බෙලි ගසක් ඔබේ නිවසේ තියෙනවා නම් ඔබ ඉතාම වාසනාවන්තයි . මොකද බෙලි කියන්නේ අගය කියා නිම කරන්නට බැරි තරම් වටිනා ශාකයක්. පැරැන්නන් ශ්‍රියා කාන්තාව වැඩ සිටින ශාකය විදියට සැලකුවේ මේ බෙලි ගස. ඉතින් අපිට නීරෝගීව ඉන්නට විශාල උපකාරයක් සිදු කරන ශාක අතරේ බෙලි ශාකයට විශාල වැදගත්කමක් හිමි වෙනවා. අපි හැමෝම දන්නවා බෙලි ගසේ කොළ, පොතු, කටු, ලාටු , මල්, ගෙඩි, මුල් ආදී සියල්ලක්ම ඖෂධ වශයෙන් අපි භාවිතයට ගන්නා බව.
ඉන්දියාවේ සම්බවය වෙලා තියෙන මීටර් 10- 15ක් තරම් උසට වැඩෙන තියුණු කටු සහිත ශාකයක් වන බෙලි ශක්තිමත් ශාකාවලින් සහ ඝනකම් සුවඳවත් පොත්තකින් සමන්විත වෙනවා. මල ප්‍රසන්න සුවඳකින් යුක්ත අතර ඵලය මෘදු රසයකින් යුක්ත වෙනවා. ලංකාවේ බෙලි ප්‍රභේද කිහිපයක් පිළිබඳව සඳහන් වෙනවා. සිංහල බෙලි, රට බෙලි,ඇත් බෙලි සහ සුපුන් බෙලි එවැනි කිහිපයක්. ඉතින් බෙලි ගසක ගෙඩි හටගන්නේ ඉතාම අඩුවෙන්. මොකද අපි තේ වෙනුවට රසවත් පානයක් ලෙස සකසා ගන්නා බෙලි මල් භාගයක්ම බිමට හැලෙන නිසා.

අද අපි කතා කරන්නේ මේ බෙලි ශාකයේ ගෙඩි ගැනවත් මල් ගැනවත් නෙවෙයි. බෙලි කොළ ගැන.මොකද බෙලි ගෙඩි සහ මල් අපි නිතර අපේ භාවිතයට ගත්තත් බෙලිකොළවලින් ප්‍රයෝජනයක් ගන්නේ සීමිත පිරිසක් පමණක් නිසා. ඉතින් ලස්සන වෙන්න සුදු වෙන්න වගේම දේහ බර අඩුකරගන්නත් බහුතරයක් දෙනා උනන්දු වෙනවා නේ . ඒ සඳහා නොයෙකුත් දේවල් කරනවා. ඉතින් එවැනි අයටත් අද අපි කියන මේ බෙලිකොළ පානය ඉතාම වැදගත් වෙනවා.
බෙලි ගසේ අනෙකුත් කොටස්වල වගේම සුවිශේෂී ගුණයන් බොහොමයක්ම මේ බෙලි කොළවලත් අන්තර්ගත වෙනවා . විවිධ ප්‍රතිකාර සඳහා ඖෂධ සකස් කිරීමේදී බහුලව භාවිතා වුණත් එදිනෙදා අපේ පානයටත් බෙලි මල් වගේම බෙලි කොළත් ඉතාම වැදගත්. බෙලි කොළවලින් සාදාගත හැකි තේ පානය ලෙඩරෝග බොහොමයකින්ම ආරක්ෂා වී සිටින්නට උපකාරී වෙනවා. මෙය ස්වභාවික පානයක් නිසාවෙන් දේහයට කිසිදු අහිතකර බලපෑමක් ඇති වෙන්නෙත් නැහැ.
මේ බෙලිකොළ පානය තුළ බීටා කැරොටින් වැඩි වශයෙන් අඩංගු වෙනවා. මේ බෙලි කොළ තේ එක සාදා ගන්නට ඉතාම පහසුයි.ඒ සඳහා බෙලි කොළ 3-4 ක් සෝදා අරගන්න. ඉන්පසු ඒ බෙලි කොළ ටික අතින් තරමක කැබලිවලට කඩා ගන්න. එය අඩු කෝප්පයකට දමා එයට උණු වතුර එකතු කර හොඳින් කලවම් කර විනාඩි 5-10 ක කාලයක් වසා තබා ගෙන හකුරු හෝ සීනි සමඟ පානය කරන්න. මේ පානය වඩාත් සුදුසු වෙන්නේ උදෑසනට පානය කිරීම. ඒ වගේම ඒ පානය සතියකට තුන් වරක් පමණ ගැනීමත් ප්‍රමාණවත් වෙනවා.
බෙලිකොළ පානයෙන් අපේ දේහයට ලැබෙන විස්මිත ප්‍රයෝජන
- දේහයේ අනවශ්‍ය මේදය දහනය වීම
- දේහ බර අඩුවීම
- සම පැහැපත්වීම
- දියවැඩියාව සඳහා ගුණදායක වීම
- අමිලපිත්ත රෝගය සුව කිරීම
බෙලි කොළවල ඖෂධීය භාවිතය

- අමිල පිත්ත රෝගය සඳහා බෙලි කොළ මිටක් ගෙන කබලේ බැදගෙන එයට වී පොරි ග්‍රෑම් 10 ක් පමණ එකතු කර වතුර කෝප්ප දෙකක් දමා එක් කෝප්පයකට සිදෙන පරිදි තම්බා ගන්න. මේ පානය උදේ සහ සවසට පානය කිරීම මගින් අමිල පිත්ත රෝගය සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.
- සමේ රෝග සඳහා බෙලි කොළ තම්බා ගත් වතුරෙන් ඒ ආසාදන සහිත ස්ථානය සේදීමෙන් සහනය සලසා ගන්නට පුළුවන්.
- යටි පතුල් පැලීම සඳහා බෙලි කොළ තැම්බූ වතුරේ දෙපා ටික වෙලාවක් බහා තබා පසුව තෙත හොඳින් පිස ඉදුණු බෙලි මදවලට ගිතෙල් මිශ්‍ර කර පැළුම් ස්ථානවල ආලේප කරන්න.
- උමතු රෝගීන් සඳහාබෙලි කොළ යුෂ නස්න කිරීම හෝ බෙලි යුෂ හිසේ ගැල්වීම සුදුසුයි.
- දහදිය බිබිලි සඳහා බෙලි කොළ කොටා ගත් යුෂ ශරීරයේ ආලේප කිරීම හෝ බෙලි කොළ තැම්බූ වතුරෙන් ශරීරය සේදීම සුදුසුයි.
- රක්ත අතීසාරය සඳහා බෙලි කොළ කොටා ලබාගත් යුෂවලට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා මිශ්‍ර කර පානය කිරීම ගුණදායකයි.
- මල බද්ධය සඳහාබෙලි කොළ යුෂ තිප්පිලි සමඟ පානයෙන් මල බද්ධය සුවකර ගන්නට හැකියාව තියෙනවා.
ඒ හැරුණාම බෙලි කොළවලින් කසාය සාදා පානය මගින් දාහය, පිපාසය සහ වමනය ද සුවපත් කරනවා.ඒ හැරුණාම බෙලි කොළ භාවිතයෙන් කොළ කැඳ සාදා ගන්නත් පුළුවන්. කොහොමවුණත් බෙලි මල් විතරක් නෙවෙයි බෙලි කොළත් තම්බා තේ මෙන් පානය කිරීමෙන් සෞඛ්‍යමය ප්රතිලාභ බොහොමයක් ලබා ගන්නා අතරේ සිහින් සිරුරක් වගේම පැහැපත් සමක් ද ඔබට හිමිකර ගන්නට පුළුවන්.