පාද ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් අතරින් වඩාත් පීඩා ගෙන දෙන තවත් එක් රෝගයක් තමයි පාදවල ඇතිවන දැවිල්ල. වයස් භේදයකින් තොරව බොහෝදෙනා පීඩාවට පත් කරන මේ තත්ත්වය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝදෙනෙකුට ඇතිවන පීඩාකාරී තත්ත්වයක්. පාදය ආශ්‍රිතව ඇතිවන විවිධ රෝග තත්ත්වයන් සඳහා බොහෝවිට පුද්ගලයාගේ චර්යා රටාව සහ ආහාර රටාව හේතු වෙනවා. ඉතා පීඩාකාරී මේ පාද රෝග ආශ්‍රිත තත්ත්වයන් නිසා තමන්ගේ එදිනෙදා කටයුතු පවා නිසි ලෙස සිදු කරගන්නට නොහැකි වෙනවා. ඉතින් මේ රෝගය ඇති වෙන්නට බලපාන හේතු සහ ඒ සඳහා අපට කළ හැකි ප්‍රතිකාර මොනවද යන්නත් මේ ලිපිය තුළින් කතා කරන්නටයි මේ සූදානම් වෙන්නේ.
මේ රෝගයේදී යටි පතුල් ආශ්‍රිතව ඉතා අධික දැවිල්ලක් ඇතිවෙනවා.කකුලේ වළලු කරෙන් පහළ කොටසේ ඇතිවන මේ දැවිල්ල නිසා පාවහන් පැළද සිටීම හෝ එක ස්ථානයක සිටගෙන සිටීම පවා අපහසු වෙනවා. මේ තත්ත්වය ඇති වෙන්නට හේතු කිහිපයක්ම බලපානු ලබනවා. මෙය රෝග තත්ත්වයක් ලෙස දකින්නට ලැබුණත් ඇතැම්විට වෙනත් රෝගයක ලක්ෂණයක් ලෙසටත් ඇතිවිය හැකි බව මතක තබා ගත යුතු වෙනවා.
පාද දාහය ඇතිවෙන්නට බලපාන හේතු

- වාත දෝෂ හා රක්ත දෝෂ දූෂණය වීම
- රාත්‍රියේ දී ප්‍රමාණවත් නින්දක් නොලැබීම හා දහවල් අනවශ්‍ය ලෙස නිදා ගැනීම
- අධික ලෙස ඇවිදීම, දවසේ වැඩිකාලයක් සිටගෙන සිටීම ආදී පාදවලට විවේකය අහිමිවීම
- පාදවල කෙණ්ඩා ආශ්‍රිත ආසාදන තත්ත්වයන්
- අලුත දරුවන් වැදූ කාන්තාවන්ගේ හෝර්මෝන වෙනස්වීම මගින්
- ස්නායු ආශ්‍රිත රෝග
- ශරිරයේ ලේ අඩුවීම හෙවත් ඇනීමියා තත්ත්වය
- නහර ගැට ගැසීම
- විටමින් B ඌණතාවය
- ආර්තවහරණය
- දියවැඩියා රෝගය
- දරුණු වකුගඩු රෝගය
- නිතර කෘතීම රසකාරක හා වර්ණක යෙදූ ආහාරපාන ලබා ගැනීම
- අයඩීන් ඌණතාවය
- උෂ්ණ ආහාරපාන ගැනීම (අච්චාරු, අන්නාසි, ඉස්සන්, දැල්ලන්, මුරුංගා, හරක් මස්, රතු පරිප්පු, මඤ්ඤොක්කා, තක්කාලි, රාබු,කොල්ලු ආදී ආහාර )
- කුසගිනි නොමැතිවිට ආහාර අනුභවය හා ආහාර වේල් අතරතුර අමතර ආහාර අනුභවය
- තිරිගු පිටි අධික ආහාර සහ දිගු කාලයක් යීස්ට් මගින් පිපීමට ලක් කරන ලද ආහාර අනුභවය
- අධික ලුණු සහ තෙල් අධික ආහාර ගැනීම
- අධික ලෙස මත්පැන් භාවිතය හා දුම් පානය
- නිරන්තරයෙන් විවිධ වර්ගයේ පාවහන් පැළද සිටීම
- මානසික ආතතිය
රෝග ලක්ෂණ

- වළලුකරින් පහළ කොටසේ ඇතිවන අධික දැවිල්ල
- උදෑසන අවදි වී කකුල් බිම තබා ඇවිදීමේදී වේදනාවක් ඇතිවීම
- යටි පතුලට ඉදිකටුවලින් අනින්නා සේ වේදනාවක් දැනීම
- විලුබ ගිණි ගෙන දැවෙන්නා සේ වේදනාගෙන දීම
- පාදයට වතුර දැමූ විගස දැවිල්ල අධික වීම
- පාවහන් පැළද සිටියදී අධික දැවිල්ල හා පුපුරු ගැසීම
යටි පතුල් දාහය සුවකර ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස්
මේ රෝග ලක්ෂණවලදී ඒ තත්ත්වය සුවපත් කරගන්නට කළ යුතු පිළියම් පිළිබඳව ආයුර්වේදයේ දක්වා තියෙනවා. ඒ ප්‍රතිකාර හැරුණාම පුද්ගලයාගේ ආහාර පුරුදු වගේම ජීවන රටාවත් යහපත් ලෙස වෙනස් කර ගැනීම ඉතා වැදගත්.
- ප්‍රතිකාර ලබා ගන්නා කාලය තුළ දී හෝ පාදවලට විවේකයක් ලබාදීම.
- අයඩීන් ඌණතාවය, දියවැඩියාව, වකුගඩු ආබාධ ඇතුළු වෙනත් රෝගවලින් පෙළෙන අයෙක් නම් ඒ රෝග සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම
- ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම
- මත්පැන් භාවිතයෙන් වැළකීම
- දිනකට ජලය ලීටර් 2 ක් වත් පානය කිරීම
- අධික උෂ්ණ ආහාර පානවලින් වැළකීම (ඉස්සෝ, දැල්ලො, තක්කාලි, අන්නාසි, අච්චාරු, බල මාලු )
- ඇඟ සිසිල් කරන ආහාර පාන ලබා ගැනීම
- සව්, බාලි, සාරණ, නිවිති,දිය හබරල දළු,පිපිඤ්ඤා,කැකිරි,තිබ්බටු, කොමඩු, නෙල්ලි රසකිද, රණවරා ඉරමුසු , සුදු හදුන්, පොකුරු වදමල් ආදී පානයන් ද ඉතා ගුණදායකයි. ඒ වගේම හාතවාරිය කැඳ, කොහිල කැඳ ආදියත් ඇඟේ දාහය නසන ඇඟ සිසිල් කරනු ලබනවා.

- අධික ලුණු සහ අධික තෙල් භාවිතයෙන් වැළකීම
- ජීර්ණයට අපහසු අධික තෙල් සහිත මස් මාළු වැඩි වශයෙන් ආහාරයට එකතු කර නොගැනීම
- ශාරීරික ව්‍යායාම්වල නිරතවීම
- දිනපතා ස්නානය කිරීම
- වසරකට වරක් විරේක කරවා ගැනීම
- දිවුල් කිරි, තැඹිලි වතුර,ගොටුකොළ කැඳ,මොණරකුඩුම්බි කැඳ,කෝමාරිකා කැහිපිත්තන් ආදිය ඉතා සුදුසුයි.
නිවසේදී කළ හැකි ප්‍රතිකාර
- බුළු ඇට මද එළගිතෙලින් අඹරා ආලේප කිරීම
- පාදයේ එළගිතෙල් ගැල්වීම
- අමු කහ දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කිරීම
- තේ කොළ ඇල්දියෙන් අඹරා ආලේප කිරීම
- මොනර කුඩුම්බි ශාකයක් මුල් සමඟ ගෙන එයට මදක් ලොකු ඉඟුරු කෑල්ලක් වගේම සුදු ළූණු බික් තුනක් දමා කොළ කැඳක් පිළියෙල කර ගන්න. මේ සියල්ල බ්ලෙන්ඩර් කර ගන්නවට වඩා වඩාත් සුදුසු වෙන්නේ වංගෙඩියක දමා කොටා ගැනීමයි. සාදාගත් මේ කොළ කැඳ පානය කරන්නට පෙර සෝදා වියළා කබලේ බැද කුඩු කරගත් අබ කුඩු තේ හැදි භාගයක් ද එකතු කර හොඳින් මිශ්‍රකර පානය කරන්න.
පාද ආශ්‍රිතව ඇතිවන දැවිල්ල, පැලීම් ආදී රෝග රැසකටම හේතුවන්නේ අපේ වැරදි ආහාර පුරුදු හා චර්යා රටා නිසා සිරුරේ උෂ්ණත්වය අධික වීමයි. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වීම රෝග රැසකින් ආරක්ෂා වෙන්නට හේතු වෙනවා.