තයිරොයිඩ් ග්‍රන්ථිය අශ්‍රිතව ඇතිවෙන රෝග සුව කර ගැනීමට උපකාරී වෙන ක්‍රම 10 ක්

health tips

තයිරොයිඩ් ග්‍රන්ථිය යනු බෙල්ලේ මධ්‍යයේ පිහිටා ඇති සමනල හැඩැති ග්‍රන්ථියක්. මෙම ග්‍රන්ථිය මඟින් තයිරොයිඩ් හෝමෝන නිපදවයි.සාපේක්ෂව කුඩා වුවද, එය පරිවෘත්තීය ප්‍රධාන ග්‍රන්ථිය ලෙස සලකනු ලබන අතර හදවත, මොළය, අක්මාව, වකුගඩු සහ සම ඇතුළු බොහෝ වැදගත් අවයවවල ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ ශරීරයේ සමස්ත සෞඛ්‍යය සඳහා, තයිරොයිඩ් ග්‍රන්ථිය නිරෝගීව සිටීම සහ නිසි ලෙස ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ.

මන්දතයිරොයිඩතාව (hypothyroidism) තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන ගැටලු තත්වයක්. එනම් තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය අඩුවීම හෙවත් තයිරොයිඩ් ග්‍රන්ථියට තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම අසීරු වීමේ තත්වයකි. නිදන්ගත ආතතිය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පාන රටාව හෝ ඇතැම් බඩවැල් ආශ්‍රිත ගැටලු මෙයට හේතුසාධක වෙයි.මේ තත්වය  ශරීරයේ බොහෝ හෝමෝන, චිත්තවේගීය හා ශාරීරික වෙනස්කම් ඇති කළ හැකිය. බොහෝ පුද්ගලයින් තමන්ට තයිරොයිඩ් ගැටලු ඇති බව නොදනිති. 

තයිරොටිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම ස්වභාවිකව පාලනය කරගැනීමට උපකාරී වන ක්‍රම කිහිපයක් ගැනයි අද ඔබව දැනුවත් කරන්නේ.

සීනි පරිභෝජනය අවම කරන්න දිනකට අප සීනි අඩංගු ආහාර පාන බොහෝ ප්‍රමාණයක් ලබාගන්නවා.එහෙත් අධික සීනි ශරීර සෞඛ්‍යයට අහිතකරයි.විශේෂයෙන්ම මෙය තයිරොයිඩ් ග්‍රන්ථියේ නීරෝගි බවට අහිතකරයි.ඔබ මන්දතයිරොයිඩතාවෙන් පෙළෙනවා නම් එම තත්වය වඩාත් හොඳින් පාලනය කරගැනීමට සීනි අවම හෝ රහිත ආහාර පාන රටාවක් අනුගමනය කරන්න උත්සහ කරන්න.සීනි හා සැකසුම් ක්‍රියාවලියට ලක්කළ ආහාර (processed food) සිරුර ප්‍රදාහයට ලකරවයි.ප්‍රදාහය නිසා සිරුර තුළ T4 හෝර්මෝන T3 හෝර්මෝන බවට පරිවර්තනය කිරීමේ වේගය අඩුවී යයි.එවිට සිරුරේ කාබෝහයිඩ්‍රේට පරිවෘත්තිය නිසි ලෙස  පාලනය කිරීමට තයිරොයිඩ් ග්‍රන්ථියට නොහැකිව යයි.මින් රුධිර සීනි මට්ටම් ඉහළ යාම මෙන්ම බර වැඩිවීමට පවා ඉඩ තිබෙයි.

සීනි පරිභෝජනය අවම කිරීම සමට ද හිතකරයි.සෝඩා බිම, සීනි මුසු කළ පලතුරු යුෂ, ස්මූති පානය සීමා කරන්න. ඒ වෙනුවට වතුර හෝ ලෙමන් මුසු කළ වතුර පානය කරන්න.පැණි රස අතුරුපස වර්ග වෙනුවට පලතුරු යෙදු ග්‍රීක් යෝගට්, ඩාක් චොකලට් වගේ ආහාර ‍තෝරාගන්න. ටින් කළ ආහාර,සෝස් වර්ග ආහාරයට ගැනීම අවම කරන්න.විනාකිරි,දෙහි යුෂ, අබ සහ මිරිස් වගේ ආහාර රසගන්වන ද්‍රව්‍ය භාවිත කරන්න. පිටි අඩංගු ආහාර අවම කරන්න. ස්වභාවික එළවලු පලතුරු ආහාරයට ගන්න.

ප්‍රෝබයෝටික් පෝෂණය අඩංගු ආහාර පාන ලබාගන්න සිරුරේ වැඩිම තයිරොයිඩ් හෝර්මෝන ප්‍රමාණයක් ඇත්තේ බඩවැල් ආශ්‍රිතවයි.හෝර්මෝන පරිවර්තනය සිදුකළ හැක්කේ බඩවැල් වල හිතකර බැක්ටිරියා ප්‍රමාණවත් ලෙස පවතිනවා නම් පමණි.මන්දතයිරොයිඩතාවෙන් පෙළෙන පුද්ගලයින් තුළ  ජීර්ණ මාර්ගය ඔස්සේ ආහාර ගමන් කිරීමේ ක්‍රියාවලියේ ඇතිවන විකෘතිතා කුඩා බඩවැල් තුළ බැක්ටීරියා අධි වර්ධනයට හේතුවෙයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස පාචනය වැනි ගැටලු ඇතිවෙයි.බඩවැල් තුළ නීරෝගි ක්‍රියාකාරීත්වයක් නොමැතිකම පෝෂණ ඌනතා ඇතුළු වෙනත් සංකූලතා වලට තුඩු දෙයි.

බඩවැල් බැක්ටීරියා-බඩවැල් තුළ නිරෝගි බැක්ටීරියා ගහණයක් වර්ධනය වීමට ප්‍රෝබයෝටික් බහුල ආහාර පාන උදවුවෙයි.චීස්,යෝගට් වැනි ආහාර වල මේවා බහුලයි.ලැක්ටොබැසිලස් බැක්ටීරියා අඩංගු ප්‍රෝබයෝටික් පෝෂක වඩාත් සුදුසුයි.ලුණු යොදා මුහුන් කළ ගෝවා,කිම්චි වගේ ආහාර වඩාත් ගුණදායකයි.

ආතතිය පාලනය කරගන්න-ආතතිය මන්දතයිරොයිඩතා ලක්ෂණ උත්සන්න වීමට හේතුවක් ලෙස සැලකෙයි.එදිනෙදා කාර්යබහුල ජීවන රටාවත් සමඟ ආතතීන් පීඩාවන් වලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍යයයි. දිනපතා ඔබේ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමට යම් කාලයක් වෙන්කරගන්න. භාවනා, සම්බාහන ක්‍රම, එසෙන්ෂියල් ඔයිල් මුසු කළ උණුසුම් නාන තටාකයක බැස සිටීම, යෝගා, ශ්වසන අභ්‍යාස වගේ ක්‍රම ආතතිය සමනයට වඩාත් ප්‍රතිඵලදායකයි.

ග්ලූටන් රහිත ආහාර පාන රටාවකට හුරුවන්න මන්දතයිරොයිඩතාව පාලනයට මෙය ඉතා වැදගත් කරුණක්.ග්ලූටන් රහිත ආහාර පාන රටාවකට හුරුවීම මෙම රෝගයෙන් පෙළෙන්නන්ගේ රෝග ලක්ෂණ අඩුවීමට හේතුසාධක වූ බව ඇතැම් වෛද්‍ය අධ්‍යයන පෙන්වාදෙයි.තයිරොයිඩ් ගැටලු ඇති බොහෝ අය සීලියැක් රෝගය නම් ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගයෙන් ද පෙළෙති.සීලියැක් රෝගීන් ග්ලූටන් වලට ඉතා සංවේදීය.ග්ලූටන් මඟින් බඩවැල් ආස්තර (බිත්ති) වලට හානි ඇතිකිරීම මීට හේතුවයි.මෙය බඩවැල් හෝර්මෝන වලට බලපෑම් ඇතිකරමින් ඒ තුළ ප්‍රදාහය ඇතිවීමට හේතුවෙයි.සිරුර තුළ ග්ලූටන් ජීර්ණය කිරීමට බ්‍රොමයින් අවශ්‍ය වේ.මෙය සිරුරේ අයඩින් ඉවත්වීමට හේතුවෙයි.තයිරොයිඩ් ග්‍රන්ථියේ නීරෝගි බවට අයඩින් ඉතා වැදගත් ඛනිජ ලවණයකි.

මෙය වළක්වාගැනීමට ග්ලූටන් අඩංගු ආහාර පාන වලින් වැළකී සිටීමට සිදුවෙයි.බෝංචි ඇට, රනිල බෝග, ඇට වර්ග, බිත්තර, මස් , මාලු වැනි ආහාර වල ග්ලූටන් අඩංගු නොවේ. එම නිසා ඒවා පරිභෝජනයට ආරක්ෂිතයි.

අයඩින් බහුල ආහාර පාන ලබාගන්න-කලින් සඳහන් කලාක් මෙන් අයඩින් යනු තයිරොයිඩ් හෝර්මෝන නිෂ්පාදනයට උපකාරී වන ඛනිජයක්.අයඩින් බහුල ආහාර පාන ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි.කූනිස්සන් සහ බෙල්ලෝ වැනි මුහුදු ආහාර වල අයඩින් බහුලයි. යෝගට් සහ චීස් වල ද අයඩින් යම් ප්‍රමාණයකින් අඩංගුයි. අයඩින් අඩංගු ලුණු පරිභෝජනයට එක්කරගන්න.මේවා අධිකව ආහාරයට ගැනීමත් එතරම් හිතකර නැහැ.

ක‍ටු චිකිත්සා ප්‍රතිකාර වෙත යොමුවන්න චීන ක‍ටු චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය බොහෝ රෝග පාලනයට ප්‍රතිඵල පෙන්වා ඇති ඵලදායි වෛද්‍ය ක්‍රමයක්.මෙම ප්‍රතිකාරය මඟින් සිරුරේ පීඩනය හා ආතතිය අඩු කර වේදනා සමනය කරවයි.තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නීරෝගි වීමට ද මෙය ප්‍රතිඵල ලබාදෙන බව පර්යේෂකයින් සඳහන් කරනවා.මන්දතයිරොයිඩතාවෙන් පෙළෙන අයට මෙම ප්‍රතිකාර ක්‍රමය වඩාත් හිතකරය. 

නිසි ලෙස බෙහෙත් ඖෂධ ලබාගන්න මන්දතයිරොයිඩතාවෙන් පෙළෙන පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමේදී නල්ට්‍රෙක්සෝන් (naltrexone) අඩු මාත්‍රාවකින් නිර්දේශ කරයි.සාමාන්‍යයෙන් මෙම ඖෂධ ලබාදෙන්නේ ඇබ්බැහිවීම් වලට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කිරීමේදීයි.මීට අමතරව වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ඖෂධ වර්ග නිසි මාත්‍රාවට සහ නිසි වෙලාවට ගැනීමට ද අමතක නොකළ යුතුයි. එය රෝග ලක්ෂණ පාලනයට බොහෝ සෙයින් වැදගත් වෙයි.

සෙලේනියම් අඩංගු ආහාර පාන ලබාගන්න තයිරොයිඔඩ හෝර්මෝන පරිවෘත්තියේදි සෙලේනියම් වැදගත් භූමිකාවක් ඉ‍ටුකරයි.Hashimoto’s thyroiditis යනු තයිරොයිඩ් ක්‍රියාකාරීත්වයට හානිකරන රෝගයකි.ඒ සිරුරට ලැබෙන සෙලේනියම් ප්‍රමාණය අඩු කිරීම හරහායි. මෙම රෝගයේදී සිරුර තමන්ට එරෙහිව ක්‍රියාකිරීමට පටන්ගනියි.එනම් සිරුර තුළ ප්‍රතිදේහ නිපදවා තයිරොයිඩ් ග්‍රන්ථිය විනාශ කිරීමට පටන්ගනියි.ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් තයිරොයිඩ් සෛල සිරුරට අයත් කොටස් සේ නොසැලකීමට පටන්ගැනීම නිසයි මේ ගැටලුව ඇතිවන්නේ.මෙම රෝගය මන්දතයිරොයිඩතාව ඇතිවීමට බලපාන එකම හේතුව නම් නොවෙයි.

සිරුරට අවශ්‍ය සෙලේනියම් පෝෂණය  ටූනා,කළුකුම් මස්, හරක් මස්,බ්‍රසීල් නට්ස් වගේ ආහාර වලින් සපුරාගත හැකියි.කෙසේවෙතත් නිසි වෛද්‍ය උපදෙස් යටතේ කටයුතු කිරීම වැදගත්.

විටමින් B පෝෂණය යහමින් ලබාගැනීම මන්දතයිරොයිඩතාව සිරුරේ විටමින් B12 මට්ටම් කෙරෙහි බලපෑම් ඇතිකරයි.තයිරොයිඩ් ගැටලු ඇතිවීමෙන් සිරුරේ තෙහෙට්‍ටුව වැනි රෝග ලක්ෂණ ඇතිවීමට මෙය ද එක් හේතුවකි.විටමින් B සප්ලිමන්ට් වර්ග, කිරි, චීස්,බිත්තර, බෝංචි,කඩල,ටූනා මාලු වගේ දේවල් වල B විටමින් බහුලයි.

ව්‍යායාම වල යෙදෙන්න තයිරොයිඩ් අසමතුලිතතාව පාලනයට ව්‍යායාම වල යෙදීම ඵලදායි තවත් ක්‍රමයකි.ව්‍යායාම මඟින් ආතතිය පාලනය කරගැනීමට හොඳ සහයක් ලැබෙයි.අධික ආතතිය සිරුරේ හෝර්මෝන මට්ටම් වලට බලපාන අතර ප්‍රදාහය වැනි නොයෙකුත් ගැටලු වලට හේතුවෙයි.ආතතිය වැඩි විට කෝර්ටිසෝල් හා ඇඩ්‍රිනලින් හෝර්මෝන මට්ටම් ද ඉහළ යයි.මෙය මොළයේ සන්නිවේදන කටයුතු සිදුකරන ස්නායු සම්ප්‍රේෂක ක්‍රියාකාරීත්වයට බාධා කරමින් තයිරොයිඩ් රෝග ලක්ෂණ නරක අතට හැරීමට පවා හේතුවෙයි.නිතිපතා ව්‍යායාම කිරීම ගුණාත්මක නින්දක් ලබාගැනීමට, සිරුර නීරෝගීව තබාගැනීමට සහ ආතතිය නිසි ලෙස පාලනය කරගැනීමට සහය වෙයි. එමෙන්ම බර අඩුකරවයි. මෙම ප්‍රතිලාභ මන්දතයිරොයිඩතා ලක්ෂණ උත්සන්න වීම වළක්වාගැනීමට උපකාරී වෙයි.