මිනිසුන් විදියට ඉපදුණු අපිට වගේම සතුන්ටත් ජීවත්ව සිටින කාලය පුරාවටම විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නට සිදු වෙනවා. සුළු සුළු ලෙඩ රෝගවලට එදා අපේ පැරැන්නන් ආරෝග්‍ය ශාලාවට ගියේ නැහැ. එදා පැරැන්නන් හරි අපූරු අත් බෙහෙත් භාවිතා කරමින් ඒ වගේ බරපතල නොවන රෝග සඳහා සුවය සලසා ගත්තා. ඉතින් බඩේ අජීර්ණය කියන්නෙ බොහෝදෙනා බරපතල රෝගයක් විදියට සැලකුවත් එය නිවසේදීම ඉතා පහසුවෙන් සුවකර ගත හැකි තත්ත්වයක්. ආයුර්වේදයේ මේ අජීර්ණය ආහාර නිසිපරිදි ජීර්ණය නොවීමෙන් හට ගන්නා අපහසුවක් ලෙසයි සඳහන් වෙන්නේ.මේ බඩේ අජීර්ණය ලොකු කුඩා භේදයකින් තොරව බොහෝ දෙනෙක්ට ඇතිවිය හැකි සුලභ තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වයට ක්ෂණිකව සහනයක් සලසා ගන්නට නිවසේදි කළ හැකි සරල පිළියම් කිහිපයක් ගැන දැන සිටීම ඔබ කාහටත් ඉතා වැදගත් වේවි. ඉතින් අපි බලමු බඩේ අජීර්ණ තත්ත්වයකදී සිදු කළ හැකි අත් බෙහෙත් පිළිබඳව.
අජීර්ණයක රෝග ලක්ෂණ

- නිතර මුඛයට කෙළ ගැලීම
- කෑම ගත්විට උගුරට ඇඹුල් රසක් ඒම
- පිත මුල්වීමෙන් ඇතිවන අජීර්ණයකදී,
- හිස කරකැවිල්ල
- අධික පිපාසය
- අම්ල ගතිය උගුරට ඒම
- ඇඟේ දැවිල්ල අධික ලෙස දහදිය දැමීම
- වාතය නිසා ඇතිවන අජීර්ණයකදී, බඩේ කැක්කුම, බඩ පිපීම, වාත වේදනා ගතිය, මල මුත්‍රා පිට නොවීම
- තුනටියේ හා ඇඟපතේ වේදනාව
- ඇතැම් විට මල බුරුලෙන් පිටවීම
අත් බෙහෙත්
- කබලේ බැද කුඩු කරගත් සූදුරු තේ හැදි 1 ක් උණු ජලයට දමා පානය කරන්න.
- දෙහි යුෂ, සහිද ලුණු, මී පැණි සමඟ මිශ්‍රකර ටික ටික පානය කරන්න.
- ඉඟුරු යුෂ තේ හැදි 2 ක් හා මී පැණි තේ හැදි 1 ක් මිශ්‍රකර ආහාර ගැනීමට පෙර පානය කරන්න.
- කොත්තමල්ලි, එනසාල්, ගම්මිරිස්, සීනි සහ එළගිතෙල් සමඟ මිශ්‍රකර ටික ටික ආහාරයට ගන්න.
- අමු ඉඟුරු , මුරුංගා පොතු හකුරු සමව ගෙන දෙහි ඇඹුල්ලෙන් සාදා වරකට තිබ්බටු ගෙඩියක ප්‍රමාණයට ගෙන දවසට තුන් වරක් බොන්න.
- අරළු, වියළි ඉඟුරු, කරපිංන්චා ඇට කලං 4 බැගින් ගෙන වතුර පත අටකට සිදුවා පෙරා උදේ සවස පානය කරන්න.
- වාතය මුල් වූ අජීර්ණයේදී අරළු, නෙල්ලි, සුදු ළූණු කෂාය කර පානය කරන්න.
- උණු වතුරට විනාකිරි දමා රෙදි කැබැල්ලක් පොගවා මිරිකා උදරය තවන්න.
- සාදික්කා දෙහි ඇඹුලෙන් උරච්චි කර කන්න.
- හීන් දුරු මිටක් ගෙන කබලේ බැද උණු වතුරට දමා දෙහි යුෂ මිශ්‍රකර පානය කරන්න.
- ඉඟුරු, කලාදුරු අල, දෙහි ඇඹුලෙන් කුඩු කර පානය කරන්න.
- දෙහි ගෙඩියක යුෂ ගෙන එයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකතු කර පානය කරන්න.
- අමු ඉඟුරු, සුදු ළූණු, ගම්මිරිස් ටික ටික ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා පීරිසි කෝප්ප භාගයක් පමණ ගෙන එයට දෙහි ඇඹුල් මේස හැදි 2 ක් පමණ එකතු කර පානය කරන්න.
- කරපිංචා නැටි 4, අරළු කලං 6, ඉඟුරු කළං 2 පත 8-1 ට සිදුවා ළූණු පෙරුම්කායම් දමා දවසට දෙවරක් පානය කරන්න.
- අමු ඉඟුරු කැල්ලක් බුලත් කොලයක ඔතා හපා යුෂ ගිලින්න.
තැම්බුම් හොද්ද

- ගම්මිරිස් ඇට තේ හැදි 2 ක්
- උළුහාල් තේ හැදි 2 ක්
- කොත්තමල්ලි ඇට මේස හැදි 2 ක්
- සූදුරු ඇට තේ හැදි 2 ක්
- මහදුරු ඇට තේ හැදි 2 ක්
- සුදුළූණු ගෙඩි දෙකක්
- කරපිංචා මිටක්
- සිහින්ව ලියාගත් රතු ළූණු ගෙඩි 5 ක්
- කුරුඳු පොතු කෑල්ලක්
- මුරුංගා පොතු කෑල්ලක්
- ලුණු ස්වල්පයක්
- ගොරකා කෑල්ලක්
මේ සියලුම දේ අමුවෙන් අඹරා ගෙන එය මැටි වළදකට දමා ජලය අඩු කෝප්ප 4 ක් සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමා කෝප්ප 1 ක් වන සේ සිදුවා ගන්න. මෙයින් ටිකක් පානය කර ඉන්පසුව මේ තැම්බුම් හොද්ද සමඟ බෙරි බත කන්නට දෙන්න.
මේ අත් බෙහෙත් පාරම්පරිකව අපිට උරුම වුණු වටිනා දේවල්. ඒවා අදටත් අපිට බයක් නැතුව භාවිතා කරන්නට පුළුවන්. නමුත් බඩේ ජීර්ණයකදී මේ අත් බෙහෙත් හැරුණාම අපි ගන්නා ආහාර ගැනත් බෙහෙවින්ම සැලකිලිමත් වෙන්නට ඕන කරනවා එය ඉක්මනින් සුවකර ගන්නට. ඒ වගේම අජීර්ණයකදී බඩේ කැක්කුම ඇතිවීම සුලබ ලක්ෂණයක් වුණත් වෙනත් රෝගාබාධ හේතුවෙන් වුණත් බඩේ කැක්කුමක් අපිට ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම අමිල පිත්ත රෝගයේදී, වෙනත් උදරාගත ගෙඩි ඇතිවිටෙක ඩිම්බකෝෂයේ වතුර බිබිලි ඇතිවිට ආදී වශයෙන් එවැනි උදරයේ වේදනාවන් ඇති වන්නට පුළුවන්. ඒ නිසා ඒ අත් බෙහෙත් අජීර්ණයකට සුදුසු වුණත් ඔබට බඩේ කැක්කුමක් තදින් ඇත්නම් මේවායින් ගුණයක් නැත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නට කටයුතු කරන්න.