අයිස් කැටෙන් රුව ලස්සන කරගත හැකි රහස් 12 ක්

health tips

ලස්සන වෙන්න කවුද අකමැති. පැහැපත් සමක් ලබා ගන්නට, සමේ ලප කැලැල් ඉවත් කර ගන්නට වගේම කුරුලෑ ඇතිවීම වළක්වා ගන්නත් අද බොහෝ දෙනෙක් විශාල මුදලක් වැය කරමින් විවිධ ආලේපන වර්ග භාවිතා කරනවා. නමුත් කිසිදු වියදමකින් තොරව මේ ගැටළුවට කදිම විසඳුමක් නිවසේදීම සකස් කරගත හැකි අයිස් කැට මගින් ලබා ගන්නට හැකි බව ඔබ දන්නවා ද?. කොරියානු රූපලාවන්‍ය ප්‍රවණතාවයක් වන අයිස් කියුබ් මගින් අපි කොහොමද අපේ රූපය ලස්සන කර ගන්නේ. අද අපි ඔබට කියන්නේ යන්නේ ඒ පිළිබඳවයි.

  • සම පැහැපත් කර ගැනීම සඳහා රාත්‍රී නින්දට යාමට පෙර මුහුණ සෝදා පිරිසිදු කරගෙන අයිස් කැට කිහිපයක් ඉටි කවරයක දමා  මුහුණ හා ගෙල ආශ්‍රිත ප්‍රදේශ ඉතා මෘදුව  මිනිත්තු 5 ක් පමණ හොඳින්  සම්බාහනය කරන්න. මුහුණේ හා ගෙල ආශ්‍රිත  ප්‍රදේශවල රුධිර නාල අයිස් කැට සම්බාහනයේ දී අවහිර වන නිසා සමේ අසමතුලිතභාවය වළක්වා ගන්නට  හෘදය විසින් ඉතා වේගයෙන් ඒ ප්‍රදේශයට රුධිරය සංසරණය කරනු ලබනවා. මෙයින් මුහුණට සිනිඳු බවක් ලැබෙන අතර  මුහුණේ රැලි ඉවත් කර තරුණ පෙනුමක් ලබාදෙනවා.
  • සම මත ආලේපනය කරන ලද ද්‍රව්‍යවල අවශෝෂණය වැඩි කර ගැනීම සඳහා රාත්‍රී කාලයේදී නම් නයිට් ක්‍රීම් එකක් මුහුණේ ගල්වා ඇත්නම් එය මතුපිටින් අයිස් කැටයකින් සම්බාහනයක් කරන්න. එවිට ඒ ආලේපනය සතු ගුණාත්මක ද්‍රව්‍ය ඉතා ඉක්මනින් සහ ඉතාමත් හොඳින් සමට අවශෝෂණය කරගනු ලබනවා.
  • කුරුලෑ ඉවත් කර ගැනීම සඳහා අයිස් කැටවලට සමේ ඇති තෙල් නිෂ්පාදනය අවම කරන්නත්, කුරුලෑ නිසා ඇතිවන ගැටිති සහ ඉදිමුම්  සුවකරන්නටත් හැකියාව පවතිනවා. මුහුණ හොඳින් පිරිසිදු කිරීමෙන් පසුව ඉටි බෑගයක දැමූ අයිස් කැට කිහිපයකින් සම්බාහනය කර පිරිසිදු රෙදි කැබැල්ලකින් විනාඩියක පමණ කාලයක් මුහුණ ආවරණය කර තබන්න. ආවරණය ඉවත්කළ පසු ඔබට කුරුලෑ අඩුවී විස්මිත වෙනසක් දැක ගන්නට ලැබේවි.
  • මුහුණේ අඳුරු ලප ඉවත් කර ගැනීම සඳහා-රෝස වතුර ස්වල්යකට පිපිඤ්ඤා යුෂ ස්වල්පයක් එකතු කර එය ශීතකරණයේ තබා අයිස් කැට වශයෙන් සකස් කර ගන්න. එය මුහුණේ ලප කැලැල් මත සම්බාහනය කරන්න. මෙය දිනපතා විනාඩි 5 ක් පමණ සතියක් පමණ සිදු කිරීමෙන්  ලප කැලැල්වල පැහැදිලි අඩුවක් දැකගන්නට පුළුවන්.
  • මේ සඳහා මේ අයිස් කැට සත්කාරයත් ඔබට ඉතා වැදගත් වේවි.පොත්ත ඉවත් කර හොඳින් සෝදාගත් කොමාරිකා මදවලට කස්තුරි කහ තේ හැදි 2ක් පමණ එකතු කරගෙන බ්ලෙන්ඩර් ගෙන අයිස් කැට සකස් කරගන්න. දිනපතාම මේ අයිස් කැට මුහුණේ ගැල්වීමෙන් මුහුණේ අඳුරු ලප කැලැල් ඉවත් කරගන්නටත්, සම පැහැපත් කරගන්නටත්, කුරුලෑ ඇතිවීම වළක්වාගන්නටත් හේතු වෙනවා. 
  • ඇස්වල ඉදිමුම් ස්වභාවය අඩු කිරීම සඳහා-නිතර නිදිවැරීම නිසා හෝ ඇස් නිතර වෙහෙසවීම නිසා ඇතිවන ඉදිමුම් සඳහා අයිස් කැට ඉතාම හොඳ ප්‍රතිකාරයක්. පිරිසිදු රෙදි කැබැල්ලක් මැදට අයිස් කැට දෙකක් තබා එය  ඇස්වල අභ්‍යන්තර කෙළවරේ සිට  ඇහි බැම වෙතට රවුම් ආකාරයකින්  සම්බාහනය කරන්න.
  • මුහුණේ විවර වූ සිදුරු ඉවත් කර ගැනීම සඳහා -තෙල් හා දහදිය පිට කිරීමට ස්වාභාවිකවම සම මතුපිට පිහිටා ඇති සිදුරු විෂබීජ දූවිලි ආදිය පිරීම හේතුවෙන් කුරුලෑ පවා ඇති වෙනවා. අයිස් කැට මගින් ඒවා හොඳින් පිරිසිදු කරන අතර මේ සිදුරු හැකිළීමකට ලක් වෙනවා.
  • මේකප් ඉතා ඉක්මනින් ඉවත් වීම වළක්වා ගැනීම සඳහා මේකප් දැමීමට තත්පර 2-3 ට පෙර අයිස් කැටයකින් මුහුණ හා බෙල්ල ආශ්‍රිත ප්‍රදේශවල හොඳින් අතුල්ලන්න. ඉන්පසුව මේකප් දැමීම සිදු කරන්න. මෙය දීර්ඝ වේලාවක් ආලේපන රඳවා ගන්නට උපකාරී වෙනවා.
  • තොල් මෘදුව තබාගැනීම සඳහා තොල් වියළීම සහ තොල් පැලීම යන පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිදීමට තොල් මත අයිස් කැට තබන්නට පුළුවන්. එය තොල්වල දැවිල්ලත් සමනය කර ගන්නට උපකාරී වෙනවා.
  • දද කුෂ්ට සුවකර ගැනීම සඳහා මේ කුෂ්ටවලදී ඒ ආශ්‍රිත ප්‍රදේශයේ දැවිල්ලක් ඇති වෙනවා. එය සමනය කර ගන්නට අයිස් කැට කිහිපයක් කපු රෙද්දක ඔතාගෙන එය කුෂ්ට ඇති ප්‍රදේශයේ හොඳින් අතුල්ලන්න.එය තුවාලය පිරිසිදු කරන්නටත්හේතු වෙනවා.
  • අව්වට පිළිස්සුණු සම යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා හිරු එළිය නිසා අවපැහැ ගැන්වූ ස්ථානවල අයිස් කැට මගින් සම්බාහනය කිරීම මගින් දැවිල්ල හා රතු පැහැය අඩු කරමින් සමේ පැහැයත් යථා තත්ත්වයට පත් කරනු ලබනවා.
  • සමේ අධික තෙල් සහිත බව අඩුකර ගැනීම සඳහා රාත්‍රී නින්දට යාමට පෙර අයිස් කැට මගින් මුහුණ සම්බාහනය කිරීම සමේ තෙල් බව අඩු කරන්නට උපකාරී වෙනවා.

ඒ හැරුණාම මුහුණේ සිදුරු වසා ගන්නට,සමේ එල්ලා වැටීම අවම කරගන්නට, ඇස් යට අඳුරු බව නැති කර ගන්නටත් මේ  අයිස් කැට උපකාරී වෙනවා.නමුත් අයිස් කැට සත්කාරයන් සිදු කිරීමේදී එය නිවැරදිව සිදු කිරීමට වග බලා ගන්න. නැත්නම් එයින් ඉතාමත් හානිදායක තත්ත්වයන් ඇති වන්නට හැකියාව පවතින නිසා.  විශේෂයෙන් සමේ එක් ස්ථානයක වැඩි වේලාවක් අයිස් කැට තබා ගෙන සිටීමෙන් වැළකීම මෙහිදී ඉතාම වැදගත් කාරණාවක් වෙනවා.