අපේ ශරීරයේ තියෙන දෙවන විශාලතම ඉන්ද්‍රිය වන අක්මාව සම්බන්ධ රෝග අද වෙද්දි ඉතා බහුලයි. වැඩි වශයෙන් වස විෂ අඩංගු ආහාර ගැනීම වගේම වැරදි ඇවතුම් පැවතුම් නිසා අක්මාවේ රෝග බොහොමයක් ඇති වෙනවා. ඒවායින් වැඩි දෙනෙක් පීඩා විදිනවා. ඉතින් මේ රෝග සියල්ලටම ගුණදෙන විශේෂයෙන්ම අක්මාව පිරිසිදු කරන අපට අමතක දිව ඔසුවක් තමයි මසං කියන්නේ. එදා අපි රස බැලූ රසවත් පලවැල අද දරුවන්ට රසවිදින්නට අවස්ථාව නැහැ. ඒකාකරී ජීවන රටාවත් සමඟ ගත කරන ජීවිතය තුළ වෙල් දෙනිවල දුවපැන ඇවිදින්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ගඩා ගෙඩි කියන පුංචි වුණත් රසවත් ගුණවත් පලතුරු ඔවුන්ට දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මසං කියන්නෙත් බොහෝදුරට අපෙන් ඈත්වෙලා යන ගුණවත් පලතුරක්. කැලෑ ඇපල් කිව්වම නම් බොහෝ දන්නවා. ඉතින් ඇපල් වගේම රසයක් තියෙන ඉතා ඉහළ ගුණයක් තියෙන පලතුරක් වන මසං ගැන තමයි අද කතා කරන්නේ.
කිසිදු වසක් විසක් අන්තර්ගත නොවන ශාකයක් තමයි මේ මසං. දබර, මහ දබර, ඩෙබර, මහ ඩෙබර, චෛනීස් ඇපල් යන නම්වලින් හඳුන්වනු ලබන්නෙත් මේ ශාකයමයි. ඒ වගේම බුදුන් වහන්සේ අෂ්ටපාන සඳහා අනුමත කළ ශාකයක්. මේ මසං ශාකය Rhamnaceae කුලයට අයත් වෙන පඳුරු වශයෙන් හැදෙන ශාකයක්. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මේ අපූරු ශාකය ඉන්දියාව, චීනය, භූතානය, තායිලන්තය වගේ රටවල්වලත් ව්‍යාප්ත වෙලා තියෙනවා.මීටර් 5 ක් තරම් උසට වැඩෙන මේ ශාකය ඒකාන්තර සරල පත්‍රවලින් සමන්විතයි.ඒ පත්‍ර ඕවලාකාර හෝ අණ්ඩාකාර ලෙස හටගනු ලබනවා.පත්‍ර යටි පැත්තේ ඉතා සියුම් ලෙස දුඹුරු පැහැයෙන් බූව ස්වභාවයක් දැක ගන්නට පුළුවන්.මේ ශාකයේ මල් කුඩා අතර ඒවා කොළ පාටට හුරු සුදු පැහැයකින් සමන්විත වෙනවා.
අපි ආහාරයට ගන්නා මසං ගෙඩිය සාමාන්‍යයෙන් 5 g ක් හෝ 8 g ක් තරම් බරකින් යුක්ත වෙනවා. ගෝලාකාර ස්වභාවයක් ගන්නා මේ මසං ගෙඩිය ඉදුණු පසුව කහ, තැබිලි, රතු පැහැයන්වලින් දකින්නට පුළුවන්. වසරේ සෑම දිනයකම වගේ ඵල ගන්නා මේ ශාකයේ මේ ගෙඩිය රසවත් වගේම ඉතා ඉහළ ගුණයකින් සමන්විත පලතුරක් . මසං ගෙඩි පමණක් නොවෙයි මසං ශාකයේ කොළ, පොතු, මුල් , ගෙඩි ආදී සියල්ලම ඖෂධීය ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබනවා.මසං සතු ගුණයන් කොතෙක්ද කිව්වොත් හදවත් රෝග වළක්වන සුවිශේෂී ශාක 10 අතරේ එක් ශාකයක් වන්නේ මේ මසං ශාකය.
මේ ශාකයේ විටමින් C, විටමින් A, විටමින් B, පොටෑසියම්, කැල්සියම්, ප්‍රෝටීන්, පොස්පරස්, මැග්නීසියම් සහ සින්ක් ආදී පෝෂක ගණනාවක් අඩංගු වෙනවා. ඒ වගේම ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් ද සමන්විතයි.
මසං සතු විස්මිත ගුණ

- හදවත් රෝග නසයි.
- අතීසාරයට ගුණදායකයි.
- ජීර්ණය පහසු කරයි.
- පිපාසය සන්සිදුවයි.
- රක්ත අතීසාරයට ගුණදායකයි.
- අර්ශස් රෝගයට සුව දෙයි.
- ශරීරයේ උෂ්ණය දුරු කරයි.
- ඇස් රෝග සඳහා ගුණදායකයි.
- කොලෙස්ටරෝල් පාලනය කරයි.
- රුධිර සංසරණයේ මනා ක්‍රියාකාරිත්වයට දායක වෙයි.
- රුධිර කැටි ඇතිවීම වළක්වයි.
- නීරක්තියට ගුණදායකයි.
- සිරුරේ විඩාව දුරු කරයි.
- දියවැඩියා රෝගයට ගුණදායකයි.
- ආහාර අරුචිය නසයි.
- කුසගිනි වඩවයි.

- ඇදුම, ඉක්කාව ආදී රෝග සඳහා සුවය ලබාදෙයි.
- කැස්ස සමනය කරයි.
- මුත්‍රා අඩිස්සිය දුරලයි.
- සමේ රෝග සඳහා ගුණදායකයි.
- මාංශ පේශීන් ශක්තිමත් කරයි.
- අක්මාව පිරිසිදු කරයි.
- පිළිකා මර්දනය කරයි.
- රුධිරය පිරිසිදු කරයි.
- අධි රුධිර පීඩනය සමනය කරයි.
- ස්වසන පද්ධතියේ රෝග සඳහා ගුණදායකයි.
- මසං කොළ හිසකෙස් වර්ධනයට සුදුසුයි.
- සමේ රැලි ඇතිවීම වළක්වා සම ආරක්ෂා කරයි.
- මානසික ආතතිය දුරලයි.
මසං ශාකයේ ඖෂධීය භාවිතයන්

ලේ අතීසාරයට මසං මුලේ පොතු සියුම්ව එළකිරෙන් අඹරා ආහාරයට ගැනීම ගුණදායකයි.
ක්ෂය රෝගය මේ සඳහා මසං ඇට චූර්ණය දී කිරි සමඟ භාවිතය යහපත්.
වා පිත් රෝගය මේ සඳහා අමු කොළ පිත සහ සෙම වඩවන බැවින් මසං ශාකයේ ඉදුණු කොළ ඉතා සුදුසුයි.
අර්ශස් රෝගය අර්ශස් ගෙඩි නිසා ඇතිවන වේදනාව දුරු කිරීමට මසං කොළ හා පොතු තම්බා ගත් ජලය මඳ උණුසුම්ව ගෙන ඒ මත වාඩිවී සිටීමෙන් සුවයක් සහනයක් ලබා ගන්නට පුළුවන්.
ඇස් රෝග මේ සඳහා මසං ඇට ගල ගා ආලේප කරයි.
ශරීර දාහය පත්‍ර කල්කය ආලේප කිරීම සුදුසුයි.
සරම්ප පැපොල නිසා ඇතිවන උණ මසං ශාකයේ මුල්වලින් ගන්නා කුඩු භාවිතා කරනවා. ඒ වගේම මෙහි පත්‍ර ඔසුවක් ලෙස භාවිතයට ගනු ලබනවා.ඇපල් කන්නට ආස අයට වැඩි ගණනන් නොදී ඇපල්වලට වඩා ගුණයක් ලබා ගන්නට මසං පැලයක් නිවසේ සිටුවා ගන්නට පුළුවන්. නිතර අපි දකින ඇපල් තරම් විශාල වුණේ නැතත් මෙහි පෝෂක ගුණය නම් ඉතා ඉහළ බව ඔබ දැන් දන්නවා නේ.ඉතින් අපෙන් ඈතට යන මේ අපූරු රසවත් ගුණවත් නිවසේ ශාකය වගා කළොත් ඔබට ලබා ගන්නට හැකි ප්‍රතිලාභ බොහොමයි.
සැලකිය යුතුයි.මෙය ඔබගේ දැනුම සඳහා වන ලිපියක් බැවින් ප්‍රතිකාර පිණිස මසං ගෙඩි හැර ශාකයේ කොටස් භාවිතයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නට මතක තබා ගන්න .