විෂ සහිත ශාකයක් වන අතර එහි පත්‍ර නිසා සම මතුපිට දැවිල්ල හා වේදනාව ඇතිකරවිය හැකි අතර ශරීරගත වීමෙන් සිරුර ඉදිමීම වැනි භයානක ප්‍රතිඵල ඇතිවිය හැක.

පත්‍ර වල කිරි ගෑවුණහොත් වහාම ගලා යන ජලයෙන් එම නිරාවරණය වූ සම සෝදා පිරිසිදුකර අවශ්‍යනම් වෛද්‍යවරයෙකු මුණගැසී ප්‍රතිකාර වෙත යොමුවෙන්න.

  1. කෝමාරිකා

කෝමාරිකා යනු ඉතා ඖෂධීය ශාකයක් සහා බොහෝ ප්‍රතිලාභ ලබාදෙන ශාකයකි. නමුත්, මේ ලැයිස්තුවට කෝමාරිකාත් එක් වී තිබේ. විද්‍යාඥයින්ගේ සොයාගැනීමකට අනුව හෙලි වී තිබෙන්නේ මෙම ශාකයේ පාචනය,විවිධ ආසාත්මිකතා සහා වකුගඩු ගැටළු ඇතිකරවිය හැකි ආකාරයේ හානිකර සංඝටක ද අඩංගු වන බවයි.

  1. දාස්පෙතියා ශාකය (Marigold)

‘ටැගිටිස්’ එසේත් නැතිනම්, දාස්පෙතියා ශාක කොටස් ශරීරගත වීමෙන් ගෑස් සහා ආන්ත්‍රික (බඩවැල් තුළ) අපහසුතා ඇතිවීමට ඉඩ ඇත. මෙම ශාකයේ කිරි සම මත ගෑවීමෙන් සම මතුපිට පලු මතුවීම සිදුවිය හැක.

  1. ‍ෆිලොඩෙන්ඩ්‍රන් ශාකය (Heartleaf philodendron)

මෙම ශාකයේ අඩංගු කැල්සියම් ඔක්සලේට් නම් සංඝටකය හේතුවෙන් වේදනා හටගැනීම සහා ගිලීමේ අපහසුතා මතුකරවන බව සොයාගෙන ඇත. මෙම ශාකය කොතරම් අලංකාර වුණත් ඔබේ සුරතලුන්ගෙන් ඈත්කර තැබීමට සැලකිලිමත් වීම වැදගත් වේ.

  1. කැලේඩියම් (Caladium)

හදවත හැඩයෙන් යුත් මෙම ශාකයේ පත්‍ර ඉතා විසිතුරු වුවත් මෙම ශාකය ඉතා භයානක සහා විෂ සහිත ශාකයකි.කුඩා ළමුන්ට හා සුරතලුන් හට මේවා ස්පර්ෂ වීම හෝ ශරීරගතවීම සිදුවුවහොත් කෙල වැක්කිරීම සහා ශ්වසන අපහසුතා මතුවීමට ඉඩ ඇත. මෙවැනි අවස්ථාවකදී හැකි ඉක්මනින් විෂ විද්‍යා විශේෂඥයෙකු වෙත යොමු වී ආසාදනය වූ සම සඳහා ප්‍රතිකාර ලබාගැනීම වඩාත් උචිත වේවි.

  1. මනී ප්ලාන්ට් හෙවත් පොතොස් ශාකය (Pothos)

මනී ප්ලාන්ට් ශාකයේ පත්‍ර ඉතා විශාල සහා ආකර්ෂණීය හැඩයකින් යුක්ත වේ. මෙම ශාකය Devil’s Ivy යන අන්වර්ථ නාමයකින් ද හඳුන්වනු ලබයි. මනී ප්ලාන්ට් ශාකය ඉහත සඳහන් කල අනෙකුත් ශාක මෙන්ම විෂ සංඝටක අඩංගු ශාක වර්ගයකි. විශේෂයෙන්ම එහි අඩංගු කැල්සියම් ඔක්සලේට් වැනි හානිකර සංඝටක නිසා ඒවා ශරීරගත වීමකදී තොල් වල, දිව සහා කට ඇතුලත දැවිල්ල සහා කැසිල්ල හටගැනීම, අධිකව කෙල වැගිරීම සහා වමනය වීම සිදුවිය හැකියි.

  1. යුෆෝර්බියා ශාකය (Euphorbia tirucalli)

නවහන්දි ශාකවර්ගයක් වන යුෆෝර්බියා ශාකයේ විෂ සහිත කිරි සමේ හෝ ඇස් වල ස්පර්ෂ වීමෙන් ඉතා දරුණු වේදනාවක් සහා කැසිල්ලක් හටගත හැකිය. එබැවින් මෙම ශාක වර්ග නඩත්තු කිරීමේදී ඔබේ අත් සහා ඇස් ආවරණය කරගනිමින් එම කටයුත්තේ යෙදීම වඩාත් සුදුසු වනු ඇත. මෙම ශාක පත්‍ර වල කිරි ඇස් වල තැවරීම සිදුවුණහොත් ඇස් රතු වීම, ඇස් කෙවෙන ස්වභාවය සහා දැවිල්ල හටගැනීම සිදුවිය හැකි අතර පුද්ගලයාගේ පෙනීම අඩුවීයාමට හේතුවක් විය හැක.

  1. ඩිජිටලිස් හෙවත් ෆොක්ස්ග්ලෝව් ශාකය (Foxglove)

‘Diditalis purpurea’ යනුවෙන් හඳුන්වන මෙම ශාකයේ අලංකාර දම් පැහැති මල් හටගන්නා අතර මේවා උද්‍යාන සහා නිවාස වල විසිතුරු පැළ ලෙස සි‍ටුවා ඇති ආකාරය දැකිය හැකිය. නමුත්, මෙම ශාකයේ පත්‍ර,මල් සහා බීජ වල ‘ඩයිගොක්සින්’ නම් සතුන්ට හා මිනිසුන්ට පවා මාරාන්තික විය හැකි ආකාරයේ විෂ සංඝටක අඩංගු වන බව බොහෝ දෙනා නොදනිති. නිවස ඇතුලත මෙම ශාකය තබාගැනීම කිසිසේත්ම සෞඛ්‍යාරක්ෂිත නොවනු ඇති බව ඔබට දැන් වැටහෙනවා ඇත. 

ඔබේ නිවැසියන් මෙන්ම සුරතල් සතුන් හට කිසිඳු හානියක් ඇති නොවීමටනම් මෙම විෂ සහිත පැළ බඳුන් නිවසෙන් හැකිතාක් ඉක්මනින් ඉවත් කිරීම සිදුකිරීමට වගබලා ගන්න.