නිතර කකුල් ඉදිමීම හිරිවැටීම සිදුවෙනවානම් දැන්ම කරයුතු දේවල් 9 ක්

health tips

අවට පරිසරය සීතල නැතත් ඔබේ කකුල් අධික ලෙස සීතල වෙලාද? නැතිනම් කකුල් ඉදිමිලාද? නිතර නිතර පේශි පෙරළීම්, හිරිවැටීම, තුවාල සුවවීම මන්දගාමී වීම,නහර පෑදීම (spider veins) වැනි තත්වයන් අත්දැකීම කකුල් වල රුධිර ගමනාගමනයේ මන්දගාමී බව පෙන්නුම් කරන සංඥා විය හැකියි.ඔබේ කකුල් සහ යටිපතුල් වල ක්‍රමවත් ක්‍රියාකාරීත්වය සඳහා එහි රුධිර සංසරණය හොඳින් සිදුවීම ඉතා වැදගත්.ඔබේ කකුල් හා යටිපතුල් වල රුධිර සංසරණය වැඩිදියුණු වීමට මෙම උපදෙස් අනුගමනය කරන්න.

ශරීර බර කෙරෙහි සැලකිලිමත්වන්න දවස පුරා මුළු සිරුරේම බර දරන්නේ ඔබේ යටිපතුල්ය.ඔබ අධි බර පුද්ගලයෙක් නම්,ඇවිදිනවිට හෝ සිටගෙන සිටින විට පවා ඔබේ යටිපතුල් වලට දිගින් දිගටම අධික පීඩනයක් එල්ලවී තිබෙයි.ස්ථූලතාව නොයෙකුත් රෝගාබාධ වලට මූලික වන හේතුවක් බව ඔබ දන්නවා. එම නිසා නීරෝගි ශරීර බරක් පවත්වාගැනීමට සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා.නීරෝගී ආහාර පාන පරිභෝජනය කරන්න.බර අඩුකරගන්න උත්සහ කරන්න. මින් ඔබේ දෙපා වල රුධිර සංසරණය වැඩිදියුණු වීමට සහයක් ලැබෙයි.

දවස පුරා පු‍ටුවේ හෝ ඇඳේ වැතිරී ඉන්න එපා! සිරුරේ ක්‍රියාශීලිබව ඔබව නොයෙකුත් රෝගාබාධ අවදානම් ‍රැසකින්ම ආරක්ෂා කිරීමට සමත් වෙයි.එක තැනකට වී උදාසීනව දවස ගෙවා දැමීමට වඩා මිනිත්තු කිහිපයක් වැය කරමින් මද දුරක් ඇවිදීමෙන් සිරුරට හොඳ ප්‍රතිලාභයක් ලැබෙයි.නිතිපතා ව්‍යායාම වල යෙදී ක්‍රියාශීලිව සිටින්න. මුලදීම තීව්‍ර ව්‍යායාම වලට යොමුවීමට අවශ්‍ය නැහැ.ක්‍රම ක්‍රමයෙන් ඊට හුරුවන්න. අඛණ්ඩව ක්‍රියාශීලීව දවස ගත කරන්න. 

එක දිගට පැය ගණන් වාඩි වී සිටීමෙන් වළකින්න.ඇවිදීම හෝ මද වේගයෙන් දිවීම ඉතා හොඳ අභ්‍යාස වෙයි. මින් ඔක්සිජන් බහුල රුධිරය වඩාත් හොඳින් සිරුර පුරා ගමන් කරයි. හෘදය,මොළය,පෙනහළු,වකුගඩු වැනි අවයව වෙත සැපයෙන ඔක්සිජන් බහුල රුධිර ප්‍රමාණය වැඩිවීමෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩිවී තෙහෙට්‍ටුව වැනි ලක්ෂණ ඇතිවීම වළක්වයි. පිහිනීම, පාපැදි ධාවනය ,කඳු නැගීම වගේ ක්‍රියාකාරකම් ද හෘද සෞඛ්‍යයට ඉතා යෝග්‍යයයි. ‍රැකියා ස්ථානයේදි විදුලි සෝපානය වෙනුවට තරප්පු පෙළ භාවිත කිරීමට පුරුදුවන්න. ඉන් දෙපා වලට හොඳ ව්‍යායාමයක් ලැබෙයි. ඉන් දෙපා වල රුධිර ගමනාගමනය ඉහළ යයි.

දෙපා සම්බාහනය කරන්න දෙපා වල රුධිර ගමනාගමනය දුර්වල වීමේ බරපතල තත්ව වලදී දෙපා රතු,නිල්,දම් හෝ සුදුමැලි පැහැයකට හැරීම සිදුවිය හැකියි. දිගු කලක් තිස්සේ මේ තත්වය පවතින්නේ නම් බොහෝ විට එය Raynaud’s disease නම් රෝග තත්වය විය හැකියි.පීඩනය දුරුවීමට දෙපා හොඳින් සම්බාහනය කළ යුතුයි.ඉන් රුධිර සංසරණය ද වැඩිදියුණු වෙයි.දෙපා සම්බාහනය කිරීමෙන් කකුල් හිරිවැටීම වැනි ගැටලු පාලනය වෙයි.ඇඟිලි, වළලුකර හා යටිපතුල් මෘදුව තෙරපමින් සම්බාහනය කරන්න.මෙහිදි පොල්තෙල්, ඔලිව් තෙල්, ආමන්ඩ්, ජොජෝබා, ලැවෙන්ඩර් හෝ ටී ට්‍රී තෙල් වැනි ඖෂධීය තෙලක් භාවිත කිරීමෙන් වැඩි ගුණයක් අත්කරගත හැකියි.

‘ෆෝම් රෝලර්’ භාවිතය මාංශ පේශී වල ඇතිවන තැල්ම රුධිර ප්‍රවාහයට යම් යම් බලපෑම් ඇතිකළ හැකියි.ව්‍යායාම වල යෙදීමෙන් පසු ඇතැම් අය පේශි සැහැල්ලු කරගැනීම සඳහා මෙවැනි උපකරණ භාවිත කරනවා.ෆෝම් රෝලර් මඟින් රුධිර ගමනාගමනය ප්‍රකෘතිමත් වීමට සහය ලබාදෙයි.පේශි අපහසුතා මතුවීම වළක්වාගැනීමට හොඳ ක්‍රමයක් ලෙසත් මෙය භාවිත වෙයි. සිරුරට සැහැල්ලුවක් දැනෙන තුරු රෝලර් එක ඉදිරියට පි‍ටුපසට ගමන් කරවන්න.කෙණ්ඩා,කලව නහරය ආශ්‍රිතව හා කලවා ඉදිරිපස ප්‍රදේශයේ මාංශ පේශී වෙත මෙම උපකරණය භාවිත කරන්න.

කකුල් ඔසවා තබාගන්න නහර ඉදිමීම හෝ නහර ඉලිප්පීම නිසා වෙරිකෝස් වැනි ගැටලු මතුවෙයි.විශේෂයෙන්ම දවසේ වැඩි වෙලාවක් සිටගෙව්න සිටීම හෝ වාඩි වී සිටීම නිසා කකුල් වල නහර වලට දැඩි පීඩනයක් එල්ලවී තිබෙයි.මින් භාවිත වූ රුධිරය නැවත හදවත වෙත පොම්ප කිරීමට රුධිර සංසරණ පද්ධතියට අමතර ක්‍රියාකාරීත්වයක යෙදීමට සිදුවෙයි.නිවැරදි ඉරියව් භාවිත කිරීමෙන් මෙවැනි අවදානම් වළක්වාගත හැකියි.හදවත මට්ටමට ඉහළින් වන සේ කකුල් ඔසවා තබාගැනීම රුධිර ප්‍රවාහය පහසු කරවයි. ගුරුත්ව බලය මඟින් ඔක්සිජන් රහිත රුධිරය දෙපා වලින් හදවත දෙසට ඇදීම මෙහිදී පහසුවෙන් සිදුවෙයි. වාඩි වෙන විට උස් බංකුවක් හෝ කොට්ට කිහිපයක් තබා කකුල් දෙක තබාගෙන සිටින උස වැඩිකරගන්න. රුධිර සංසරණය වැඩිවීමට දිනකට මිනිත්තු 15ක් බැගින් වාර 3-4ක් මෙය සිදුකරන්න.

සිරුර ලිහිල් කරවන උපක්‍රම උත්සහ කරන්න සිරුර සැහැල්ලු කරවන උපක්‍රම වල යෙදීම ආතතිය හා පීඩනය වැනි පීඩාකාරී තත්වයන් සමනය වීමට හොඳ සහයක් ලබාදෙයි.ගැඹුරු ශ්වසන අභ්‍යාස, භාවනා ක්‍රම, යෝගා, ටයි චී,සුම්බා,ඇරෝමාතෙරපි වැනි ක්‍රම මෙහිදි ඉතා ඵලදායීය.පීඩනයට ලක්ව ඇති රුධිර නාළ ලිහිල් කර කකුල් වල රුධිර ගමනාගමනය වැඩිකිරීමට යෝගා වැනි ඉරියව් ක්‍රම උපකාරී වෙයි. නම්‍යතා ව්‍යායාම වල යෙදෙන්න.

නම්‍යතා නැත්නම් ස්ට්‍රෙචිං ව්‍යායාම වල යෙදීම ද තවත් හොඳ ඵලදායි ක්‍රමයක්.උදෑසන අවදි වූ පසු, ව්‍යායාම වලට පෙර සහ ව්‍යායාම වලට පසු, මේසයක් අසල වාඩි වී සිටීමේදි හෝ නින්දට කලින් පවා මේ සරල ව්‍යායාම වල යෙදීමට ඔබට හැකියි.ඇඟිලි වලින් සිටගැනීම සහ යළි විලුඹට බර වී සිටගැනීම ඔබට අනුගමනය කළ හැකි සරලම ස්ට්‍රෙචිං අභ්‍යාස ක්‍රමයකි. මිනිත්තු කිහිපයක් මාරුවෙන් මාරුවට මෙම පියවර දෙක අනුගමනය කරන්න.මින් යටි පතුල් වල වේදනා කැක්කුම් සමනය වෙයි.පේශි ලිහිල් වෙයි. 

සම්පීඩන මේස් කුට්ටමක් පලඳින්න compression stockings  ලෙස මේවා හඳුන්වයි.රුධිර ගමනාගමනය ක්‍රමවත්ව සිදුවීමට මෙම විශේෂ මේස් පැලඳීම සහය වෙයි.දෙපා වල සිට හෘදය වෙත ඇති රුධිර සැපයුම ක්‍රමවත්ව සිදුනොවන විට ඒ සඳහා අමතරව සහයක් අවශ්‍ය වෙයි.මෙම මේස් පැලඳගෙන සිටින විට රුධිරය එකතුවී කැටිගැසීමේ ඉඩකඩ අවම කරයි.මේවා සමට තද ලෙස ‍රැඳී තිබෙන නිසා වෙරිකෝස් නහර වැනි ගැටලු උත්සන්න වීම ද පාලනය වෙයි.පැය 8කට වඩා සිටගෙන හෝ ඉඳගෙන ඉන්න කෙනෙක් නම්, මෙවැනි වෛද්‍ය  ආධාරකයක් භාවිත කිරීම වඩාත් සෞඛ්‍යයට හිතකරයි. ගුරුත්ව බලයට එරෙහිව රුධිරය පොම්ප කිරීමට මේවා සහය ලබාදෙයි. නිදන විට පැලඳිම අවශ්‍ය නොවන අතර ඇවිදීමේදි භාවිත කරන්නේ නම් එය වඩාත් හිතකර වේවි.

නීරෝගි ආහාර පාන පරිභෝජනය කරන්න එළවළු, පලතුරු,රනිල බෝග,ධාන්‍ය,නට් වර්ග, ඇට වර්ග,මාලු, මස්, බිත්තර , කිරි නිෂ්පාදන වැනි ආහාර පාන ඔබේ ආහාර වේලට එක්කරගන්න.මේවායේ සිරුරට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ , ප්‍රෝටීන, හිතකර මේද බහුලයි. ගැඹුරු තෙලේ බදින ලද ආහාර, සීනි අධික ආහාර, සෝඩා පාන, කෘතිම හා ක්ෂණික ආහාර පාන ඔබේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් වැඩිවීමට බලපෑ හැකියි.එමෙන්ම ඒවායේ අඩංගුව ඇත්තේ හිස්කැලරි නිසා ඔබේ ශරීර බර වැඩිවීමේ ප්‍රවණතාව ද වැඩිය.

මේදමය ද්‍රව්‍ය ධමනි හා නහර තුළ එකතුවීමෙන් ඒවා ප‍ටුවී යයි. මෙම රෝගය atherosclerosis හෙවත් ධමනි සිහින් වීමේ රෝගයයි. ඒවා ඝනකම් වී රුධිරය ගමන් කිරීමට බාධා වෙයි. මින් පර්යන්ත  (හෘදයට ඈතින් පිහිටන)අවයව වල පටක වෙත රුධිරය ගමන් කිරීම නතර වී ඇතැම් විට පටක මියයාමට පවා ඉඩ තිබෙයි.සැමන්, සාඩින් වැනි මාලු, ඇට වර්ග වල අඩංගු ඔමේගා-3මේද අම්ල හෘද සෞඛ්‍යයට හිතකර මේද වේ.මේවා සිරුරේ රුධිර සංසරණ ක්‍රියාවලිය වඩාත් නීරෝගි කරයි.

කැෆේන්,දුම්කොළ භාවිතය හා දුම්පානය කිරීමෙන් වළකින්න දුම්පානය කිරීටක ධමනි රෝග වැනි ගැටලු අවදානම් වඩාත් නරක අතට හැරීමට බලපායි.වක්‍රාකාරව හෝ සිගරට් දුම් ආග්‍රහණය කිරීම ද භයානකයි.අධික මත්පැන් පානය හා කැෆේන් අඩංගු ආහාර පාන පරිභෝජනය ද ධමනි ප‍ටුවීම හා රුධිර ගමනාගමනය අඩුවීමේ අවදානම වැඩිකරවයි.කෝපි වැනි කැෆේන් බහුල පාන වර්ග වෙනුවට ශරීර සෞඛ්‍යට හිතකර විකල්පයකට මාරුවෙන්න. හර්බල් ටී, ග්‍රින් ටී, කැඳ, ලෙමන් හෝ දෙහි මුසු ජලය හෝ සීනි එක්නොකළ පලතුරු හෝ එළවළු යුෂ වීදුරුවක් පානය කිරීම වඩාත් ගුණදායක වේවි.

කකුල් උණුසුම්ව තබාගන්න කකුල් සීතලින් ආරක්ෂා කරගන්න මේස් කුට්ටමක් පැලඳීම හෝ උණුසුම් යමකින් තැවීම වැනි උපක්‍රම භාවිත කළ හැකියි.මින් කකුල් වල නහර වල ක්‍රියාකාරීත්වය ද වැඩිවෙයි.උණුසුම් වතුරේ මිනිත්තු 20ක් පමණ කකුල් පොඟවාගෙන ඉන්න.මින් කකුල් වලට හොඳ සැහැල්ලුවක් දැනේවි.

දෙපා ආශ්‍රිතව පීඩාකාරි ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.