සිංදුවක් අහනකොට සද්දේ ටිකක් වැඩිකරලා අහන්න අපි හරි ආසයි නේ. ගොඩක් වෙලාවට ආසාව විතරක් නෙවෙයි කන් ඇහෙනවා අඩුකම නිසාත් ශබ්දය වැඩිකරගන්න පෙලඹෙනවා වෙන්න පුලුවන්. නමුත්,අධික ශබ්දයකට ඇහුම්කන් දීගෙන සිටීම ඔබේ ශ්‍රවණ හැකියාවට හානි ඇති කරයි.ඒ නිසා එය කිසිසේත්ම හිතකර පුරුද්දක් නම් නෙවෙයි.
විශේෂයෙන්ම වයසට යන විට අනෙකුත් සෑම දේම වගේම ශ්‍රවණ හැකියාව සම්බන්ධ ගැටලු මතු වීමට පටන්ගනියි.කන් ඇසීම එහෙමත් නැතිනම් ශ්‍රවණ හැකියාව දුර්වල වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධක 2 කි.එනම් වයස සහ අධික ශබ්දයයි.වයසට යන විට කන අභ්‍යන්තරයේ පිහිටා ඇති කුඩා රෝම සෛල බිඳ වැටීමට පටන්ගන්නා අතර ඒ හේතුවෙන් පෙර පරිදි නොව ඇතැම් ශබ්ද කම්පනයන් ප්‍රතිග්‍රහණය කිරීමට කන අපොහොසත් වී යයි. මීට අමතරව අධික ඝෝෂාකාරී ශබ්ද හේතුවෙන් කනේ පිහිටා ඇති රෝම සෛල වලට බරපතල ලෙස හානිවීම සිදුවිය හැකි අතර ඒ හේතුවෙන් කන් ඇසීමේ හැකියාව අකාලයේ අහිමි වී යාහැකියි.
ඉහත කී පරිදි වයසට යන විට කන් ඇසීම දුර්වල වී යා හැකි වුවත් එය බරපතල තත්වයකට පත්වීම වළක්වාගැනීම සඳහා ඔබට අනුගමනය කල හැකි දේවල් කිහිපයක්ම ඇත. කන් ඇසීම යනු අපගේ කටයුතු වලට අතිශය වැදගත් වන සංවේදනයකි.බොහෝ විට ශ්‍රවණාබාධ තත්වයන් යථා තත්වයට පත්කිරීම අපහසු විය හැකි අවස්ථා වැඩි බව දැනගන්නට ලැබේ. ඉතින්, ඔබට ස්වභාවිකවම ලැබී ඇති කන් ඇසීමේ තියුණු හැකියාව ආරක්ෂා කරගැනීමට මීට වඩා ඔබ සැලකිලිමත් විය යුතුයි නේද?
- අධික ශබ්ද මගහරින්න

කන් ඇසීම දුර්වල වීම වළක්වාගැනීමටත් එම හැකියාව වැඩිදියුණු කරගැනීමටත් ඇති හොඳම ක්‍රමයක් වන්නේ අධික ඝෝෂාකාරී ශබ්ද වලින් ඈත්ව සිටීමයි. අධික ශබ්දය යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනෙන ආකාරය අනුව වෙනස්විය හැකියි.නමුත් පොදුවේ අධික ශබ්ද ලෙස හැඳින්විය හැකි ආකාර තිබේ. අන් අයට කතා කිරිමට හෝ අන් යට ඔබව ඇසෙන ලෙස උස් හඬින් කතා කිරීමට සිදුවෙන අවස්ථා වේ නම්, ඔබ වටා සිටින කෙනෙකු කියන දේ නොඇසෙන තරම් ශබ්දයක් පවතියි නම්, කන් රිදෙන තරමේ ඝෝෂාකාරි ශබ්දයක් ඇසේ නම්, කනේ කුරු කුරු ශබ්දයක් හෝ ශබ්ද සහිත ස්ථානයක සිටි පසු කන ඇතුලින් ශබ්ද ඇසෙන්නට පටන්ගැනීම සිදුවීම වැනි ශබ්ද අවස්ථා සාමාන්‍යයෙන් ඔබේ ශ්‍රවණ හැකියාවට හානි ඇතිකරවිය හැකි ශබ්ද ලෙස හැඳින්විය හැකියි.
ශබ්ද මට්ටම් මැනිය හැකි එකම ක්‍රමය ඩෙසිබල් (decibels) අගයන් මැනීමයි. එම අගය ඉහළ වේ නම් ශබ්දය කොතරම් අධික ද යන්න පිලිඹිබු වේ. ඩෙසිබල් අගය 85 ට අධික ශබ්දයකට දිගු කාලයක් තිස්සේ සවන් දීම ඔබේ කන් වලට දැඩි ලෙස හානි ඇතිකරවිය හැකියි.
ශබ්ද ඩෙසිබල් අගයන් වලට උදාහරණ කිහිපයක් පහත පරිදිය:
- රහස් පැවසීමේදී- ඩෙසිබල් 30
- පුද්ගලයින් දෙදෙනෙකු අතර සංවාදයක් ඇතිවිට- ඩෙසිබල් 60
- තදබදයේ සිටින විට -ඩෙසිබල් 80-85 අතර
- හෙඩ්ෆෝන් වලින් ශබ්දය වැඩි කරමින් ගීත ඇසීම- ඩෙසිබල් 100
- ගුවන් යානයක් ගුවන්ගත වීමේදී – ඩෙසිබල් 120
ශබ්ද මැනීම සඳහා අද කාලයේ නවීන දුරකථන මෘදුකාංග පවා නිර්මාණය කර තිබෙන නිසා ඒවා භාවිතය අපහසු නැහැ. ඒවා භාවිතයෙන් ඔබ අධික ශබ්ද සහිත තැන් වලට නිරාවරණය වීම ඔබට වළක්වාගැනීමට හැකියි.
- සංගීතයට සවන්දීමේදී කල්පනාකාරීවන්න.

ශබ්දය උපරිම වැඩිකරමින් හෙඩ්ෆෝන් (headphone) හෝ ඉයර්ෆෝන් (earphone) භාවිතයෙන් ගීත වලට සවන් දී සිටීම ඔබේ ශ්‍රවණ හැකියාවට හානි ඇතිවීම කෙරෙහි බලපාන භයානකම හේතු අතරින් එකක්.ඒවා පැලඳගෙන සිටින විට පිටත ශබ්ද නොඇසෙන සේ ගීත වල ශබ්දය උපරිම කර ඇසීමට බොහෝ දෙනා උත්සාහ කරනවා. ඔබ ශබ්දය වැඩිකරන සෑම වාරයකදීම ඔබේ ශ්‍රවණ හැකියාවට බලපෑම් කල හැකි බව මතකතබාගත යුතුයි.ඔබේ කන් ඇසීමේ හැකියාවට හානි නොවීමට නම් මේ උපදෙස් අනුගමනය කරන්න:
- පිටත ශබ්ද ඇසීම වළක්වාගැනීමට ශබ්ද උපරිමයට වෙනස් කිරීම වෙනුවට නොයිස් කැන්සලින් (noise cancelling) වර්ගයේ හෙඩ්ෆෝන්/ඉයර්ෆෝන් එකක් මිලදීගන්න
- කනට පහසු බවක් දැනෙන උපරිමයට පමණක් ශබ්දය වැඩිකරන්න. වඩාත් වැඩි ශබ්ද ධාරවට සැකසුම් වෙනස් නොකරන්න.
- 60% ට වඩා වැඩි ශබ්දයකට ගීත වාදනය නොකල යුතුයි.
- වරකදී උපරිම පැයක කාලයකට වඩා හෙඩ්ෆෝන්/ඉයර්ෆෝන් පැලඳ නොසිටින්න. කනට වාතාශ්‍රය ලැබිමා සහ කන තුල ආසාදන වර්ධනය වීම වළක්වාගැනීමට වරින් වර මිනිත්තු 10 බැගින් ඒවා කනෙන් ඉවත්කර නැවත භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
- කන ඇතුලතින් කුරු කුරු වැනි අමුතු ශබ්දයක් ඇසීම ‘ටිනිටස්’ (tinnitus) නම් තත්වයයි.

බාහිර මූලාශයකින් හඬක් නො ඇසෙන විට කන අභ්‍යන්තරයෙන් ඇසෙන මෙම අමුතු ශබ්දය විවිධාකාර පුද්ගලයින් විසින් විවිධාකාරයෙන්ම අර්ථ දක්වා තිබිය හැකියි.මෙසේ කන තුලින් යම් ශබ්දයක් ඇසෙන්නට පටන්ගැනීම කෙරෙහි බලපාන හේතු සාධක කිහිපයක්ම තිබෙයි.හඬක් ඇසීම යන මෙම රෝග ලක්ෂණය සාමාන්‍යයෙන් තාවකාලිකව හටගන්නා බොහෝ විට සියුම් ලෙස දැනිය හැකි ශබ්දයක් වුවත්, ඇතැම් අයට කතාබහ කිරීමට පවා අපහසු වන තරම් ඉතා තීව්‍ර ලෙස එය දැනිය හැකි අතර ඇතැම් අයට කන් දෙකම නොඇසී යාමතරම් බරපතල තත්වයක් සේ වර්ධනය වි තිබිය හැකියි.
අධික ඝෝෂාකාරී අවස්ථා වලදී ඔබේ කන් ආවරණය කරගන්න
සංගීත සංදර්ශණ, පාරේ වැඩකරන තැන් වල, වැඩබිම් වල, ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරගාර වල රැඳී සිටින විට සහ වෙනත් අතිශය ඝෝෂාකාරී ස්ථාන වලදී ඔබේ කන් ආරක්ෂා කරගැනීම ඉතා වැඩගත් දෙයකි.
- එවැනි ස්ථාන වලින් ඈත්ව සිටීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි.
- මිනිත්තු 15 කට වරක් එම ස්ථාන වලින් ඉවත් වී විරාම ගැනීමට උත්සාහ කරන්න.
- අධික ඝෝෂාවකට නිරාවරණය වූ ඔබේ කන් යථා තත්වයට පත්වීම සඳහා පැය 18 කවත් විරාමයක් ලබාදෙන්න.
ඉයර් ප්ලග්ස් (ear plugs) වැනි කන් ආරක්ෂක උපකරණ භාවිතා කරන්න. රසවින්දනයට සහ ගීයේ ගුණාත්මක බවට බාධා නොවන සේ ගීයේ හඬ අඩුවෙන් ඇසීම සඳහා විශේෂයෙන් සකසා ඇති මියුසීෂියන්ස් ඉයර්ප්ලග්ස් (musician’s earplugs) පලඳින්න. ඒවා නැවත නැවත භාවිතා කිරීම ආරක්ෂිත බැවින් මෙය ඔබේ ශ්‍රවණ හැකියාව රැගැනීමට ඇති හොඳම ක්‍රමයකි.
- හෘදය සඳහා ව්‍යායාම ලබාදෙමින් ඔබේ ශ්‍රවණ හැකියාව වැඩිදියුණු කරගන්න

මෑතකාලීන අධ්‍යයන වලින් පෙන්වාදෙන්නේ හෘද සෞඛ්‍යය මට්ටම ඉහළ නංවාගැනීම ශ්‍රවණ සංවේදීතාව ඉහළ යාම සිදුවන බවයි. හෘද්වාහිනි පද්ධතිය සහ අභ්‍යන්තර කනේ පිහිටා ඇති අවයව සහ පටක වල ක්‍රියාකාරීබව අතර පැහැදිලි අන්තර්-සම්බන්ධතාවයක් පවතියි.
ව්‍යායාම කිරීමේදී ඔබේ රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු වී කනේ අස්ථි සහ මාංශ පේශීන් දක්වා හොඳින් රුධිරය ගමන් කරයි. ව්‍යායාම වල ආධාරයෙන් වැඩිදියුණු වීමට ලක්වන රුධිර ප්‍රවාහය තුල ඇති ප්‍රති-ඔක්සිකාරක , ආරක්ෂක තාප කම්පන ප්‍රෝටීන් වැනි පෝෂක පද්ධතිය පුරාවට ගමන් කිරීමට පටන්ගන්නා අතර එමඟින් ඔබේ ශ්‍රවණ හැකියාව වර්ධනය වීම සිදුවේ.
කන් ඇසීමේ හැකියාව නැතිවීයාම වළක්වාගැනීමට ව්‍යයාම කිරීමේදී විශාල මාංශ පේශීන් භාවිතා වන චලන අභ්‍යාස සහිත ව්‍යායාම තෝරාගන්න, උදාහරණ ලෙස ඇවිදීම,දිවීම,බයිසිකල් පැදීම, පිහිනීම වැනි ව්‍යායාමයක් තෝරාගෙන දිනකට මිනිත්තු 20-30ක් පමණ සතියේ දින 5ක් පුරාවට ව්‍යායාම වල යෙදෙන්න.
ඒරෝබික් ව්‍යායාම (aerobic exercises) වල නිරතවෙන්න. මෙම අභ්‍යාස මඟින් සිරුරේ පරිවෘත්තිය ක්‍රියාකාරීත්වය අතින් සක්‍රිය බව අඩු කොටස් (අභ්‍යන්තර කනේ අවයව සහ පටක වැනි) වල සිට සිරුරේ පරිවෘත්තිය සම්බන්ධ සක්‍රීය කොටස් (ව්‍යායාම වලදී භාවිතා වන කංකාල පේශීන්) දක්වා රුධිර ප්‍රවාහය ගමන් කරවීම සිදුකරයි.
- ශ්‍රවණ හැකියාව වැඩිදියුණු කරන අභ්‍යාස පුහුණු වෙන්න

කන හරහා ලැබෙන ශබ්ද තොරතුරු පැසුරුම් (process) කිරීමේදී මිනිස් මොලය විසින් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.ඇතැම් ප්‍රෙහේලිකා විසඳුම්, ශබ්ද ක්‍රීඩා (sound playing games) වැනි ක්‍රියාකාරකම් තුලින් මොලයේ තරල ප්‍රවාහය වීමට දායක වේ.
උපක්‍රමශීලි ක්‍රීඩා වර්ග (games) , අකුරු ප්‍රෙහේලිකා (crossword puzzles), බුද්ධි ගැටලු (brain teasers) වැනි ක්‍රීඩා තුලින් මොලයට හොඳ අභ්‍යාස ලැබේ. ඒවා මඟින් මොලයේ ධාරිතාව වර්ධනය කරමින් සංජානය හැකියාවන් වැඩිදියුණු කරවයි. කාඩ් ක්‍රීඩා, ප්‍රෙහේලිකා විසඳුම්, වචන හෝ ඉලක්කම් භාවිතයෙන් කරන ස්ක්‍රැබල් (scrabble) සහ සුඩොකු (Sudoku) වැනි ක්‍රීඩා, බෝඩ් භාවිතයෙන් කරන ක්‍රීඩා උත්සාහ කරන්න.
ශබ්ද මූලාශ්‍රය සොයාගැනීමට උත්සාහ කරන්න. වෙනත් අයෙකුට නිවසේ විවිධ තැන් වලට ගමන් කරමින් ශබ්ද කරන ලෙස පවසන්න. ඔබේ දෑස් පියාගෙන එම ශබ්ද ඇසෙන්නේ කුමන ස්ථානයෙන් දැයි හඳුනාගන්න එහි දිශාව සහ දුර සම්බන්ධතාව හඳුනාගැනීම මේ අභ්‍යාසයේ අරමුණයි.
විවිධ ශබ්ද වර්ග හඳුනාගැනීමට උත්සාහ කරන්න. නිශ්ශබ්දතාව අධික තැනකට යන්න. දෑස් වසාගෙන වටපිටින් ඇසෙන ශබ්ද වලට ඔබේ අවධානය යොමුකරන්න. ඒවා හඳුනාගැනීමට උත්සාහ කරන්න. වඩාත් ලඟ ශබ්ද සහ දුර ශබ්ද වලට අවධානය දෙන්න.
- යෝගා අභ්‍යාස වල නිරතවෙන්න

යෝගා වලින් අපේ සිරුරට බොහෝ හිතකර සෞඛ්‍යය ප්‍රතිලාභ හිමිවෙයි. එහිදි ඔබේ ශ්‍රවණ හැකියාව ආරක්ෂා වීම කෙරෙහි දායක වන යෝගා අභ්‍යස ක්‍රම ද වේ. මේවායේ ප්‍රධානතම අරමුණ වන්නේ ඔබේ කන් තුලට ගමන් කරන රුධිර සංසරණ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම සහ ඒ හරහා මොලයට රුධිරය ගමන් කරවීමයි. රුධිර සංසරණය ඉහළ යාම හරහා ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වීම සිදුවෙයි.
ගැඹුරු ශ්වසනයන් සමඟින් යෝගා ඉරියව් අනුගමනය කිරීම තුලින් කන් වලට හොඳින් ඔක්සිජන් ගමන් කිරීම සිදුවෙයි. මේ සඳහා තදාසන (රුක් ඉරියව්ව), ත්‍රිකෝණාසන (ත්‍රිකෝණ ඉරියව්ව), ධනුරාසන (දුනු ඉරියව්ව) , භුජන්ගාසන (නාග ඉරියව්ව) වැනි යෝගා අභ්‍යාස වල නිරත වෙන්න.
- ආහාර රටාව වෙනස්කරන්න

සිරුරේ නීරෝගිබව ආරක්ෂා විම සඳහා සමබල පෝෂණයක් සහිත ආහාර වේලක් ලබාගන්න. සංතෘප්ත සත්ව මේද සහ ප්‍රසාදිත කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අඩු කරන්න. මේද අඩංගු ආහාර කන් වලට සහ සිරුරේ වෙනත් කොටස් වලට ඇති ප්‍රධාන රුධිර සැපයුම අඩු වීමට හේතු විය හැකියි. ඊට හේතුව නම් රුධිරයේ කොලෙස්ටරෝල් වර්ධනය වීමයි. සැමන්, හුරුල්ලන් වැනි මාලු වර්ග, නට් වර්ග, ඇට වර්ග, සම්පූර්ණ ධාන්‍ය වර්ග, නැවුම් එළවළු සහ පලතුරු වර්ග පරිභෝජනයට එක්කරගන්න.
ප්‍රති-ඔක්සිකාරක සහ විටමින් B3, B6,B9 සහ B12 වැනි පදාර්ථ පෝෂණය බහුල ආහාර වර්ග පරිභෝජනය කරන්න. ප්‍රති-ඔක්සිකාරක පෝෂණය මඟින් සිරුර වියපත් වීමට එරෙහිව සිරුර ආරක්ෂා කරයි.විටමින් B3 හෙවත් Niacin මඟින් කන් වලට ඇති රුධිර සංසරණය වැඩිකරවයි. කේශ නාළිකා ප්‍රසාරණය කරවමින් සිරුර පුරා රුධිරය ප්‍රවාහය වීමට සලස්වයි. විටමින් B6 හෙවත් Pyridoxamine මඟින් ස්නායු නීරෝගි කරයි. විටමින් B9 සහ B12 හෙවත් Folate පෝෂක මඟින් මොලයේ සහ ස්නායු පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි.
- බාහිර කන (බාහිර ශ්‍රවණ නාළය) පිරිසිදුව තබාගන්න

ඇතැම් විට කුණුදුහුවිලි හෝ කන්කලාඳුරු නිසා පිටත කන් කුහරය අවහිර වී තිබිය හැකියි. මේ හේතුවෙන් කන් ඇසීමේ හැකියාවට යම් යම් බලපෑම් ඇතිකරවිය හැකියි.කන් කලාඳුරු වල ස්වභාවික බැක්ටීරියානාශක ගුණ පවතින නිසා ඒවා කුඩා ප්‍රමාණයක් කන තුල තිබීම ගැටලුවක් නැහැ. නමුත්, මේවා විශාල වශයෙන් එක් රැස් වීම නිසා කන ඇතුලත ඒවා හිරවීම සිදුවිය හැකියි. ඒ හේතුවෙන් කන් ඇසීම දුර්වල බවක් දැනෙන්නට පුලුවන්. කන පිරිසිදු කිරීමේදී කොටන් බඩ් භාවිතය එතරම්ම ආරක්ෂිත ක්‍රමයක් නොවේ.
කන තුලට බේබි ඔයිල් හෝ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බිංදු කිහිපයක් කනට දමා පිරිසිදු කරගැනීම හෝ සේලයින් හෝ ජලය පිරවූ සිරින්ජරයක් භාවිතයෙන් කන ඇතුලත පිරිසිදු කරගැනීම සිදුකරන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතයේදී ඔබට යම් දැවිල්ල ගතියක් දැනිය හැකියි. නමුත් ඉන් අවහිර වි ඇති කන්කලාඳුරු දියකර හැරීම සිදුකරයි. සිරින්ජරයක් භාවිතයෙන් කන පිරිසිදු කරගැනීමේදි ඊට පෙර කන් කලාඳුරු දියකර හැරිමට යම් ද්‍රාවණයක් භාවිතා කර සිටීම වඩාත් උචිතයි. මේ ක්‍රමයෙන් සිදුවන්නේ ජලය හෝ සේලයින් වලින් කන ඇතුලත සම සෝදා පිරිසිදු කිරීමයි. කොටන් බඩ් භාවිතා කරන විට දී කන තුල ඇති කන් කලඳුරු වඩාත් ඇතුලට තල්ලු වී යාම සිදුවිය හැකියි. එය ගැටලුව තවත් වැඩිකරවීමට හේතුවක් වීමටත් බැරි නැහැ.