ඇගේ නිතර කසන ස්වභාවය මඟින් පෙන්නුම් කරන සිරුරේ අභ්‍යන්තර අවයව වල ගැටළු 9 ක්

health tips

නීරෝගී -පැහැපත් සමකට අකමැති කවුද? බොහෝ දෙනා තමන්ගේ සමේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත්වෙනවා. සම කියන්නේ ඔබේ සෞඛ්‍යය තත්වය පෙන්නුම් කරන කැඩපත වගෙයි.ඔබේ සිරුරේ සැඟවුණු ගැටලු සහ රෝග තත්වයන් පිළිබඳ ඉඟි කරන ලක්ෂණ ඔබේ සම තුළ මතුකර පෙන්විය හැකියි.සමේ ඇතිවන වෙනස්කම් හරහා වෛද්‍යවරුන්ට එවැනි ගැටලු තත්වයන් හඳුනාගැනීමට හැකිවෙනවා.ඔබේ සම මඟින් ඔබේ සෞඛ්‍ය පිළිබඳ සංඥා කරන ආකාර කිහිපයක් ගැනයි අද ඔබව දැනුවත් කරන්නේ.

පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝමය (PCOS) පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝමය PCOS යනු අවිධිමත් ඔසප් චක්‍රය මගින් සංලක්ෂිත  කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන හෝර්මෝන අසමතුලිතතා තත්වයකි. මේ රෝග තත්වය හේතුවෙන් කාන්තාවන්ගේ සිරුරේ බර වැඩිවීම වගේ ලක්ෂණ වලට අමතරව ඩිම්බ ආශ්‍රිතව ඇතිවන වෙනස්කම් ඔබේ සම හරහා පෙන්නුම් කරන අවස්ථා ද තිබෙනවා. කුරුලෑ මතුවීම එවැනි වඩාත් පොදු තත්වයකි.සමේ මතුවන සෑම කුරුලෑ තත්වයක්ම PCOS තත්වය නිසා ඇතිවන්නේ නැහැ.නමුත් සැරව සහිත විශාල ගෙඩි (cysts) ලෙස කුරුලෑ මතුවීම ඉතා අවදානම්ය.PCOS තත්වයෙන් පෙළෙන කාන්තාවන්ගේ සිරුරේ පුරුෂ හෝර්මෝන හෙවත් ඇන්ඩ්‍රොජන්ස් මට්ටම ඉතා ඉහළයි.ඒවා මඟින් සමේ තෙල් ස්‍රාවය කිරීමේ ක්‍රියාවලිය උත්තේජනය කෙරෙනවා.මෙසේ සම තුළ අධිකව තෙල් ඇතිවීම කුරුලෑ හටගැනීමට හේතුවෙයි.මුහුණේ පමණක් නොව පිට,බෙල්ල සහ පපුවේ පවා මෙසේ කුරුලෑ ගෙඩි මතුවෙයි.

කුරුලෑ වගේම බෙල්ල,ඉකිලි සහ පියයුරු පහළ වැනි සමේ නැමි සහිත ප්‍රදේශ වල අඳුරු ලප කැලැල් මතුවිය හැකියි.සිරුර පුරා අධික ලෙස රෝම වර්ධනය වීම (විශේෂයෙන් මුහුණ,පිට,බඩ,පපුව ආදී ප්‍රදේශ) තවත් ලක්ෂණයක්.සමේ රෝම වැඩීම ඉහළ යද්දී හිසේ කෙස්ගස් හැලීයාමට පටන්ගැනීම ද මේ රෝගයේ තවත් ගැටලුකාරී ලක්ෂණයක්.

අක්මා රෝග ජෝන්ඩිස් හෙවත් රුධිරයේ බිලිරුබින් අධික වීමෙන් ඇතිවන සිරුර සහ ඇස් කහවීමේ රෝගය අක්මාව රෝගී වීමෙන් හටගන්නා තත්වයක්.මෙය හෙපටයිටිස් C රෝගයේ ලක්ෂණ වන්නට ද ඉඩ තිබෙයි.එමෙන්ම මාස 6කට වඩා කල් සමේ පවතින කැසිල්ල තත්වය ද අක්මාවේ ගැටලු පිළිබඳ අනතුරු හඟවන සංඥාවක් වෙන්නට පුළුවන්. මෙය සිරෝසිස් හෝ හෙපටයිටිස් වැනි අක්මාව ආශ්‍රිත රෝග වල පූර්ව ලක්ෂණ පෙන්නුම් කිරීමක් වන්නට ඉඩ තිබිය හැකියි.සමේ බිබිලි, කුෂ්ඨ (රෑෂ්) මතුවීම හා සම කැසීමට පටන්ගැනීම බොහෝවිට හෙපටයිටිස් රෝගයේ මූලික රෝග ලක්ෂණ මතුවීම් ලෙස හඳුනාගනියි.ඇතැම් විට කකුල් වල රතු ලප පවා මතුවිය හැකියි.

මන්දතයිරොයිඩතාව (Hypothyroidism) කොතරම් මොයිෂ්චරයිසිං සත්කාර කලත් ඔබේ සමේ වියළිබව දුරුවන්නේ නැතිනම් බොහෝ විට එය මන්දතයිරොයිඩතාවේ ලක්ෂණයක් විය හැකියි.තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම මේ රෝග තත්වයයි. සිරුරේ තයිරොයිඩ් හෝර්මෝන මට්ටම් ආශ්‍රිතව ඇතිවන වෙනස්කම් ඔබේ සමේ ස්වභාවයට නොයෙකුත් ආකාරයෙන් බලපෑමට පටන්ගනියි. සම වඩාත් රළු, දුබල,වියළි,සුදුමැලි හා තුනී ස්වභාවයකට පවා පත්වීමට ඉඩ තිබෙයි.අධික වියළිබව නිසා සමේ කොරල මතුවීමට ඉඩ තිබෙයි. පාද වල කෙණ්ඩා ප්‍රදේශයේ සම ඝනකම් වීමට පටන්ගත හැකියි.නියපොතු සහ හිසකෙස් පලුදුවීම, පහසුවෙන් කැඩීයාම මේ රෝගයේ තවත් ලක්ෂණයකි.මෙවැනි ලක්ෂණ අත්දකිනවා නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

ආසාත්මිකතා (allergies)සිරුරේ ඇතිවන ඕනෑම ආසාත්මිකතාවකදී එහි ලක්ෂණ බොහෝ විට පෙන්නුම් කරන්නේ ඔබේ සම හරහායි.වඩාත් පොදු ආසාත්මිකතා ලක්ෂණය තමයි සම කැසීමට පටන්ගැනීම.එක්වරම ඔබේ සම දරාගත නොහැකි තරම් වේදනාවකින් කසන්න පටන්ගනියි නම් බොහෝ විට ඔබ යම් ආසාත්මිකතාවකින් පෙළෙනවා විය හැකියි. ඇතැම් විට මෙය hives ලෙස හඳුන්වන තත්වය විය හැකියි.මේ රෝගයේදී සමේ කසනසුලු රතු හෝ රෝස පැහැති පලු මතුවීම දක්නට ලැබෙයි.බොහෝවිට මේවා පුපුරුගසන සුලු වේදනාවක් ඇතිකරයි.බොහෝ විට ඔබ ආසාත්මික ද්‍රව්‍යක් ස්පර්ෂ වීමෙන් හෝ ගිලීයාමෙන් තමයි මේ ආසාත්මිකතාව ඇතිවන්නේ.ඒ යම් ආහාරයක්,ඖෂධයක්,පරාගයක්,සතෙකුගේ සපාකැමක් හෝ කෘමි දෂ්ට කිරීමක් වගේ හේතුවක් නිසා විය හැකියි. සමේ මෙවැනි කසනසුලු පලු මතුවෙයි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

ලිම්ෆෝමාව (lymphoma) මෙය වසා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගයකි. හදිසියේම ඇතිවන සමේ කැසිල්ල ආසාත්මිකතාවක් ලෙස සැක කළ හැකි වුණත් දිගින් දිගටම සමේ හටගන්නා කසනසුලු කුෂ්ඨ බිබිලි නම් සාමාන්‍ය තත්වයක් නොවිය හැකියි. මෙය ගොඩක් වෙලාවට වසා ගැටිති පිළිකා (ලිම්ෆෝමා) තත්වයක ලක්ෂණයක් වීමට ද ඉඩ තිබෙයි.කුෂ්ඨ හෙවත් රෑෂ් යනු සමේ මතුවන පිළිකා වල වඩාත් පොදු රෝග ලක්ෂණයයි.බොහෝ විට සම නැමී ඇති ප්‍රදේශ වල රතු හෝ දම් පැහැති කොරල ස්වභාවයක් සමේ මතුකරයි.ලිම්ෆෝමා තත්වය උත්සන්න වෙන විට සමේ කසන සුලු කුෂ්ඨ තත්වය ද වැඩිවෙයි.බොහෝ විට සමේ ඉහළට නෙරූ මස් ගුලි හෝ ගැටිති දකින්නට ලැබෙයි. මෙය වසා ගැටිති පිළිකා වල තවත් ලක්ෂණයකි. සති දෙකක් ගත වූ පසුත් තවමත් කුෂ්ඨ ස්වභාවය පහව නොයයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

ෂිංගල්ස් (shingles) වේදනාකාරී -දැවිල්ල සහිත රතු පැහැති කුෂ්ඨ සමේ මතුවීම මඟින් සංලක්ෂිත වෛරස් ආසාදන තත්වයක් වන මෙම රෝගය බෝවන්නේ ද පැපොල ඇතිකරවන වෛරසය මඟින්මයි.රතු කුෂ්ඨ මතුවී සිරුරේ එක් අංශයක වේදනාව හා දැවිල්ල ඇතිවීම මේ රෝගයේ මූලික ලක්ෂණයි.කවන්ධය,බෙල්ල සහ මුහුණ ආශ්‍රිතව සිරුරේ එක් පැත්තක තුවාල මතුවිය හැකියි.මුහුණේ එක් පැත්තක කුෂ්ඨ මතුවී ඇත්නම් එය බොහෝ විට මුහුණේ ෂිංගල්ස් තත්වය විය හැකියි.බරපතල තත්වයකදී කන් තුල ද මෙම කුෂ්ඨ හටගත හැකියි.එවැනි තත්වයක් ඇතිවුවහොත් කන් ඇසීමේ හැකියාව නැතිවීම, සිරුරේ සමබරතාව ගිලිහීම වගේ බරපතල සංකූලතා සිරුරේ හටගත හැකියි.ඇහිපිය උඩ දැවිල්ල සහිත තුවාල වුණු කුෂ්ඨ බිබිලි මතුවී ඇස් වටා ඉදිමුම සහ රතුවීමට පටන්ගනියි.මෙය ඇස් ආශ්‍රිත ෂිංගල් රෝගයයි.මෙවැනි ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්න!

දියවැඩියාව දියවැඩියාව තත්වයේදී නිතර මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම, සිරුරේ අධික තෙහෙට්‍ටුව වගේ මූලික රෝග ලක්ෂණ වලට අමතරව ඔබේ සම තුල ද විවිධ වෙනස්කම් මතුවෙයි.රුධිරයේ අධික සීනි මට්ටම නිසා ඔබේ සමට විවිධාකාරයෙන් බොහෝ බලපෑම් ඇතිවිය හැකියි. දණහිසට පහළ ඉදිරිපස සම මත ලා දුඹුරු රවුම් කොරල පැල්ලම් මතුවීම රුධිර සීනි මට්ටම් ඉහළ යාමත් සමඟ ඇතිවන තත්වයකි.සම මත රතු හෝ දම් පැහැති දාර සහිත විශාල රවුම් පැල්ලම් මතුවීමට පටන්ගෙන ඇත්නම් එය අවදානම් තත්වයකි.මේවා ආශ්‍රිතව කැසිල්ලක් වේදනාවක් ඇතිවීමට ඉඩ තිබෙයි.බෙල්ල වටා ,කිහිලි,වැළමිට,දණහිස් සහ ඉකිලි කලුවී ඉරි තැලීම තවත් ගැටලුකාරී ලක්ෂණයකි.

ඇතැම් රෝගීන්ගේ අත් වල සහ පාදයේ ඇඟිලි වල සම ඝනකම්,ඉටි ස්වභාවයක් ගත හැකියි.සන්ධි වල තද ගතියක් ඇතිවිය හැකියි. මෙය digital sclerosis නම් වේ (සිරුරේ පටක ඝනවීමේ තත්වයක්).රුධිර සීනි මට්ටම වැඩි නිසා රුධිර ගමනාගමනය අඩාල වී ස්නායු හානිවෙයි.මේ හේතුවෙන් සමේ ඇතිවන තුවාල ලෙහෙසියෙන් සුව නොවෙයි. මෙවැනි රෝගීන් තුළ වණ ඇතිවීමේ අවදානම ඉතා ඉහළ නිසා දිනපතා ඔබේ දෙපා වල තුවාල ඇත්දැයි පරික්ෂා කරන්න.

අධි කොලෙස්ටරෝල් තත්වය කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යාම ඔබේ සම තුළින් ද පෙන්නුම් කරයි.සමේ ඇති කොලෙස්ටරෝල් මඟින් සම මත  කහ පැහැති බිබිලි මතුකරවයි. මේවා සැන්තලෙස්මා (xanthelasma) ලෙස හඳුන්වයි.බොහෝ විට ඇහිපිය දාර වටා මේවා මතුකරයි.මේවා ඇතිවන්නේ සිරුරේ අධික කොලෙස්ටරෝල් මට්ටමක් ඇතිවීමේ අතුරු ආබාධයක් ලෙසයි.ඉහළ හා පහළ ඇහි දාර වල මෙසේ කොලෙස්ටරෝල් තැන්පත්වීමෙන් ඔබේ ඇසිපිය ගැසීමේ හැකියාවට බාධා එල්ලවීමට පටන්ගනියි.ඇස් ඇරීම හා ඇස් පියාගැනීම අසීරු විය හැකියි.මෙවැනි සංඥා ඔබේ මුහුණේ දක්නට ලැබෙයි නම් නිසි ප්‍රතිකාර වෙත යොමුවීමට කටයුතු කරන්න.

ලූපස් (lupus) සම මත රවුම් තුවාල පැල්ලම් ලෙස කුෂ්ඨ මතුවීම කියුටේනියස් ලූපස් තත්වයේ ලක්ෂණයක් විය හැකියි. මෙය නිදන්ගත ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් වන අතර වැඩිබලපෑමක් ඇතිවන්නේ ඔබේ සමටයි.මෙය සම මත රතු හෝ රෝස පැහැ කාසි හැඩැති තුවාල ඇතිකරවන චර්ම රෝගයකි.හිස්කබල, බෙල්ල, අත් සහ කකුල් වැනි ස්ථාන බව බහුලව මේවා මතුකරයි.හිරු එළියට නිරාවරණය වීම නිසා මෙම දද රෝගය තවත් බරපතල අතට හැරිය හැකියි.එම නිස එවැනි රෝගීන් SPF 70 හෝ ඊට වැඩි අගයක් ඇති සන්ක්‍රීම් එකක් භාවිත කිරීම ඉතා වැදගත්.සමේ පොතු ගැලවීයාම,හිස්කබලේ ඝනකම් කොරල මතුවීම,වැළමිට,ඇඟිලි තුඬු මත සැරව ගලන තුවාල මතුවීම සහ සම මත පිග්මන්ටේෂන් කැලැල් හටගැනීම මේ තත්වයේ තවත් ලක්ෂණ කිහිපයක්.

ඔබේ සමේ මෙවැනි ගැටලුකාරී ලක්ෂණ මතුවෙමින් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.