වැඩියෙන් නිදාගත්තොත් 40 පනින්න කලින් හැදෙන ලෙඩ රෝග 10 ක්

health tips

අඩුවෙන් නිදා ගැනීමත් වැඩිපුර නිදා ගැනීමත් කියන තත්ත්වයන් දෙකම අපේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ සතියේ දිනවල උදෑසන රැකියාවේ වැඩකටයුතු ඇතුළු වැඩත් එක්ක අහිමි වෙන නින්ද සති අන්තයේ ලැබෙන විවේකයේ දී ආවරණය කරගන්නට . එවිට සති අන්තයේදී වැඩි පැය ගණනක් ඔබ නිදන්නට පුරුදු වෙනවා . නමුත් මේ පුරුද්ද ඔබේ ශරීරයට කොතරම් අහිතකර ද කියලා ඔයා දන්නෙ  නැතුව ඇති. විශේෂයෙන්ම නොයෙකුත් ලෙඩ ඇතිවෙන්නට , අකල් මරණ ඇති කරන්නට තරම් මේ වැඩිපුර නිදා ගැනීම  බලපානවා. ඉතින් ඒ නිසා අද  කතා කරන්න සුදානම් වෙන්නේ වැඩිපුර නිදා ගැනීම නිසා ඇතිවන රෝග ගැනයි. 

අපි කොතරම් සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් ලබා ගත්තත්, ශාරීරික ව්‍යායාම්වල නිරත වුණත්, දෛනිකව පැය 7- 8 වත් නින්දක් ලබා නොගන්නේ නම් එය අපේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකම ක්‍රියාකාරීත්වය කෙරෙහි අහිතකර විදිහට බලපානවා. ඉතින් ඒ නිසා නින්ද කියලා කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම සාධකයක් .නමුත් සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක් දිනකට අවම පැය හතක් හෝ අටක් නිදාගත යුතු බවයි පැවසෙන්නේ . ඒ නිසා ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිදාගන්නට දෛනිකව පෙළඹෙනවා නම් එය වඩාත් ගැටලුකාරී තත්ත්වයක්. ඒ ගැටලු මෙන්න .

දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩි වෙනවා.නිදි වැරීම නිසා වගේම වැඩි වශයෙන් නිදාගැනීම හේතු කරගෙනත්  අපේ ශරීරයේ නිෂ්පාදනය වන සීනි ප්‍රමාණය ඉහළ යනවා. මේ නිසා දියවැඩියාව වැළඳීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වෙන බව ඔබ සිහියේ තබා ගත යුතුයි. ඒ විතරක් නෙවෙයි දීර්ඝ නින්දක් ලබා ගන්නා අයට ශරීරයට ලැබෙන ශාරීරික ක්‍රියාකාරකම් අඩු නිසා උදාසීන පුද්ගලයෙක් බවට පත්වෙන්නත් මේ දිගු නින්ද හේතුවක් වෙනවා.

මොළයට සිදුකරන බලපෑම් අධික ලෙස නිදාගැනීම නිසා අපේ මොළයේ ස්නායුවලට අහිතකර තත්වයක් ඇති කරනවා. විශේෂයෙන්ම අධික ලෙස නිදා ගන්නා පුද්ගලයෙක් නම්  ඔබගේ මොළය හරි ඉක්මනට වයසට යන්නට පටන් ගන්නවා. මොළයේ ව්‍යුහයත්  වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මෙය එතරම් හොඳ පුරුද්දක් නොවන බව ඔබට වැටහෙනවා ඇති.

හිසරදය දෛනිකව අවශ්‍ය පැය ගණන නින්ද නොලැබීම නිසා වගේම අධික ලෙස නිදා ගැනීම හේතු කරගෙනත් හිසරදය ඇති වෙනවා. ඒ වගේම සාමාන්‍ය හිසරදයකින්  සුවයක් ලබා ගන්නටත් නින්ද අවශ්‍ය වෙනවා. නමුත් අධික ලෙස වැඩි කාලයක් නිදා ගැනීම හිසරදය ඇති කරන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. 

ශරීර බර වැඩිවීම අධික ලෙස නිදා ගැනීම ශරීර බර වැඩි වීමටත් හේතුවක්. නින්දේදි අපේ ශරීරය අක්‍රියවයි තියෙන්නේ. ඔබ දවසකට වැඩිපුර කාලයක් නිදා ගැනීමේදී අපේ ශරීරය අක්‍රියව තියෙන  කාලය ඉතා ඉහළයි. ඉතින් ඒ නිසා අපේ ශරීරයේ කැලරි දහනය වීම අඩු වෙලා ශරීර බර වැඩි වෙනවා. මෙය  ස්ථුලතාව ඇතිවෙන්න හේතුවක්. 

ඵලදායිතාවය අඩු වීම එක්තරා අධ්‍යයනයක් මගින් නින්දේ කාලසීමාවට සහ සම්බන්ධ ඵලදායිතාව තක්සේරු කරගෙන තියෙනවා. ඒ සඳහා වයස අවුරුදු 22 සිට 60 දක්වා පුද්ගලයන්  1000 ට වැඩි පිරිසක් සහභාගී කරගෙන තියෙනවා. ඒ අනුව පැය 4 ට අඩු නින්ද, පැය 5-6 දක්වා නින්ද, සාමාන්‍ය පැය 7 සිට 8 දක්වා නින්ද, පැය 9  සිට දිගු නින්ද යන කාලසීමාවන්ට අදාළව  මේ පිරිස් අධ්‍යයනයට සහභාගි වී නින්ද ලබාගෙන තියෙනවා. අවසානයේ අනාවරණය කරගෙන තියෙන්නේ ඉතා කෙටි නින්දක් ලබා ගන්නා පුද්ගලයන්ගේ ඵලදායිතාවය සේම දිගු වේලාවක් නිදා ගන්නා පුද්ගලයන්ගේ ඵලදායිතාවයත්  ඉතාම අඩු බවයි. පර්යේෂකයන් නිගමනය කරන ලද්දේ අධික ලෙස නිදාගැනීම  24% පමණ ඔබේ ඵලදායිතාවය අඩු  කරන බවයි.

හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩි වීම පැය 8 ට වඩා වැඩි නින්දක් ලබා ගැනීම හෘදවාහිනී සම්බන්ධරෝග ඇතිවීමේ අවදානම ඉහළ නංවන බව පර්යේෂණවලින් අනාවරණය කරගෙන තියෙනවා. නින්දේ කාලසීමාව, නින්දේ  ගුණාත්මකභාවය සහ හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම අතර සමීප සම්බන්ධතාවයක් තියෙනවා. නින්දේ  කාල සීමාව වැඩිවීම මත රුධිර වාහිනී ආශ්‍රිත රෝග තත්ත්වය ඇතිවීමේ අවදානම ඉහළ යන බව සඳහන්. ඒ අනුව විද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ පැය 8 කට වඩා වැඩි කාලයක් නිදා ගැනීම හදවත් රෝගවලට ඇති අවදානම වැඩි බවයි.

  • කොන්දේ වේදනාව
  • ආයු කාලය අඩුවීම  
  • සම අකලට වියපත්වීම
  • දවස පුරා අලස බවක් දැනීම

 ඉතින් මේ නිසා නිදි කාල සටහනක් සකසා ගෙන එකම වේලාවකට නින්දට යාමට සහ එකම වේලාවකට අවදි වෙන්නට සකසා ගැනීම මෙය සාමාන්‍ය තත්ත්වයකට  පත් කරගන්නට ඔබට උදව්වක් වේවි. ඒ හැරුනහම නින්දට පෙර නිතිපතා ව්‍යායාම කිරීම මගින් ඔබට පහසුවෙන් නින්ද ළඟා කරගන්න පුළුවන් .නින්ද අපේ ශරීරයට කොතරම් හිතකර වුණත් සෞඛ්‍යසම්පන්න වුණත් පැය 8 ඉක්මවූ නින්දක් ඔබ නිතර නිතර ලබා ගන්නවා නම් එය ඔබේ සෞඛ්‍යයට හිතකර නොවන බව මතක තියාගන්න.