දරුවන්ගේ ප්‍රතිශක්තියට හානි කරන වැරදි ආහාර පුරුදු 5 ක්

health tips

කාලෙන් කාලෙට අපිට විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ අතර ලෙඩ රෝග කියන්නේ අපිට නිතරම මුහුණ දෙන්නට වෙන එක්තරා විදියක අභියෝගයක්. ඇතැම්විට ඒවා සාර්ථකව ජය ගන්නට පුළුවන්. ඇතැම්විට ඒවා ජයගන්නට අපිට විශාල සටනක් කරන්නට වෙනවා.ඉතින් අද වෙද්දි මුළු ලෝකයම කොරෝනා වසංගතය කියන අභියෝගයට මුහුණදෙමින් ඉන්නවා. යම් යම් රටවල් එය සාර්ථකව ජයගත්තත් බොහෝ රටවල් මේ වසංගතය නිසා තවමත් අගාධයේ සිටින්නේ. මේ කොරෝනා වසංගතය අපි හොඳින් දන්නා අපි මේ වෙද්දිත් අත්විදින වෛරස් රෝගයක්. නමුත් අනාදිමත් කාලයක සිටම  පැපොල, සරම්ප, කම්මුල්ගාය, ඩිප්තීරියා ආදී වෛරස නිසා ජනතාව වැඩි වශයෙන් මරණයට පත්වුණා. පසුකාලීනව මේ වෛරස්වලට එරෙහිව සටන් කරන්නට හැකි ආකාරයේ විවිධ එන්නත් නිෂ්පාදනය වුණා. ඒ නිසාම මේ වෛරසයන් නිසා සිදුවන මරණ බොහෝසෙයින් අඩුවුණා.

 ඉතින් මේ වෛරස පිළිබඳව කතා කරද්දි බාහිරින් ලබා ගන්නා එන්නතකට වඩා අපේ ශරීරයේ ඊට එරෙහිව සටන් කළ හැකි ආකාරයේ ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් පවත්වා ගන්නට ඕන. මේ කෝරෝනා වෛරසයෙන් මිදෙන්නට නිරන්තරයෙන් සෞඛ්‍ය අංශ විසින් අපිව දැනුවත් කරන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට අපි කළ යුතු දේවල් පිළිබඳව. විශේෂයෙන්ම අපි ගත යුතු ආහාර පිළිබඳව.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තර සෛල හා ප්‍රෝටීනවලින් සමන්විත පද්ධතියක්. අපේ ශරීරයට ඇතුළු වන ඕනෑම බාහිර දෙයක් ඉක්මනින්ම හඳුනා ගෙන ඒවායින් ශරීරය ආරක්ෂා කරගන්නේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්. ඒ නිසා මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි. 

වෛරසවලට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය වැඩිහිටියන්ට වඩා දරුවන්ගේ ඉතා අඩුයි. විශේෂයෙන්ම වයස වුරුදු 1 ට අඩු දරුවන්. මේ නිසා මේ වෛරස තත්ත්වය තුළ ඔවුන් වෙත වැඩි අවධානයක් ලබාදිය යුතු වෙනවා. ඒ වගේම අද දෙමාපියන් දරුවන්ට ලබාදෙන අහිතකර ආහාර ප්‍රතිශක්තිය අඩු කරන ආහාර නිසා දරුවන්ගේ ප්‍රතිශක්තිය  පිළිබඳව දෙමාපියන්ගේ අවධානය සහ දැනුවත්භාවය අත්‍යවශ්‍යයි.

දරුවාගේ ප්‍රතිශක්තිය පහත හෙලන ආහාර   

අධික ලුණු සහ අධික සීනි සහිත ආහාර-දරුවන් වැඩි වශයෙන් ආහාරයට ගන්නා ටොෆි, චොකලට්, පැණි බීම ආදියේ සීනි වගේම ලුණුත් වැඩි වශයෙන් අඩංගු වෙනවා. මේ ආහාර නිතර ගැනීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග වැළදීමයි.දියවැඩියා රෝගීන් අපේ රටේ 40% ඉක්මවා සිටිනවා. ඒ අතුරින් දියවැඩියාව වැළදුණු සහ දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවය ඇති අය සිටිනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියන්ගේ මේ දියවැඩියා තත්ත්වය ඇතිවීම සාමාන්‍ය කාරණයක් වුණත් අද වෙද්දි වයස් අවුරුදු 7,8, ආදී වයස්වල දරුවන්ට පවා මේ දියවැඩියා රෝගය වැළදී තියෙනවා. දරුවන්ට වැළදෙන බෝ නොවන රෝග අතුරින් දියවැඩියා රෝගීන් ක්‍රමයෙන් වැඩිවීම ඉතාම බරපතල තත්ත්වයක්. 

ගුණාත්මක පෝෂ්‍යදායි ආහාරවේලෙන් ඈත්ව අධික පිටි සහිත කෙඳි රහිත ක්ෂනික ආහාර වැඩි වශයෙන්  දරුවන් වගේම වැඩිහිටියනුත් ආහාරයට ගන්නවා. ඒ වගේම සංකීර්ණ ජීවන රටාවත්  සමඟ වැරදි චර්යා රටාවන් පවා මේ තත්ත්වය වර්ධනය කරන්නට හේතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දරුවන් ක්‍රමයෙන් දියවැඩියාව ආදී නිදන්ගත රෝගවලට ගොදුරුවීම තුළ ඔවුන් සතු ප්‍රතිශක්තිකරණය පහළ බසිනවා. එවිට මේ වෛරස හා බැක්ටීරියාවලට එරෙහිව සටන් කරන්නට ඇති හැකියාව අඩුයි.  

මාංශමය ආහාර අධිකව ආහාරයට ගැනීම-මස් මාංශ අනුභවය අපේ ශරීරයේ වර්ධනයට ඉතා අත්‍යවශ්‍යයි. ඒවායේ ඉතා ඉහළ ප්‍රෝටීන ආදී පෝෂක අන්තර්ගත වෙන්නට පුළුවන්. නමුත් පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙන විදියට නිතර නිතර අධිකව මස් මාළු ආහාරයට ගැනීම ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවීම කෙරෙහි බලපෑම් කරනවා. මොකද මේවායේ විවිධ රසායනික සංඝටක අඩංගු වෙනවා. විශේෂයෙන්ම බැරලෝහ ආදිය. ඒ වගේම ආහාර පිසීමේදී භාවිතා කරන විවිධ රසායන ද්‍රව්‍ය වගේම ආහාර කල්තබා ගැනීමට භාවිතා කරන විවිධ සංඝටක, රසකාරක හා වර්ණකාරක නිසා ප්‍රතිශක්තිය අඩුවෙනවා. ඒ වගේම මේ තත්ත්වයන් නිදන්ගත රෝග ඇතිවීම කෙරෙහිත් බලපානු ලබනවා. දරුවන්ට වුණත් වැඩි වශයෙන් මස් මාළු ආදිය ආහාරයට දීමට දෙමාපියන් උනන්දු වෙනවා. මෙය දරුවාගේ ප්‍රතිශක්තිය පහළ දැමීමට හේතුවනවා.

අධික තෙල් සහිත ආහාර නිතර ලබාදීම-ක්ෂණික ආහාර ආදිය නිතර ගැනීම දරුවා නිදන්ගත රෝග ඇතිවීමේ අවදානමකට පත් කරනවා. නිදන්ගත රෝග වෛරසවල බලපෑමට ලක්වෙන්නට හේතුවෙනවා. මොකද ප්‍රතිශක්තිය පහළ හෙළන්නට නිදන්ගත රෝගවලට හැකි නිසා.  තෙලේ බැද කල් තබා ගැනීමට සකසා ඇති පැකට් කළ ආහාර මුඩුවීම වළක්වන්නට හයිඩ්රිජනීකෘත තෙල් භාවිතා කරනු ලබනවා. ඒ වගේම නැවත නැවත තෙලේ බදින ලද ආහාර හයිකෝ වැනි බටර් යෙදූ ආහාර දරුවන්ට ඉතාමත් අහිතකරයි. එය දරුවාගේ ප්‍රතිශක්තිය පහළ දැමීමට හේතුවන තවත් කාරණයක්.

මොනොසෝඩි ග්ලූටමේඩ් අඩංගු ආහාර දරුවන්ට ඉතාමත් අහිතකර දරුවන්ගේ ආහාරවල බහුලව හමුවන නුසුදුසුම රසායන ද්‍රව්‍ය වෙන්නේ මොනොසෝඩි ග්ලූටමේට්. ඕනෑම රසයක් දිවට වඩාත් ප්‍රණීත රසයක් බවට පත් කරන්නට මේ රසායනිකයට හැකි නිසා ආහාර නිෂ්පාදකයන් වගේම අවන්හල්වලත් බහුලවම මේ අහිතකර රසායනිකය භාවිතා කරනවා. ක්ෂණික නූඩ්ලස් සහ ඒවායේ අඩංගු රසකාරක පැකට්වලත් හෝටල්වලින් ලබා ගන්නා ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු අඩු ප්‍රමිතියෙන් යුක්ත ආහාරවලත් මේ රසායනිකය යොදනු ලබනවා. මේ ආහාර ගන්නා දරුවන් දියවැඩියාව, පිළිකා, අධි රුධිර පීඩනය ආදී රෝගී තත්ත්වයන්ට ගොදුරු වන අතර ඒ තත්ත්වය දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය හීන කරන්නටත් හේතු වෙනවා.

ජාන වෙනස් කළ ආහාර ජාන වෙනස් කළ ආහාර යනු ස්වාභාවිකව හැදෙන සතුන්ගේ ගහකොළවල ජානමය තත්ත්වයන් විකෘතියට ලක් කර සකසන ලද ආහාර වර්ග, ජාන වෙනස් කළ පැල වර්ග වගේම ජානමය වෙනස්කම් සහිත මස් ආදිය ආහාරයට ගැනීම ඉතාමත් අහිතකර ප්‍රතිවිපාක අත්කර දෙනවා. පෙනුම ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් නොවී එලවලු පලතුරු මිලට ගැනීමේදී ස්වාභාවික තත්ත්වයේ පවතින තම ප්‍රදේශයේ වගා කරන ලද ආහාර දරුවන්ට ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් දරුවන් පිළිකා ආදී දරුණු රෝගයන්ගෙන් ආරක්ෂා කරගන්නට පුළුවන්.

සෑම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවන්ව ඇස් දෙක වගේ බලාගන්නවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් නොදැනුවත්භාවය නිසා දරුවා ආස කරන නිසා ඇතැම් ආහාර තෝරා බේරා නොගෙන ලබාදීමෙන් දරුවාට අහිතකර බලපෑම් ඇතිකරනවා. මේ කොරෝනා වසංගත සමයේදී දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය හීන කරන කෘතීම ආහාරපානවලින් දරුවාව ඈත්කර ස්වාභාවික ගුණයෙන් හා පෝෂණයෙන් අනූන ප්‍රතිශක්තිය වඩවන ආහාර පමණක් ලබාදීම දෙමව්පියන්ගේ වගකීමක්.