තප්පර 5 කින් නිවසේ සිටින සියලු කරදරකාරී මැස්සන් පලවා හරින උපක්‍රම 9 ක්

health tips

ගෘහාශ්‍රිතව වාසය කරන අපිට කරදරකාරී වන කෘමි සතුන් අතරේ මැස්සා කියන්නේ අපි හැමෝටම මහත් වදකාරී සත්ත්වයෙක්. ඕනෑම අපිරිසිදු දෙයක වසා සිටින, අපිරිසිදු ස්ථානවල  වාසය කරන මැස්සන් මගින් පාචනය, අතීසාරය පණු රෝග ආදී රෝග බොහොමයක්ම පැතිරෙනවා. සෑම ස්ථානයකම පියාසර කරන මැස්සන් විවර කර ඇති ආහාරවල ආහාර සකස් කිරීමට ගන්නා භාජනවල වසා සිටීමෙන් නොයෙකුත් විෂබීජ ඒවාට එකතුවෙලා අපිව ලෙඩ කරනවා. ඒ නිසා ආහාර බදුන් නිතර වසා තබන්නටත් අපිට සිදු වෙනවා. නමුත් සෑම විටම අපි භාවිතයට ගන්නා  පිගන් කෝප්ප එළවලු පලතුරු ආදී සෑම දෙයක්ම නිතරම වසා තබන්නට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 

අනික කුඩා දරුවන් සිටින නිවෙස්වල දරුවන්ට මැස්සන් මගින් නොයෙකුත් විශබීජ ශරීරයට ඇතුල් වෙන්නට පවතින්නේ වැඩි ඉඩක්. ඒ නිසාම  මැස්සන් විනාශ කරන්නට හැකි විවිධ නිෂ්පාදන වෙළදපොලෙන් මිලදී ගන්නට හැකියාව තිබෙනවා. නමුත් විශාල ලෙස මැස්සන් සිටීමේදී මේ ක්‍රමවේද සාර්ථක වෙන්නේ නැහැ . ඒ විතරක් නෙවෙයි මැරුණු මැස්සන් කුණු වෙද්දි විශාල ලෙස මැස්සන් වර්ධනය වෙන්නත් පුළුවන්. මේ  නිසා වඩාත් සුදුසු  වෙන්නේ ස්වාභාවික ක්‍රම හරහා මැස්සන් පලවා හැරීම සහ නැවත  මැස්සන් වර්ධනය වෙන  හේතු නසාලීමයි.

නිවසේ  කුණු කසල ක්‍රමවත්ව ඉවත් කරන්න  මැස්සන් ආදී  සතුන් බෝ වෙන්නට බලපාන මූලිකම හේතුව වෙන්නේ නිවසේ ඇති අපිරිසිදු බව . එනම් අප ද්‍රව්‍ය ආදිය නිසිලෙස බැහැර නොකිරීම. නිවසේ එකතු වෙන කුණු වැසිය හැකි බදුනකට දමා නිසි ලෙස බැහැර කිරීම නිවසට මැස්සන් පැමිණීම වළක්වා ගන්නට උදව් වෙනවා. ඒ වගේමයි දිනපතාම එකතු වෙන ඉඳුල්  ආදීය දිනපතාම බැහැර කිරීමත් අනිවාර්ය වෙනවා. එසේ ඉඳුල් ආදිය දිනපතා  බැහැර නොකිරීම මගින් ඉහඩ පණුවන්  බෝ වීමත් එවිට මැස්සන් බෝ වීමත් සිදු වෙනවා. දිනපතාම මේ ඉඳුල් ඉවත් කළ නොහැකි නම් එයට ලුණු ස්වල්පයක් දැමීම ඉහඩ පණුවන් බෝ වීම වළක්වනවා. ඒ හැරුණාම නිවස වගේම අවට වටපිටාවත් පිරිසිදුව තබා ගැනීම මගින් මැස්සන් බෝ  වීම වළක්වා ගන්නට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම සුරතල් සතුන්ගේ මලපහ, සත්ත්ව මල සිරුරු,  සත්ත්ව මලපහ,  නිවසට ගෙනෙන මස් මාළුවල ඉවතලන කොටස්  මැස්සන් බෝ වීමට හොඳ පරිසරයක් නිර්මාණය කරනවා. ඒ නිසා වැනි කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න.

ගම්මිරිස් දියර ගම්මිරිස්වල ඇති කැප්සිකම් කියන රසායනික සංයෝගය මැස්සන්ගේ ස්වසන ක්‍රියාවලියට  බාධා ඇති කරනවා. ඒ නිසා කැප්සිකම්  රසායනිකය ඇති ස්ථානවලින් මැස්සන් ඉතා ඉක්මනින් ඉවත් යාම සිදු වෙනවා. මේ ගම්මිරිස් දියර සාදා ගන්නේ කුඩු කරගත් ගම්මිරිස් කුඩු උණු වතුරට එකතු කර හොඳින් මිශ්‍රකර පැය කිහිපයක් තබා ජලය පෙරා ගැනීමෙන්. එය මැස්සන් ගැවසෙන ස්ථානවලට ස්ප්‍රෙ  කිරීම මගින් මැස්සන් පලවා හරින්නට පුළුවන්. ඒ වගේම මේ ගම්මිරිස් දියරයෙන් පෙග වූ රෙදි කැබලි නිවසේ එල්ලා තිබීමත් මැස්සන් පලවා හරින්නට කදිමයි.

ජල බෑග් සංයුක්ත ඇස් හිමි මැස්සන් දිලිසීමක් තියෙන සෑම දේකින් ඈත්වෙන්නට කටයුතු කරනවා. ඒ නිසා වතුර පුරවන ලද බෑග් එල්ලා තැබීම මගින් මැස්සන් පැමිණීම වළක්වන්නට හැකියාව ලැබෙනවා. මේ සඳහා  පොලිතින් බෑග් භාවිතා කරන්නට පුළුවන්. මේ ආකාරයට පොලිතින් බෑගයේ භාගයක් පමණ ජලයෙන් පුරවා  නිවසට පිටතින්  හිරු එළිය හොඳින් වැටෙන ස්ථානයක එල්ලා තබන්න. 

කොහොඹ කොළ කොහොඹ කොළවලට තිත්ත රසයක් ගෙනදෙන නිම්බිඩින් කියන සංයෝගයට මැස්සන්ට ඉතා අප්‍රියජනක නිසා මැස්සන්ගේ කරදරයෙන් මිදෙන්නට කොහොඹ කොළ අපිට භාවිතා කරන්නට පුළුවන්.  ඒ නිසා කොහොඹ දුම භාවිතයෙන් මැස්සන් ඉතා ඉක්මනින් පලවා  හරින්නට පුළුවන්. කොහොඹ කොළ අළු ඔබේ කුණු බදුනට දැමීමෙන් එහි  පණුවන් බෝ වීමත් වැළකෙනවා.

ඒ හැරුණාම, මදුරුතලා , කැප්පෙටියා යන ශාකවල පත්‍රවලත් මැසි විකර්ශක ගුණ පවතින නිසා ඒවායින් දුම් ඇල්ලීමත් සුදුසුයි.

දාස් පෙතියා මල් කුඩා පෙති බොහෝ ප්‍රමාණයකින් සමන්විත දාස් මල් වලින් බොහෝදුරට පැතිරෙන සුවඳක් නිකුත් නොකළත් එයින් පිට කරන රසායනික කෘමි වර්ග කිහිපයකටම ඉතාම අප්‍රසන්නයි. විශේෂයෙන්ම  මදුරුවන්, මැස්සන් නිවස තුළට පැමිණීම වළකා ගන්නට නිවසේ ඇති දාස් පෙති ශාකවලට හැකියාව තියෙනවා. මෙමගින් කෘමීන්ගේ ස්වසන ක්‍රියාවලියට දායක වෙන ස්වසන වාහිකා නම් කුඩා නාලවල ක්‍රියාකාරිත්වය  අඩපණ කරනවා. ඒ හැරුණාම ඇතැම් පණුවන් සහ දලබුවන් පවා ගෙවත්තෙන් පලවා හරින්නට දාස් පෙතියා උදව් වෙනවා ඒ හැරුණාම බේසිල්, මින්ට්,  ලැවෙන්ඩා ආදී සගන්ධ පත්‍ර සහිත ශාක වවා ගැනීම මගින් පවා මැස්සන් පලවා හරින්නට පුළුවන්.

වොඩ්කා සහ කෝමාරිකා වොඩ්ගා කියන්නේ  අර්තාපල් පිෂ්ඨය පැසවීමෙන්  ගන්නා  මධ්‍යසාරයක්. මෙය වෙනත් මධ්‍යසාරවලට වඩා  පැහැදිලි වර්ණයක් තියෙන මේවායේ සුවඳ මැස්සන්ට අප්‍රිය නිසා එය මැස්සන් පලවා හැරීම සඳහා භාවිතා කරන්නට පුළුවන්. කෝමාරිකා පත්‍රයක් ගෙන දෙකට පලා එහි මැදට වොඩ්ගා මේස හැන්දක් පමණ දමා  අවශෝෂණයට ඉඩ හරින්න.  පසුව රෙදි ගුලියක් හෝ පුළුන්  ගුලියක් හෝ  ගෙන කෝමාරිකා පත්‍රයේ අතුල්ලා  ඒ පුළුන් ගුලි ගෙන ජනෙල්වලට ඉහළින් ඇති වා කවුළු ආදී මැස්සන් නිතර ඇතුළුවල්න ස්ථානවල තබන්න. කෝමාරිකා වොඩ්ගා ඉක්මනින් වාශ්ප නොවී රඳවා තබා ගන්නා නිසා  සතියක වගේ කාලයක් සඳහා මේ ගුලි ප්‍රමාණවත්  වෙනවා.

ලෙමන් සහ කරාබු නැටි කරාබු නැටිවල මැස්සන් විකර්ෂණය කරන්නට හැකි සංයෝග අඩංගු වෙනවා. එයින් ප්‍රයෝජන ලබා ගන්නට නම් මේ සඳහා ලෙමන් ගෙඩියක් අපිට භාවිතා කරන්නට වෙනවා. ලෙමන් ගෙඩියක් දෙකට කපා එහි කරාබු නැටි  කිහිපයක් රඳවා තබන්න. ලෙමන් බෑයකට කරාබු නැටි 10 ක් 15 ක් පමණ ප්‍රමාණවත් වෙනවා.මේ ක්‍රමය කෑම මේසය මැස්සන්ගෙන් ආරක්ෂා  ගන්නට වඩා වැදගත් වෙනවා.

කපුරු දුම රත් කිරීමේදී හෝ දැල්වීමේදී  නිකුත් කරන සුවඳට මැස්සන්  බොහෝසෙයින් අප්‍රිය කරනවා. ඒ නිසා  මැස්සන් පලවා  හරින්නට එය කදිමයි.ඉතා ඉක්මනින් කපුරු දැවී යන නිසා කපුරු කැට  කිහිපයක්  බදුනකට දමා එයට පහළින් ඉටි පන්දමක් දල්වා තැබීමෙන් කපුරු ක්‍රමයෙන් දියවී කපුරු සුවඳ බොහෝවේලාවක් නිවසේ රඳා ගන්නවා.  ඒ කාලය  තුළ මැස්සන් පලා යනවා.

බොහෝලෙඩවලට මගපාදන රෝග වාහකයෙක් වන මැස්සන් පලවා හැරීම සඳහා ක්ෂණික පිළියම් සහ දිගුකාලීන මේ පිළියම් ඔබට  නිසැකයෙන්ම වැදගත් වේවි.