නීරමුල්ලිය මැල්ලුම් ආහාරයට ගැනීමෙන් සුව කරගත හැකි රෝග 28 ක්

health tips

අපේ රටේ සුලභව දකින්නට ලැබෙන තවත් වටිනා ඖෂධ පැලෑටියක් තමයි නීරමුල්ලිය, ගොකටු හෙවත් ඉකිරිය කියන්නේ. විශේෂයෙන්ම ලංකාවේ පහතරට වගුරුබිම් ආශ්‍රිතව බහුලව දකින්නට හැකි මේ පැලෑටිය වැඩි වශයෙන් අපි ගන්නා ප්‍රධාන ආහාරයක් ලෙසට වැදගත් වෙනවා. ආයුර්වේද විද්‍යාවට අනුව නීර්මුල්ලිය සතු ඖෂධීය ගුණයන් අති මහත්. එය ලෙඩ රෝග රාශියක් සුවපත් කරන්නට පුරාණයේ සිටම භාවිතා කළා.ජලාශ්‍රිත ප්‍රදේශවල වැඩිපුරම වැඩෙන නීරමුල්ලිය නැතහොත් ඉකිරිය ගැනයි අද කතාව .

ඉකිරිය ඔසු පැලෑටිය ප්‍රභේද දෙකකින් සමන්විතයි. ඒ සුදු මල් හටගන්නා වර්ගය සහ නිල් මල් හට ගන්නා වර්ගය වශයෙන්. නමුත් මේ දෙවර්ගයම සතු ඖෂධීය ගුණවල වෙනසක් නැහැ. අඩි 2-3 ක් පමණ උසට වැඩෙන පුරුක් සහිත කඳකින් සමන්විත පැලෑටිය කටු සහිත ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ඒ කටු ගස හොඳින් මෝරා යනවිට පුරුක් සම්බන්ධ වන ස්ථානයෙන් හටගනු ලබනවා. 

මේ පැලෑටිය දේශීය වෛද්‍ය විද්‍යාවේ මුත්‍රකාරක ඖෂධයක් විදියටයි හඳුන්වනු ලබන්නේ. මුත්‍ර රෝගවලට ගුණදායක ඔසුවක් ලෙසට බොහෝදෙනා දැනුවත්ව සිටියත් මුත්‍ර රෝග හැරුණාම විවිධ රෝග වළක්වා ගන්නට වගේම විවිධ රෝග සඳහා කරන ප්‍රතිකාරවලටත් බහුලවම භාවිතා කරන ඔසු පැලෑටියක් මේ නීරමුල්ලිය. ආයුර්වේදයේ කල්ක, ගුලි, කසාය, චූර්ණ , පෙති, කරල් නීරමුල්ලිය පැලෑටියෙන් නිපදවනු ලැබෙනවා. මේ ශාකයේ පොටෑසියම් සල්පේට්,පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු අතර මෙහි මුලේ ඇල්කලොයි අඩංගුව පවතිනවා. ආයූර්වේදයට අනුව නීරමුල්ලිය ශීත හා වීර්ය ගුණ සහිතයි.මධුර අම්ල තිත්ත රසින් සමන්විතයි.

ඖෂධයක් වශයෙන් භාවිතා කිරීම හැරුණාම නීරමුල්ලිය ව්‍යංජනයක් ලෙස, මැල්ලුමක් ලෙස සලාදයක් ලෙස සකසා ආහාරයට ගන්නට පුළුවන්.

නීරමුල්ලිය මැල්ලුම නීරමුල්ලිය කරටි සිහින්ව කපාගෙන රතු ළූණු සුදු ළූණු ලුණු, කහ සහ පොල් එකතු කර ඉතා රසවත්ව මේ මැල්ලුම පිළියෙළ කර ගන්නට පුළුවන්.

නීරමුල්ලිය ව්‍යංජනය නීරමුල්ලිය දඩු සහ කොල සෝදා කැබලිවලට කපා ගන්න.ඉන්පසුව භාජනයක් ගෙන එයට කපාගත් රතු ළූණු උම්බලකඩ, කරි කුඩු, මිටි කිරි, කහ කුඩු, මිරිස් කුඩු, දෙකට පලාගත් අමු මිරිස් හා සුදුළූණු එකතු කර ළිප තබන්න. රස අනුව ලුණු එකතු කර දෙහි යුෂ ස්වල්පයක් ද එකතු කරගෙන හිදෙන තුරු පිසගෙන ආහාරයට ගන්න.

නීරමුල්ලිය සතු ගුණ 

  • හොඳින් මුත්‍රා වඩවන, හොඳින් මුත්‍ර පිටකරන ඔසුවක්.
  • වකුගඩු, මුත්‍ර නාල හා මුත්‍රාශයේ ඇතිවන ගල් සඳහා ඉතා ගුණදායකයි.
  • මුත්‍රා දැවිල්ල, මුත්‍ර පිට කිරීමේදී ඇතිවන වේදනාව, මුත්‍රා පිටවීම අවහිරවීම නැති කරයි.
  • නීරමුල්ලිය ඇට ලිංගික බෙලහීනතාවය හා ශුක්‍රාණු නිෂ්පාදනය නොවීම  සඳහා ඉතාමත් ගුණදායකයි.
  • දියවැඩියා රෝගීන්ට යහපත්.
  • රත්පිත් සමනය කරයි.
  • ඇස් රෝග සුව කරයි.
  • සර්ප විෂ නසයි.
  • රක්තහීනතාවය දුරලයි. විශේෂයෙන්ම මැලේරියාව, අක්මාව ඉදිමීම යන රෝග තත්ත්වයන්වලින් පසුව ඇතිවන රක්තහීනතාවයේදී ලේ වැඩීමට නීරමුල්ලිය උපකාරී වෙයි.
  • සෙංගමාලයට බෙහෙත් පිළියෙල කරන්නට භාවිතා කරයි.
  • ලපටි නීරමුල්ලිය දලු සලාදය කැස්සට වගේම සිරුරේ අභ්‍යන්තර හා බාහිර ඉදිමුම්වලට ඉතාම ගුණදායකයි. 
  • සම පැහැපත් කරයි.
  • ආමවාත දුර කරයි.
  • අමිල පිත්ත රෝගීන්ට හිතකරයි.
  • අක්මා රෝග වළක්වා අක්මාව ආරක්ෂා කරයි.
  • මොළයේ නීරෝගි පැවැත්මට හිතකරයි. ප්‍රදාහ හා ඉදිමුම් තත්ත්වයන් සමනය කරයි.
  • ආතරයිටිස් රෝගයට ඉතා සුදුසුයි.
  • කිරිදෙන මව්වරුන්ට කිරි වඩවයි.
  • අධි රුධිර පීඩනයට ගුණදායකයි.
  • ශක්තිය ජනනය කරයි.
  • උණ රෝගීන්ගේ උණ අඩු කරයි.
  • මලබද්ධය සුව කරයි.
  • රුධිරය පිරිසිදු කරයි.
  • හෘද රෝග සුවපත් කරයි.
  • කුෂ්ට රෝග සමනය කරයි.
  • සිරෝසීස් රෝගීන්ට ගුණදායකයි.
  • ගොනෝරියා ආදී සමාජ රෝගවලට ගුණදෙයි.
  • බැක්ටීරියා වෛරස්වලට එරෙහිවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ගොඩනංවයි.
  • කිරිදෙන මව්වරුන්ට නැවත මාසික ඔසප් චක්‍රය ඇති කරන්නට උපකාරී වෙයි.

නීරමුල්ලිය සතු ඖෂධීය භාවිතයන් 

මුත්‍රා අමාරු සඳහා නීරමුල්ලිය මුල්, ගොකටු මුල්, බෙහෙත් එරඩු මුල් සමව ගෙන පවනේ වියළා කුඩු කර තබාගෙන තේ හැන්දක් පමණ එළකිරි සමඟ උදෑසන පානය කරන්න.නීරමුල්ලිය තම්බා ගත් වතුර පානය කරන්න.

ලිංගික දුබලතා සඳහා නීරමුල්ලිය ඇට, වඳුරු මෑ ඇට චූර්ණ කර, උණු නොකළ එළකිරිවලින් දිය කර සීනි දමා පානය කරන්න.

සෙංගමාල සඳහා නීරමුල්ලිය ,මොණර කුඩුම්බි සමව ගෙන කොටාගත් යුෂවලින් කැඳ පිස කිතුල් හකුරු සමඟ උදෑසන හිස්බඩ පානය කරන්න.

රුධිරය පිරිසිදු කිරීමට නීරමුල්ලිය මුල් කලං 12 ගෙන වතුර කාල් 8 ක් යොදා පත 8 එකට සිදුවා මී පැණි දමා උදේ සවස පානය කරන්න.

විෂ නැසීමට ඉතාම විසකුරු සර්ප දෂ්ඨනයකදී බොහෝසෙයින් සිදුවන වකුගඩු නරක්වීම වළකා ගන්නට වෙද මහතෙකු හමුවන තෙක් ප්‍රථමාධාරයක් වශයෙන් නීරමුල්ලිය සහමුලින්ම තම්බා රෝගියාට පෙවීම හෝ කැඳ පිසදීම සිදු ලබනවා. ශරීරයේ රුධිරගත විෂ වකුගඩු තුළදී මුත්‍රාශයට පෙරා වැඩි වශයෙන් ශරීරයෙන් බැහැර කරන්නට ඉකිරිය ඉතා වැදගත්ම මෙහෙයක් ඉටු කරනවා.

සැලකිය යුතුයි.සතියකට දින 1 ක් 2 ක් පමණ ගැනීම ප්‍රමාණවත්.විශේෂයෙන්ම දිනපතා නීරමුල්ලිය ගැනීමෙන් වකුගඩු පද්ධතියට හානිදායක විය හැකියි.වකුගඩු ආබාධ ඇති අය නිතර භාවිතා කිරීම සුදුසු නැහැ. හොඳින් මුත්‍ර පෙරීමේ ගුණය මෙහි පවතින නිසා වකුගඩු රෝග ඇති අයට සුදුසු නොවෙයි. එහිදී මුත්‍රා පෙරීම වැඩි වශයෙන් සිදුවන විට වකුගඩු නිතර ක්‍රියාකිරීමට වැඩි වෙහෙසක් දරනවා.ඒ නිසා වකුගඩුවලට හානි ගෙන දෙන්නට පුළුවන්.